පිච්ච මල් වගාව පිළිබඳ හැඳින්වීමක් කළොත්?
ලංකාවේ පිච්ච මල් වර්ග දෙසීයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැනට මිනිස්සු පාවිච්චි කරන්නේ වර්ග දහයත් පහළොවත් අතර ප්‍රමාණයක්. පිච්ච මල් කියන්නේ ඖෂධීය ගුණය අනූන මල් වර්ගයක්. මිනිස්සු හිතාගෙන ඉන්නේ පිච්චමල් භාවිත කරන්නේ පූජා කිරීමට විතරයි කියලා. එහෙම නැහැ. සුවඳ විලවුන්වලට, දේශීය වෙදකම්වලට, සබන්වතුර තේවලට භාවිත කරනවා.
ලංකාව තුළ පිච්චමල් වගාවට තිබෙන ඉල්ලුම කොහොමද?
ඇත්තටම ලංකාවෙ ගොඩක් හොඳ ඉල්ලුමක් පිච්ච මල්වලට තියෙනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට තරම් ප්‍රමාණයක් මේ වගාවේ නියැළෙන් නැති එකයි තියෙන එකම ප්‍රශ්නය. ඒ හින්දා විදේශීය රටවලින් මල් ගෙන්නන තත්ත්වෙට පත්වෙලා තියෙනවා. විදේශීය රටවල පවා ලංකාවේ පිච්චමල් ඉල්ලනවා. නමුත් එසේ ලබා දෙන්න තරම් පිච්චමල් නැහැ. ඒ නිසා ලංකාවේ ගොවීන් පිච්චමල් වගාවට යොමු වෙනවා නම් ගොඩාක් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන්.
අපි මෙහිදී සාකච්ඡා කරන්නේ රෝස පිච්ච කියන පිච්ච වර්ගය. එම වගාව ආරම්භ කරන්නේ කොහොමද?
මුලින්ම කියන්න ඕනෙ පිච්චමල් වගාව ඕනෙම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කරන්න පුළුවන්. එක පැළයක ආයු කාලය අඩුම අවුරුදු පහළොවක් පමණ වෙනවා. තේ වගාවට ඉතාමත් සමාන වගාවක්.අක්කර කාලෙකින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පැළ හයසීයයි. මූලික වියදම පමණයි මේ වගාවට යන්නේ. ඉඩම, ජල පහසුකම් සහ උනන්දුව තිබෙනවා නම් මාස හයකින් පමණ අස්වැන්න ලබාගන්න පුළුවන්.
අඩි හතරෙන් හතරට තමයි පෙළ හදන්න ඕෙන. ඒ කියන්නේ පැළ දෙකක් අතර පරතරය අඩි හතරයි. අඩියක වගේ වළක් තමයි සකසා ගන්නේ. වළට කොම්පෝස්ට් දාලා දවස් තුනක් වගේ තියලා වතුර දැමීම සිදු කරන්න ඕනෙ. වේයෝ වගේ සත්තු ඉන්නවනම් අළුහුනු ටිකක් කලවම් කිරීම ඉතාමත් සුදුසුයි. සතියක විතර පමණ කාලයක් එසේ තබා වළ පුරවලා පැළේ හදන්න පුළුවන්. පැළේ හදලා සතියක විතර කාලයක් ගත වෙන තුරු දෛනිකව වතුර දැමිය යුතුයි. ඉන්පසු දවසක් හැර දවසක් වතුර දැමීම හොඳටම ප්‍රමාණවත්. පැළය හැදුනට පසුව මාස හතරක් විතර ගිය පසු සතියකට දවස් තුනක් වගේ වතුර දැම්මම ප්‍රමාණවත්.
මේකේ තියෙන විශේෂිතම කරුණ තමයි අස්වැන්න පැමිණෙන තුරු අතුරු භෝගයක් වගා කරන්න පුළුවන්. ඒ කියන්නේ මාළුමිරිස්, බඩඉරිඟු, බණ්ඩක්කා, මිරිස්, කහ වගේ දෙයකින් ඔබට අමතර ආදායමක් ගන්නත් පුළුවන්.
පිච්චමල් සඳහා යොදන විශේෂිත පොහොර වර්ග තිබෙනවාද?
මේ සඳහා කාබනික සහ රසායනික පොහොර වර්ග යොදන්න පුළුවන්. මම නම් කාබනික පොහොර විතරයි භාවිත කරන්නේ. මොකද දේශීය වෙදකම්වලට සහ තේ සඳහා මෙය භාවිත කරන නිසා.
මෙම වගාව නඩත්තු කරන හැටි දැනගන්න කැමැතියි?
