පුනරුදයේ නවෝදයෙන් විකසිත වන මේ බිම සරුසාර කරන්නට දහඩිය මහන්සිය වගුරුවන ගොවි ජනතාවට ශක්තියක් වන්නට නව රජය විසින් පියවර ගණනාවක් ගෙන තිබේ. විශේෂයෙන්ම ගෙවතු වගාව සඳහා යොමුවන ගෘහිණියන් සඳහා මඟ පෙන්වන වැඩසටහන් රාශියක්ම මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත. මහා පරිමාණ වගාවන්ගේ සිට ගෘහස්ථ මට්ටමින් සිදු කරන පැළ තවානක් දක්වාම මඟ පෙන්වීම ලබාදෙන මෙම වැඩසටහන් අතුරින් එක් වැඩසටහනක් මේ වනවිටත් ක්‍රියාත්මකව පවතී.
වගා කටයුතු සඳහා මුලපුරන බොහෝ දෙනෙකුට ඇති ලොකුම ගැටලුව තමයි ප්‍රාග්ධනයක් නොමැතිවීම. ඒ සඳහා රජය විසින් දැනටමත් සහන වගා ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මේ ණය ක්‍රමය යටතේ 6% පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීමට සුදුසුකම් ලබන ගොවීන්ට කෙටි කාලීන භෝග වගා කිරීමට, එම භෝග පැළ තවාන් දැමීමට, ගෙවතු වගාවන් කිරීමට, සහ රජයට අයත් ගබඩාවල ඔවුන්ගේ අස්වැන්න ගබඩා කරන ගොවීන්ට ගුදම් කුවිතාන්සි මූල්‍යකරණයට ණය ලබා දෙනු ලැබේ. එ් අනුව මේ ණය ක්‍රමය යටතේ ඔබට වගා කරන භෝගය සහ වගා කරන අක්කර ප්‍රමාණය අනුව වගා කිරීම සඳහා එක් අයෙකුට උපරිම රු. මි. 3ක්, පැළ තවාන් සඳහා රු.500,000 ක් සහ ගෙවතු වගාවන් සඳහා උපරිම ණය රු.100,000 ක් සහ ගුදම් කුවිතාන්සි මූල්‍යකරණය යටතේ, ගබඩා කර ඇති මුළු ධාන්‍ය තොගයෙහි වර්තමාන වෙළඳපළ වටිනාකමෙන් සියයට 50ක් දක්වා ණය ලබාගන්න පුළුවන්.
මේ ණය ක්‍රමයට කියන්නේ නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය කියලා. මෙයට කියන කෙටි නම තමයි NCRCS LOAN SCHEME කියන්නෙ. මෙවැනි අඩු පොලියකට මෙම ණය මුදල මේ වන විට ක්‍රියාත්මක කරන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසිනුයි. සාමාන්‍යයෙන් බැංකුව විසින් ලබා දෙන ණය මුදලට වඩා අඩු පොලී අනුපාතයකට ලබාදෙන මෙම ණය සඳහා බැංකුව සාමාන්‍යයෙන් අය කරන ණය පොලියෙන් 5%ක පොලී සහනාධාරයක් රජය විසින් බැංකුවට ගෙවීමට කටයුතු කරන අතර සාමාන්‍ය බැංකු ණය පොලියත් සහනාධාර පොලියත් අතර වෙනස ණය ගැනුම්කරු දැරිමට සැලසීමෙන් එම සහනය වගාකරුවාට ලබාදීම තමයි රජයේ අරමුණ.
