Tuesday, September 2, 2025
Epaper
Home මනෝ උපදේශනනව ජීවිතයක අරුණැල්ලේ  සැඟවුණු කඳුළ

නව ජීවිතයක අරුණැල්ලේ  සැඟවුණු කඳුළ

පශ්චාත් ප්‍රසව අවපීඩනය

by Thanushika

දරුවකුගේ උපත කියන්නේ ඕනෑම පවුලකට ලැබෙන සතුටුදායකම මොහොතක්. දරුවෙකු ලැබුණු අම්මා කෙනෙක් හැමවිටම සතුටින්, සෙනෙහසින් සහ ප්‍රබෝධයෙන් සිටිය යුතුයි කියලා අපේ සමාජයේ ස්ථාවර මතයක් තිබේ. ඒත් මේ මවුවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ සතුටුදායක කාලය තුළ අඳුරු සෙවණැල්ලක සිරවී සිටින බව අප දන්නේ නැහැ. එයට හේතුව පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයයි.

ගර්භණී සමයේදීත් දරුවා ලැබී ගත වන වසරක පමණ කාලසීමාව තුළදීත් කාන්තාවකගේ චිත්තාවේග පුළුල් පරාසයක විහිදෙනවා. කනස්සල්ල, මූලිකව හටගන්නා හැඬීම, නොරිස්සුම හා අධි සංවේදී බව වැනි මානසික ස්වභාවයන් මේ කාලයේදී බොහෝ විට දැකිය හැකි තත්ත්වයන්ය. නමුත් එය දිගුකාලීනව පැවති මානසික තත්ත්වයකි.

මොකක්ද මේ පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය කියන්නේ?

දරු ප්‍රසූතියෙන් පසු එළඹෙන දින කිහිපය තුළ ආතතිය, බහුලව ඇතිවන පොදු තත්ත්වයක්. මවුවරුන් අතරින් 80% කට ආසන්න පිරිසක් මේ මානසික තත්ත්වයට මුහුණපානු ලබයි. මෙයට හේතුව වන්නේ දරුවා බිහි කිරීමෙන් පසු සිරුරේ සිදුවන හෝමෝනයන්ගේ වෙනස් වීමයි. එමෙන්ම කොටිසෝල් සාන්ද්‍රණය ඉහළ යාමත්, ප්‍රසූතිය අතරතුරේදී සිදුවන ආසාදන තත්ත්වයනුත්, දරුවාගේ මුල් වයස් කාලයේදී මවගේ වගකීම් වැඩිවීම මත ඇතිවන අවිවේකී බවත් මෙයට හේතුකාරණා වේ. මේ සියලූ කාරණාවලට අමතරව ආර්ථීක ගැටලුවලට මැදිවන කාන්තාවන් බිලිඳාගේ අවශ්‍යතා ඉටු කරගැනීමට යාමේදී ඒ මත විඳින්නට සිදුවන පීඩාවන් ද මානසික ව්‍යාකූලතාවලට පෙරනිමිති වේ.

මෙය දරු ප්‍රසූතියෙන් පසු අම්මා කෙනෙකුට ඇති විය හැකි බරපතළ මානසික රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් දින කිහිපයකට පසු ඇතිවන ‘බේබි බ්ලූස්’ (Baby Blues) නම් කෙටිකාලීන දුක්බර හැඟීම්වලට වඩා මෙය වෙනස් වේ. පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සති ගණනක්, මාස ගණනක් හෝ වසරක් දක්වා පවා පැවතිය හැකි අතර, මවගේ සහ දරුවාගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට බරපතළ ලෙස හානි කරයි.

රෝග ලක්ෂණ

පශ්චාත් ප්‍රසව අවපීඩනයේ රෝග ලක්ෂණ ගත්කල කාන්තාවට එනම් නවක මවට නිරන්තර දුක සහ බලාපොරොත්තු රහිත හැඟීම් ඇතිවිය හැකිය. දවසේ වැඩි වේලාවක් දුකෙන්, කලකිරීමෙන් සිටීම දැකගත හැකියි. කලින් සතුටින් සිටි දේවලට කිසිදු ආශාවක් නැති වීම හා නිතරම මහන්සියක්, තෙහෙට්ටුවක් ඇතිවීම ද දැකගත හැකියි. එමෙන්ම අධික ලෙස නිදාගැනීම හෝ නින්ද නොයෑම, වැඩිපුර ආහාර ගැනීම හෝ ආහාර රුචිය නැති වීම ඇතිවිය හැකිය. එමෙන්ම විශේෂම ලක්ෂණයක් වන්නේ දරුවා කෙරෙහි සෙනෙහසක් නොමැති වීමයි. දරුවා ගැන සැලකිලිමත් වීමට අතපසු වීම හෝ හානිකරන සිතුවිලි ඇතිවීම විය හැකිය. මෙය ඉතාමත් භයානක තත්ත්වයයි.

මෙය කම්මැළිකමක් හෝ සාමාන්‍ය දුකක් නොවෙයි.

ෙපශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයට හේතු කිහිපයක්ම බලපෑ හැකිය. හෝමෝන වෙනස්කම්, දරු ප්‍රසූතියේදී ඇති වූ කම්පන, පවුලේ අයගෙන් හෝ සහකරුගෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම වැනි දේවල් මේ අතර ප්‍රධාන වේ. මේ තත්ත්වයෙන් පෙළෙන කෙනෙකුට අවශ්‍ය වන්නේ ආදරය, රැකවරණය සහ වෛද්‍ය උපදෙස් ලබා දීමයි.

මෙය සාමාන්‍ය දුකක් හෝ කම්මැළිකමක් නොවෙයි. මෙය ප්‍රතිකාර කළ යුතු බරපතළ රෝගී තත්ත්වයකි. යම්කිසි කෙනෙක් මේ තත්ත්වයෙන් පෙළෙනවා නම් වෛද්‍යවරයෙක් හෝ මනෝ වෛද්‍යවරයෙක් හෝ උපදේශකවරයෙක් හමුවීම ඉතා වැදගත් වේ.

සැමියාගේ මැදිහත්වීම

මේ තත්ත්වය ප්‍රසූතියෙන් පසු මුල් සති දෙක තුළ ඇතිවන තාවකාලික තත්ත්වයකි. හැඬීම, නුරුස්සනාසුලු බව, මානසික අවපීඩනය ඇතිවීම වැනි ලක‍ෂණ පෙන්නුම් කරන අතරම මේ සඳහා ස්වාමිපුරුෂයාගේ, පවුලේ අයගේ සහයෝගය, ආදරය, කරුණාවන්ත බව ලැබීම වැදගත් වේ. සති දෙකට වඩා පවතියි නම් පසු ප්‍රසව විෂාදය තත්ත්වයට පත්විය හැකියි.

මේ කාලයේදී මවට ප්‍රසව විශෂාදය, ප්‍රසවයෙන් හටගත් සයිකෝසිස් වැනි තත්ත්ව ඇති වීමට වැඩි ඉඩකඩක් පවතිනවා, මේ පිළිබඳ විශේෂයෙන්ම තේරුම්ගත යුතු පුද්ගලයා සහ දැනුම්වත් විය යුතු පුද්ගලයා වන්නේ ස්වාමිපුරුෂයායි. තම බිරිය සමඟ සියලූම කාර්යයන්වලට උර දීමට ඔහුට හැකියාවක් ඇත්නම් මෙවැනි තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැඛෙනවා. තම බිරියගේ යම් යම් වෙනස්වීම් කෙරෙහි බලපාන හේතුසාධක හඳුනාගනිමින් ඇයව තේරුම් ගනිමින් විවාහ දිවිය ගෙවන්නට අවැසි අවබෝධය ස්වාමිපුරුෂයකු වශයෙන් ඔබට තිබිය යුතුමයි. යම් යම් අවස්ථාවන්වලදී ඔබේ දයාබර බිරිය පීඩාකාරී මානසික පසුබිමක සිටියත්, ඒ බව ඔබට නොපවසන්නේ ඇය තුළ පවතින පීඩාකාරී මානසික වටපිටාව නිසාමයි. එවැනි අවස්ථාවල ඇයව හොඳින් තේරුම් ගැනීමට ස්වාමිපුරුෂයා ලෙස ඔබට පුළුවන් නම් ඇයට එය මහත් වූ අස්වැසිල්ලක් වනු ඇත.

එසේ නොමැතිව ඔබ ඇයට තව තවත් පීඩනය එල්ල කිරීමක් සිදු කළහොත් ඇය තව තවත් අසරණ වනු ඇත. ස්වාමිපුරුෂයාගේ දැඩි ආදරය, රැකවරණය තම බිරියට ලැබුණහොත් බිරියට ඇතිවන මානසික පීඩනය අවම වේ. එසේ නොවුණහොත් ප්‍රසූතියකින් පසු ඇතිවන ගැටලු මත මව හා බිලිඳා අතර දුරස් බව ඇති වන අතර එය දරුවාගේ වර්ධනය සහ ආරක්ෂාව කෙරෙහි සෘජුවම බලපායි. මෙවැනි තත්ත්වවලදී සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව කේන්තිය, දරුවා නොරිස්සීම, ස්වාමියාගෙන් වෙන්ව සිටීම වැනි දේවලට පෙළඹේ. මේ තුළ විෂාදය වැනි මානසික සෞඛ්‍යය ගැටලු ඇති වීමට ද හැකියාව පවතියි.

වර්තමානයේ මෙම මාතෘකාව කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබුණ ද, තවමත් එය සමාජයේ සැඟවුණු රෝගයක් ලෙස පවතියි. බොහෝ මවුවරුන් සහ ඔවුන්ගේ පවුල් මේ පිළිබඳව නිසි ලෙස දැනුම්වත්භාවයක් නැත. ඔවුන් මේ තත්ත්වය හුදෙක්ම ‘සාමාන්‍ය දුකක්’ ලෙස හෝ කම්මැළිකමක් ලෙස සලකනු ලබයි. මේ නිසාවෙන් රෝග ලක්ෂණ හඳුනාගැනීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වේ. එමෙන්ම තමන් පශ්චාත් ප්‍රසව අවපීඩනයෙන් පෙළෙන බව හෙළිදරව් කළ විට තමන්ව හොඳ මවක් නොවන බවට සමාජය විසින් ලේබල් කරයි ද යන බිය බොහෝ මවුවරුන්ට ඇත. එම නිසා ඔවුන් නිහඬව දුක් විඳිමින් ඔවුන්ගේ රෝගය සඟවාගෙන සිටිති. සමහර පවුල්වල අලුත් අම්මා කෙනෙකුට අවශ්‍ය මානසික සහයෝගය, ශාරීරික විවේකය සහ ආදරය නොලැබෙයි. දරුවා බලා ගැනීමට සම්පූර්ණ වගකීම ඇය මත පැවරීම, පවුලේ ගැටුම්, ආර්ථික ප්‍රශ්න වැනි දේවල් මේ තත්ත්වය තවත් දරුණු කිරීමට පුළුවන. අප රටේ මානසික සෞඛ්‍ය සේවාවන් තවමත් ප්‍රමාණවත් මට්ටමක නොමැති නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන මවුවරුන්ට මනෝ වෛද්‍යවරුන් හෝ උපදේශකයන් හමුවීමට ඇති අවස්ථා සීමාසහිතය.

උදව් කරන්නේ කොහොමද?

පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සුවකල හැකි රෝගයකි. එම නිසා නිවැරදි විසඳුම් මෙන්ම මේ සඳහා නිවැරදි වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. සෞඛ්‍ය අංශ හා මාධ්‍ය හරහා මේ පිළිබඳව පුළුල් දැනුම්වත්කිරීමේ වැඩසටහන් දියත් කළ යුතුයි. රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳ මවුවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවබෝධයක් ලබාදිය යුතුයි. සෑම මවකගේම මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදිය යුතුය.

නි‍ෙවසට පැමිණෙන සෑම විටම මවගේ මානසික තත්ත්වය ගැන විමසා බැලීම ඉතා වැදගත් වේ. විශේෂම දේ වන්නේ පවුලේ සහයෝගයයි. පවුලේ සාමාජිකයන්ගේ වගකීම වන්නේ අලුත් අම්මාට උපරිම සහයෝගය ලබාදීමයි. ඇයට විවේක ගැනීමට කාලය ලබාදීම, දරුවා බලා ගැනීමට උදව් කිරීම සහ ඇයගේ හැඟීම්වලට සවන් දීම ඉතා වැදගත්. මෙම රෝගී තත්ත්වය තිබෙන බව දැනුණු විටම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. එය ලැජ්ජාවට කාරණයක් නොවන බව සමාජයට අවබෝධ කර දිය යුතුය.

දරුවකුගේ සෞඛ්‍යය මවගේ මානසික සෞඛ්‍යය මත රඳා පවතී. පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන මවක් තමන්ගේ දරුවාට නිසි ලෙස ආදරය හා රැකවරණය ලබා දීමට අපොහොසත් විය හැකියි. එමනිසා, මෙය මවකට පමණක් නොව මුළු පවුලටම බලපාන ගැටලුවකි. අප සියලු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කර, විවෘතව කතා කර, එවැනි තත්ත්වයකින් පෙළෙන අයට සහයෝගය ලබාදිය යුතුයි. නීරෝගි මවක්, නීරෝගි පවුලක් සහ නීරෝගි සමාජයක් ගැන සාකච්ඡාවක් ඇති කළ යුතුය.

එමෙන්ම විශේෂයෙන් ස්වාමියා, පවුලේ අයගේ ආදරය, සහයෝගය මවකට මේ රෝගයෙන් මිදීමට ඇති සරලම බෙහෙතයි. මේ තත්ත්වය වළක්වා ගැනීමට මවටත් දරුවාට මෙන්ම ආදරය ලබාදිය යුතුයි.

උපදෙස්

විශේෂඥ මනෝ වෛද්‍ය

රූමි රූබන්

කරාපිටිය රෝහල

විදුමිණි දිසාකරුණා

සෙව්මිණී ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?