ඉට්ලි, තෝසේ, උළුඳු වඩේ හා මසල වඩේ ආදී කෑම මතක් වෙද්දි ලංකාවේ කවුරුත් දෙමළ කඩයක් තියෙන්නේ කොහේද කියලා හොයලා යන එක කාගෙත් සිරිතකි. සයිවර් කඩේක සම්බාර් හොදි හා චට්නි එක්ක රස බැලූ කොයි කවුරුත් එහි තිබෙන ප්‍රණීත බව නිසාම දෙමළ කඩයක්ම සොයති. ඒ වගේම දෙමළ සංස්කෘතියටම අදාළ තැටිය හා ස්ටීල් කප් එකට බොහෝ දෙනා ආදරය කරති.
සිංහල අය ද තෝසේ, වඩේ ආදිය සකස් කළද බොහෝ දෙනෙක් නියම රසයෙන් යුතු රතු පාට හෝ කොළ පාට පැහැයෙන් යුතු තෝසේ සම්බෝලය සෑදීමට නොදන්න බව නම් ප්‍රකට කරුණකි. ඉතින් අද අපි සූදානම් වෙන්නේ යාපනේ සයිවර් කඩේ රසටම කොළඹ අපි කොහොමද මේ කෑම හදන්නේ කියලා ඉගෙන ගන්නයි.
සයිවර් කඩේ සම්බෝලේ
පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට හදා ගනිමු.
අවශ්‍ය ද්‍රව්‍ය
* උඳු ඇට මේස හැඳි 1ක්
* කඩල පරිප්පු ඇට
මේස හැඳි 1ක්
* කොළ පැහැයට සම්බෝලය සාදයි නම්, අමුමිරිස් කරල් 10ක් පමණ.
රතු පැහැයට සම්බෝලය සාදයි නම් වියළි මිරිස් කරල් 10ක් පමණ.
* හිංග් (පෙරුම්කායම්)
* සියඹලා මේස හැඳි 2ක් පමණ
සියඹලා ටික පොඩි කප් එකකට දමා සියඹලා වැහෙන මට්ටමට උණු වතුර දමන්න. විනාඩි කිහිපයක් තැම්බෙන්න ඉඩ හරින්න. හැන්දක් ගෙන හොඳින් කලතා සියඹලා ඇට ඉවත් කරගන්න. එවිට හොඳ උකු ගතියකින් යුතු සියඹලා පේස්ට් එකක් ලැබේ.
* පොල් බෑයක ගාගන්නා ලද පොල්
* පොල් තෙල් මේස හැඳි 3ක් පමණ
* ලුණු තේ හැඳි 2ක් පමණ (අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්න.)
තෙම්පරාදුව සඳහා
* පොල්තෙල් මේස හැඳි 2ක්
* හීනියට ලියාගත් රතුලූනු මිටක් පමණ
* අබ තේ හැන්දක්
* කෑලි මිරිස් තේ හැන්දක්
* කරපිංචා ඉත්තක්
සාදන ක්‍රමය
01. පොල් බෑයක ප්‍රමාණයේ පොල් දැමිය හැකි තාච්චියක් ළිප මත තබා මඳක් රත් වූ පසු පොල් තෙල් මේස හැඳි 3ක් දමන්න.
02. තෙල් ටික රත් වූ පසු කඩල පරිප්පු ටික තාච්චියට දමන්න. ඉන්පසු උඳු ඇට ටික දමන්න. මඳක් රන් පැහැයට හුරුවන තෙක් බැදගන්න. ළිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබන්න.
03. කඩල පරිප්පු හා උඳු ඇට ටික බැදුණු පසු හිංග් (පෙරුම්කායම්) කුඩු දමන්න.