ණය ලබාගන්නා ක්‍රමය
මේ අඩු පොලී ණය මුදල ලබා ගැනීම සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා. මේ ණය ලබාගන්න ඔබ අක්කර ගණනාවක් වගා කරන්නම අවශ්‍ය නැහැ. ගෙවතු වගාවක් කරන ඔබට වුණත් මේ ක්‍රමය යටතේ ණය මුදලක් ලබාගන්න පුළුවන්. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචිකරුවෙකුට මේ ණය මුදල ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම මේ ණය වී, අර්තාපල්, බඩඉරිඟු, ලූනු ඇතුළු භෝග 34කට, ඒවාහි තවාන්වලට හෝ ගෙවතුවගා කරන ගෙවතු වගාකරුවන්ටත් ලබා ගන්න පුළුවන්. මේ ණය ලබා ගැනීම සඳහා ඔබට තිබිය යුතු පළමු සුදුසුකම තමයි වගාවට ගැළපෙන ඉඩමක් ඔබ සතුව පැවතීම. එය බදු පදනම මත ලබාගත් ඉඩමක් වුණත් ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම කුඩා පැළ තවානක් ආරම්භ කිරීමට පවා මේ ණය ලබා ගැනීමට පුළුවන්. ඔබේ පවතින පැළ තවාන වැඩිදියුණු කර ගැනීමට වුණත් මේ ණය මුදල ලබා ගැනීම අවස්ථාව තිබෙනවා.
ණය මුදල ගෙවීමට කාලයක්
මේ වගා ණය ලබා දෙන වගාවන් වන්නේ, වී, මිරිස්, රතු ලූනූ, ලොකු ලූනු, මුං, කව්පි, උඳු, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, රටකජු, තල, සූරියකාන්ත, අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, බටු, බීට් රූට්, බණ්ඩක්කා, බෝංචි, ගෝවා, කැරට්, මාළුමිරිස්, ලීක්ස්, තක්කාලි, රාබු, නෝකෝල්, වැටකොළු, කරවිල, පතෝල, වට්ටක්කා, උක් ගස්, කහ මෙවැනි ඕනෑම වගාවකට මේ ණය මුදල ලබාගන්න අවස්ථාව තිබෙනවා.
මේ ණය මුදල ගෙවීමටත් ඔබට කාලයක් ලැබෙනවා. එය ඔබේ වගාව අනුව වෙනස් වෙනවා. උක් සහ කහ වගාවන්ට වසරක් වැනි කාලයක් ලැබෙනවා. අනෙක් වගා සඳහා ණය ගෙවීමට දින 270ක් වැනි කාලයක් හිමි වෙනවා. මේ වගේ කාලයක් ඔබට ලැබෙන්නේ අස්වැන්න නෙළා ගැනීමට ගතවන කාලය අනුවයි.
මේ ණය මුදල ලබාදීම සඳහා මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව , සණස සංවර්ධන බැංකුව, කාර්ගිල්ස් බැංකුව, SMIB යන සියලු බැංකු මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා.
ණය ලබාදෙන බැංකු
ඔබ කළ යුත්තේ ඔබට ආසන්නතම ඔබ ගනුදෙනු කරන බැංකු ශාඛාව වෙත යන්න. එම බැංකුවෙන් මේ ණය ක්‍රමය ගැන වඩාත් හොඳින් දැනුම්වත් වෙන්න. මේ ණය ක්‍රමය සඳහා විශේෂිත ඇපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ණය ක්‍රමය ගොවි ව්‍යවසායකත්වය වැඩි දියුණු කර ගැනීමට රජය ක්‍රියාත්මක කළ සාර්ථක ණය ක්‍රමයක්.
ඔබට මේ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ ණය මුදල ලබා ගැනීමට අපේක්ෂා කරන අදාළ බැංකු ශාඛාව වෙත යන්න. එහි බැංකු කළමනාකරු හෝ බැංකු නිලධාරියෙකු හමුවී ඔබගේ අවශ්‍යතාව ඔවුනට දක්වන්න. එවිට ඔබට අවශ්‍ය උපදෙස් සියල්ල එම නිලධාරීන් විසින් ලබා දෙයි. ඒ සඳහා අවැසි ලිපි ඔප්පු හා අනෙකුත් දේ ඔවුන්ට පැවසූ විට ඔබට අවශ්‍ය ණය මුදල් ලබා දීමට බැංකුව විසින් කටයුතු කරනු ඇත.
ණය තොරතුරු සැපයීම:
මුදල් අමාත්‍යාංශයේ
මූල්‍ය සංවර්ධන අංශය
දුමින්ද කාරියවසම්