රෝස පිච්ච වගාවේ මල් හැදෙන්නේ මල් වාර විදිහට සාමාන්‍යයෙන් මල් වාරයක් කියන්නේ දවස් විස්සත් විසිපහත් අතර කාලයක්. මල් වාරය මුලදී මල් අඩුවෙන් තමයි කැඩෙන්නේ. මැදදී වැඩි වෙනවා. අවසාන දවස් වෙනකොට ආයෙත් අස්වැන්න අඩු වෙනවා. අවුරුද්දකට මල්වාර හතරත් පහත් අතර ප්‍රමාණයක් හැදෙනවා. මල් නැති කිනිති කපලා ඉවත් කරන්න ඕනෙ. එතැනින් දළු දෙකක් එනවා. එහෙම තමයි නඩත්තු කරගන්නේ. රිකිලි දෙකක් යනු මල් පොකුරු දෙකක් කියන්නෙ පූදින බව.
පිච්චමල් වගාකරුවකු ලෙස අද ඔබ ස්ථාවර තත්ත්වයක ඉන්න ව්‍යාපාරිකයෙක්
මමත් ලොකු අවදානමක් අරගෙන තමයි මේක පටන් ගත්තේ. නමුත් දැන් අවදානම පහව ගිහිල්ලා තියෙන්නේ. ඉවසීමෙන් සහ අවධානයෙන් තමයි වගාව පටන් ගත්තෙ. එදා ඉඳන් අද වෙනකන් කරගෙන යන්නේ. දිනපතාම පාන්දර දෙක හමාරට මමයි මගේ බිරිඳයි නැගිටලා මල් නෙළනවා. පාන්දර පහ වෙද්දි මල් කඩලා ඉවරයි. උදෑසන හය වෙනකොට අවශ්‍ය තැන්වලට රැගෙන යෑමට සියලු කටයුතු සූදානම් කරලා ඉවර වෙනවා. ඒ කියන්නේ අපි උදේ හය වෙනකොට හොඳ මුදලක් උපයගෙන ඉවරයි. විශාල කැපකිරීමක් සහ ඉවසීමෙන් තමයි මම මේ වගාව සාර්ථකව සිදු කරගෙන යන්නේ.
පිච්චමල් වගාව තුළින් රටේ ආර්ථිකයට කෙසේ දායක විය හැකිද?
වර්තමානයේ ඉන්දියාවෙන් ලංකාවට දිනකට විශාල මල් ප්‍රමාණයක් ගෙන්නනවා. මේක අපේ ලංකාව තුළම නිෂ්පාදනය කරගැනීමට පුළුවන්නම් ගොඩක් වටින දෙයක්. දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළේද පිච්චමල් සඳහා තිබෙන ඉල්ලුම අධිකයි. විශේෂිතම දේ තමයි උදාහරණයක් විදිහට ගොවියාගෙන් මල් රුපියල් 2000 අරගන්නවා නම් අතරමැදියා රුපියල් 6000කට විකුණනවා. මේ තත්ත්වය වුණත් වළකා ගන්න පුළුවන් මේ වගාවට බොහෝ දෙනෙක් යොමු වෙනවා නම්. දැනට මම සිදුකරන්නේ පිච්චමල් වගාව විතරයි. ඉදිරියේදී අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා නාමයෙන් පිච්චමල් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
පිච්ච මල් වගාව ස්වයං රැකියාවක් ලෙසට කිරීමට යමෙකු බලාපොරොත්තු වෙනවා නම් ඔබට ඔවුනට ලබා දිය හැකි උපදෙස් මොනවාද?
ලංකාවේ ගොඩක් මිනිස්සු රජයෙන් දෙන ආධාර බලාගෙන තමයි ජීවත් වෙන්නේ. තමන්ට තියෙන ඉඩම් වලින් ප්‍රයෝජන ගන්න මිනිස්සු දන්නේ නැහැ.
ඉඩම තියෙනවා නම් උනන්දුව තියෙනවනම් ඒක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් වගාවක්. ලංකාවේ සුවඳ මල් හොයාගන්න හරිම අමාරුයි. ඇත්තටම ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න හරිම අපහසුයි. අවධානම සහ අවධානය හා ඉවසීම අනිවාර්යෙන් තියෙන්න ඕන. වාර්ෂිකව පැළ හයසියයකින් මාසයට ලක්ෂයකට ආසන්න මුදලක් හොයන්න පුළුවන්. ඒකට වැය වෙන්නේ දිනකට පැය දෙකක පමණ කාලයක් විතරයි. ඒ නිසා පිච්චමල් වගාව කරන අතරේ වෙනත් රැකියාවක නියැළෙන්නත් පුළුවන්. අක්කරයක පිච්චමල් වගා කළොත් හතර දෙනෙකුට රැකියා අවස්ථා පවා ලබා දෙන්න පුළුවන්. ලංකාවට සුවඳ මල් පිටරටින් ගෙන්නනවා. නමුත් ඒ මල් අපිට දේශීය වශයෙන් ලංකාව තුළම නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද පිච්ච මල්වලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩියි. ඕනෑම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ඉතා හොඳ වගාවක්.
උපදෙස්:
ඒ.ජී.ඩබ්.එම්.එස්.කේ.
විජේරත්න ගොවි මහතා
බුද්ධිකා සංජීවනී