04. හිංග් කුඩු සිංහල බෙහෙත් බඩු කඩවලින් මිලදී ගත හැකියි. නැතිනම් පෙරුම්කායම් ද ගත හැක. හිංග් එකතු කළ පසු මිරිස් කරල් ටික එකතු කළ යුතුය. මෙහිදී කොළ හෝ රතු වර්ගයට අදාළව තමාට කැමති පරිදි අමු මිරිස් හෝ වියළි මිරිස් කරල් දැමිය හැකියි. මිරිස් කරල් ටික මඳක් තෙලේ බැදෙන්න ඉඩ හරින්න.
05. යාන්තම් තෙලෙන් මිරිස් කරල් ටික බැදුණු පසු සාදාගත් සියඹලා පේස්ට් එක එකතු කරන්න. හොඳින් කවලම් කරමින් බුබුළු දමන තෙක් තෙම්පරාදු කරගන්න.
06. මෙසේ සියඹලා පේස්ට් එක තෙම්පරාදු වූ පසු ළිප නිවා දැමිය යුතුය. ඉන්පසු ගාගත් පොල් ටික එම තෙම්පරාදුවට දමා මිශ්‍ර කළ යුතුය. එසේ හොඳින් මිශ්‍ර කර පසෙකින් තබාගන්න.
07. තෙම්පරාදුව සකසා ගැනීමට අවශ්‍ය පරිදි වෙනත් තාච්චියක් ගෙන ළිප මත තබා පොල් තෙල් මේස හැඳි 2ක් දමා රත්කර ගන්න. තෙල් රත් වූ පසු කරපිංචා කොළ දමන්න. එය යාන්තම් බැදුණු පසු කපාගත් රතුලූනු ටික දමන්න. රතුලුනූ ටික බැදුනු පසු කෑලි මිරිස් ටික දමන්න. ඉන්පසු අබ ඇට ටික දමා අබ පුපුරන තෙක් තෙම්පරාදු කරගන්න. මෙසේ හොඳින් තෙම්පරාදු කරගත් පසු ළිපේ ගින්දර නිවා දමන්න.
08. කලින් සකසා ගත් තෙම්පරාදු පොල් මිශ්‍රණය බ්ලෙන්ඩර් එකකින් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මිශ්‍රණයට අවශ්‍ය පරිදි වතුර එක් කළ යුතුය.
09. කෑලි ටික හොඳින් පේස්ට් වන තෙක් ජලය දමා බ්ලෙන්ඩර් කරගන්න. මේ අතර වාරයේ ලුණු තේ හැඳි 1 1/2ක් පමණ දමන්න. සකසා ගත් අබ තෙම්පරාදුව දැන් මිශ්‍ර කරන්න.
ගු ලාබ් ජාමුන්
අවශ්‍ය ද්‍රව්‍ය
(සිරප් එකට)
සීනි ග්‍රෑම් 100ක්
රෝසවතුර තේ හැඳි 1ක්
දෙහි යුෂ තේ හැඳි 1ක්
ගුලාබ් ජාමුන් බෝල සඳහා
කිරිපිටි ග්‍රෑම් 40ක්
පාන්පිටි මේස හැඳි 1 1/2ක්
රුලං ග්‍රෑම් 20ක්
බේකිං සෝඩා මේස හැඳි 1ක්
කිරි කෝප්ප 1/2ක්
දියකරගත් බටර් මේස හැඳි 1ක්
දෙහි යුෂ ටිකක්
සීනි මේස හැඳි 1ක්
සාදන ක්‍රමය
01. මුලින්ම සිරප් එක හදාගන්න. සීනිවලට වතුර කෝප්ප 1/2ක් එකතු කර ළිපේ තියන්න. සීනි දියවෙලා බුබුළු දානකොට ගින්දර අඩු කරලා රෝස වතුර දාගන්න. ළිප නිවා දෙහි යුෂ ටික එකතු කරන්න.
02. භාජනයක් ගෙන කිරිපිටි, පාන්පිටි, රුලං, බේකිං සෝඩා, බටර් හා සීනි දමා හොඳට කලවම් කරගන්න.
03. මේ ඔක්කොම හොඳට අනාගන්න ගමන් දෙහි යුෂ හා කිරි ටික ටික දාන්න. ඝනකම් මිශ්‍රණයක් හදාගෙන ඒකෙන් පොඩි බෝල හදාගන්න.
මේ බෝල ගැඹුරු තෙලේ බැද සකසා ගත් සීනි සිරප් එකේ දමා පැය දෙකකින් විතර පිළිගන්වන්න.
බණ්ඩක්කා මිරිසට
අවශ්‍ය ද්‍රව්‍ය
බණ්ඩක්කා කරල් 10ක්
හීනියට කපාගත් තක්කාලි පොඩි ගෙඩියක්
කපාගත් ලූනු, අමුමිරිස්, සුදුලූනු
කරපිංචා
සූදුරු තේ හැඳි 1/4ක්
උළුහාල් තේ හැඳි 1/4ක්
අබ ඇට තේ හැඳි 1/4ක්
තල තෙල් තේ හැඳි 1/2ක්
සියඹලා ඇට තුනක විතර ඉස්ම උකුවට
සීනි තේ හැඳි 1/2
අමුතුනපහ තේ හැඳි 1/2ක්
මිරිස්කුඩු තේ හැඳි 1/2ක්
ලුණු
මිටිකිරි කප් 1/4ක්
සාදන ක්‍රමය
01. බණ්ඩක්කා ටික පොඩියට කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
02. පොල් තෙල් ටිකකට තල තෙල් කලවම් කර රත්වෙන්න තියන්න. ඒකට අබ, සූදුරු, උළුහාල් දා බැදීගෙන එනකොටම බණ්ඩක්කා, මිටිකිරි හැර අනිත් ද්‍රව්‍ය ටික දාගන්න.
03. හොඳට කලවම් කර කර තෙම්පරාදු වෙනකොට ලූනු, පහේවලින් තෙල් වෙන් වෙලා එනවා. එතකොටම පොල්කිරි එකතු කරගන්න.
04. කිරි උතුරනකොට බණ්ඩක්කා ටික දමා කලවම් කර අඩු ගින්දරේ හින්දගන්න.
අල බොන්ඩා
අවශ්‍ය ද්‍රව්‍ය
හාල්පිටි ග්‍රෑම් 100ක්
උඳුපිටි ග්‍රෑම් 100ක්
බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්
අල ග්‍රෑම් 500ක්
ලූනු ගෙඩියක්
අමුමිරිස් කරල් දෙකක්
කරපිංචා
මිරිස්කුඩු තේ හැඳි 2ක්
කහකුඩු තේ හැඳි 1/2ක්
ගරම් මසාලා තේ හැඳි 1/2ක්
අබ තේ හැඳි 2ක්
සුදුලූනු බික් 3-4ක්
සාදන ක්‍රමය
01. අල ටික තම්බා ගන්න.
02. පෑන් එකක් ළිපේ තියලා තෙල් දාලා රත්වෙනකොට ලියාගත් ලූනු, සුදුලූනු, අබ, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. මිරිස්කුඩු, කහකුඩු, ගරම් මසාලා, ලුණු අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා ෆිලින් එක හදාගන්න.
03. දැන් අල පොඩිකර මේකට එකතු කරන්න. හාල්පිටි හා උඳු පිටිවලට මිරිස් කුඩු, කහ කුඩු, බේකිං පවුඩර් හා ලුණු දමා වතුර ටික ටික එකතු කරලා උකු බැටර් එකක් හදාගන්න.
අල කරි එකෙන් බෝල හදලා මේ බැටර් එකේ දවටලා ගැඹුරු තෙලේ බැදගන්න.
මලර්මතී දේවි
කනිෂ්ඨ සුස් චෙෆ්
උතුරු – දකුණු ඉන්දියානු සහ උතුරු ශ්‍රී ලාංකික (යාපනය) ආහාර පිළිබඳ විශේෂඥ
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර