ජීවන වියදම ගැන සංතාප වෙනවාට වඩා පවුලේ ආදායම වැඩිකර ගැනීමට වෙහෙසීම නුවණැති පිළිවෙතයි. ඇය ගීතිකා සුභාෂිණි. මීට වසර ගණනාවකට ඉහත දී කොටිගල වත්ත, දික්කුඹුර, අහංගම පිහිටි “ගී මාල්” නිෂ්පාදනවල හිමිකාරිනිය ඇයයි.
මිරිස්කඩු, තුනපහ කියන්නේ අපේ ගෘහිණියන්ට නිවෙසේදීම හදාගන්න පුළුවන් දෙයක්. ඒත් ඉතින් අද කාලේ කාන්තාවන්ට ඒවාට කොහෙන්ද වෙලාවක්. එහෙම මැසිවිලි නඟන අය හරිම ලෙහෙසියෙන් පහසුවෙන් වෙෙළඳපොළෙන් මේ තුනපහ මිලදී ගන්නවා. එහෙම කාන්තාවන් අතර ඇය සැබෑම සම්පතක්. ඇය මේ මිරිස්, තුනපහ සාදන්නේ ඇගේ නිවෙසේදීමයි. ඒවා තම පවුලේ පරිභෝජනයට මෙන්ම අනෙක් අය වෙනුවෙන් ද නිෂ්පාදනය කර අලෙවි කරනවා. එය කියන තරම් පහසු කටයුත්තක් නම් නොවේ. එහෙත් උනන්දුව, උත්සාහය, නොපසුබස්නා වීර්යය හමුවේ මේ දිරිය කත ජීවිතය ගොඩනංවාගෙන තිබේ.
‘මගේ තාත්තා ලියුම් බෙදාහරින්නෙක් ලෙස සේවය කළා. අම්මා කුලී ඇඳුම් මැසූ මැහුම් ශිල්පිනියක්. ඒ ලැබුණු ආදායමෙන් තමයි මමයි, මල්ලියි ජීවත් කළේ. අද අපේ දරුවන් වෙනුවෙන් තිබෙන හැමදේම ඒ කාලේ අපට තිබුණේ නැහැ. ආර්ථික අපහසුතා එමටයි. උසස් පෙළට පන්ති යන්න අතේ සල්ලි තිබුණේ නැහැ. ඉතින් මම මුදල් ඉපැයිය හැකි යමක් කළ යුතු යැයි නිතර කල්පනා කළා. ඊට පස්සේ තමයි අයිස් පැකට් කිරීමට යොමු වුණේ. එතකොට මම උසස් පෙළ පන්තියේ. කොහොම හරි මගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් හොයා ගත්තේ එහෙම අයිස් පැකට් හදලා. ඒකට හොඳට ඉල්ලුම තිබුණා.
ඉන් පසුව මගේ මේ පුංචි ස්වයං රැකියාවට මගේ තාත්තා අත හිත දුන්නා. ඔහුගේ මැදිහත්වීමෙන් ‘ගී මාල්’ නිෂ්පාදන ලෙස මගේ මල්ලිගේ නමින් මෙය ලියාපදිංචි කළා.
අයිස් පැකැට්වලට අමතරව මිරිස්කුඩු, තුනපහ, ගම්මිරිස් කුඩු වගේ නිෂ්පාදන පැකට් කිරීම ආරම්භ කළා. හැමෝගෙම ආශීර්වාදය මැද පුංචියට ඇරැඹූ ස්වයං රැකියාව දවසින් දවස දියුණු වුණා. ඒත් එක්කම මේවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්නත් කටයුතු කළා.
මේ සඳහා මට කුඩා ව්‍යාපාර අංශයේ සහයෝගයත් ලැබුණා. මට ඕනෙ වුණේ ස්වයං රැකියාවක් කියන නමින් මිදී ව්‍යාපාරයක් දක්වා එය වැඩි දියුණු කරගැනීමටයි. ඒත් කොවිඩ් එක්ක ව්‍යාපාරය කඩා වැටුණා. මගේ නිවෙසට එන අවශ්‍ය කෙනෙක්ට පමණක් දැන් මේ නිෂ්පාදන කරලා දෙනවා.
අද මම මැහුම් ශිල්පිනියක් විදිහටයි. පවුලේ ආර්ථිකයට සවියක් වන්නේ. පුංචි කාලේ දස්කම් දක්වපු මැහුම් ශිල්පය අද මට ලොකු පිහිටක් වුණා.
ඇත්තටම තරුණී බලන සුවහසක් කාන්තාවන්ට මම කියන්න කැමතියි. එකවර ලොකු ලාභයක් අපේක්ෂාවෙන් ඔබ ස්වයං රැකියාවක් අරඹනවා නම් ඒකෙ පැවැත්මක් නෑ. ආරම්භයේදී තිබූ උනන්දුව අවසානය දක්වාම තබාගත යුතුයි. එහෙම කෙනකුට කවදහරි හොඳ ව්‍යාපාරයක හිිමිකාරිත්වයක් ලබන්නට පුළුවන්. හරියට මම වගේ.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර