Tuesday, September 9, 2025
Epaper
Home කවි හිමිදිරියහිමිදිරිය

හිමිදිරිය

by Thanushika

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ [email protected] වෙත යොමු කරන්න.

සූරියකාන්ත මල

හිරු මඬල
ඔබය මට
ඒ දෙසට මෙමම
යොමන්නෙමි දිවි තුරා
ඉගැන්නුවේ ඔබ නොවෙද
මහරු බලයෙනි
ශක්තියෙනි, ජීවයෙනි
අනියත ලෝකයේ
පවත්වන ඔබ මෙමට
දිරියක් වෙමින්
වේදනා අබියස
ඉන්ද්‍රඛීලයක් මෙන්
නැඟී සිටින්නට
ලොව තිබෙන තාක්කල්
සුපහන් සිතුවිලි
විකසිත කරමින්
දසත බෙදන්නට
කැඳවා තිබෙන වග
සුපතළ කරන්නෙමි
ගිලන් වූ ලොව වෙතට
පිය මං තබන්නට

මලින්ත බෝපෙආරච්චි
කැලණිය


මල්සරාගෙ හීය

දැහැනින් ඉසුරු දෙවිඳුන්
මූදැවූ උමයංගනාවන්
දෙස බැලුවෙ කෝපයෙන්
නළලත සැදුණු ඇසකින්

තිනෙත් ලෙස නම ලැබුව
ඉසිවරගෙ දැහැන බිඳලුව
ආලය මවා පෑව
මල්සර කළ වැඩක් වුව

අනංගගෙ හී සර
ඉසිවර සොයා ආ වර
සම වැදුණා දැහැන අත හැර
ආදරය පිළිගත්තෙ එවර

කේ.ඒ. රංජනී කුලරත්න
වාරියපොල


සබ්බ පහාය ගමනීයං

සියල්ල හැරදා යා යුතුය
හැකිද හිත හදාගෙන යන්න හැරදා
හදාගත් ගේ දොර ඉඩකඩම්
මිල මුදල්, රිදී, රත්තරන්
අඹු දරු සමඟ නෑ හිතවතුන්
සියලු දේ දමා මෙහි
අප යා යුතුය මැසේජ් එක ආ විට
කිසිසේත්ම එය ඩිලීට් කළ නොහැක

ශ්‍රියානි වීරසිංහ
දර්ගා නගරය


මේකයි ජීවිතේ…

සමුගැනීම් නැති ජීවිතේ
මුණ ගැසීම් පමණක් ඉතිරිව ඇතේ
කාලය ගත වී තෙවසරක් මෙසේ
අප හමුවුණා මේ බිමේ…

ගෙවුණ කාලය කෙටි වුවත්
විය සැවොම එක පොකුරක්
නව සේවා ස්ථානයක්
විය ඔබේ එක පැතුමක්…

මව පියත් සමඟින්
සොයුර සොයුරිය අතරේ
දුවකගේ මුදු සිනාවෙන්
පුතුගේ තනිකම නැතිවී…
දිවිය සිත තුටිනේ
ඔබෙ හද පැතුම ඉටුවේ
වෙන් වුවත් මෙලෙසේ
පතමු එක රෑනේ…
කලණ මිතුරන් මුණගැහෙන්න
සියලු පැතුමන් ඉටුවෙන්න
හදේ ඉඩ ඇති තැනක
අපත් සැමදා රැඳෙන්න…

ඩබ්ලිව්.ජි. ප්‍රදීපා ආරියරත්න
පාදුක්ක


අටලෝ දහම

ගේ දොර ඉඩකඩම් වාහන
නැති වෙද්දී
බිරියත් දරුවනුත් වෙනතක් බලද්දී
ලෙඩ දුක්වලින් ගත සිත
මිලින වෙද්දී
කරදර විපත් හැම පාමුල
වැටෙද්දී
පුතු බිය නොවන්
අම්මා උඹට ඉද්දී
මිතුරන් අහක බැලුවත්
නුඹ අත ඇරලා
සොහොයුරු පෙමින්
උඹ පොහොසත්
බව සිතලා
සැනසෙන් පුතුනි
අට ලෝ දහමට බැසලා

මාලනී රාජපක්ෂ
ඉබ්බාගමුව


දුන් දේ සුවඳමයි

පෙරුම් පුරමින් බවෙන් බවයට
දාන පාරමි දම් පිරූ
මහා බෝසත් කුලේ මිනිසුන්
දුන්න දේ සුවඳයි …

මිටින් අත් හළ විහඟ තටුවක
මිතුරු සුළඟින් නිවයි සරතැස
සිත් මුදාගෙන අතින් අත් හළ
පසුව සිත් සැනසෙයි …..

සිනාවක් වුව හදින් පුද කළ
ලොවක දළුලයි සොඳුරු සෙනෙහස
සුව සොයාගෙන යනෙන ගමනක
හමු වුණේ නිවනයි …

නිලූකා පතිරණ
ඇඹිලිපිටිය


අයං වස්සාන කාලෝ…

කවදත් සොඳුරු අපේ ගම පන්සල දැකුම
ඊටත් වඩා සතුටකි අද මෙහි පෙනුම
ඝන්ඨා නදින් පිබිදෙනවා මුළු ගමම
මේ වස් කාලයයි බැතිබර අසමසම

සුදු පිරියමින් බැලූ අත කලඑළි වන්නේ
කොඩි වැල් ලෙලෙයි හමනා මඳ සුළඟින්නේ
බුදු පුදටයි අප හැමදෙන සැරසෙන්නේ
සදහම් සිසිල හදවත් සුවපත් වන්නේ

සඳරැස් වැදී බෝපත් සිලි සිලිය රැඟේ
හැමතැන ඇසෙයි බුදුගුණ පදවැලක අගේ
දැල්වෙන පහන් එළියෙන් සිත් පැතුම් නැඟේ
නිවනට මොක්පුරට යන මඟ මෙයැයි හැඟේ

හැම දසුනකම බුදුරුව නෙත දිස් වේවා
හැම හදවතක බුදුගුණ සිසිලක් වේවා
සිත කය වදන් දහමින් ඔපවත් වේවා
රාග ද්වේශ මෝහය ලොව දුරු වේවා

උපාලි කස්තුරි ආරච්චි


අසිරිමත් රට

අහස විදගෙන
දිගින් දිගටම
කළු වලාවන්
වැස්ස ගෙන එයි…

සැඳෑ අහසේ
නොයෙක් පැහැයෙන්
සිතුවම් ද ඇඳ
හිරු ද බැස යයි…

උදෑසන සිසිලසක්
ගෙන එයි
දිවා කල උණුසමින්
ගතවෙයි…
සිසිර සමයක්
ළඟම එළැඹෙයි
නමුත් අපේ රට
මල් ද පුබුදයි

විජිතා නිශාන්ති පෙරේරා


ඉසි කෝ මන්

දුරු කළ පරුස රොස් නින්දා උපහාස
නොබණින පිසුණු බස් මුසවා අපහාස
කළගුණ විරල හිස් දනහා සහවාස
නැත සහ ගණට දොස් සඳහා අවකාස

පිළිකෙව් කරන පවදැමු දුසිරිත ඉවත
ගුණදම් රකින සදහම් පතුරන දසත
කෙලෙසුන් තවන ගුණයෙන් නොවැටෙන පහත
නමදිමු නිවුන සඟ පරපුර බැඳ දොහොත

වත පිිළිවෙතෙහි යෙදුමට පසුබට නොවන
වැඩිහිටි පිළිවෙළින් සඟරුවනට වඳින
රිසිවන සමාකර ගනු වරදෙහි දකින
සඟ ගණ අසම පිරිසකි මිහිපිට වෙසෙන

විළිබිය දෙකින් සැඩ දැඩි බවහැර දැමුව
ඉසිි කෝ මාන වැනි සියොළඟ ගිනි නිමුව
වරදට පලි නොගෙන හද දහමින් තෙමුව
දත යුතු මඟ නොමඟ බොදු සඟගණ හමුව

ධම්මික ජයරංජන්


සුන්දර මතක

අතීතයට ගිය සුන්දර මතකය
පදවැල් වී කවි පද බැඳුණා
මිහිරි කවක් ළඟ විකසිත වී හද
දෙඅදර මඳහස් රැල් ඇදුණා…

මිතුරු කඳුළ ළඟ සිත
සොම්නස් වෙයි
සදැස තුළින් අරුතක් දැනුණා
සිතුවිලි විසමයි කවි සිත සරලයි
සිනා මලින් දිවියම පිරුණා…

සුජීවා අබේසිංහ


මිනිසා සහ තිරිසනා

පැටලී ඉඩම් හබයක මිනිසුන් දෙන්නා
එකෙකුගේ හදින් සපුවකු පිටතට පැන්නා
මරු කැඳවමින් අනෙකට පිහියෙන් ඇන්නා
තිරිසන්කමට මිනිසත්කම පරදින්නා

ඉපදුණ එකා ඇයි නැතිවද මිය යන්නේ
අනෙකකු මිනීමැරුමට කිම වෙහෙසෙන්නේ
තිරිසන් ගතිය මිනිසකු තුළ උපදින්නේ
මිනිසකු වෙසින් ඒ තිරිසනකුයි ඉන්නේ

ගුණමකු නපුරු දුදනන් අතරට පත්ව
සිටියත් මොටද තිරිසන් වී සැපවත්ව
මිනිසුන් වගේ ජීවත් වී මැදහත්ව
මැරුණත් සැපකි කුසගින්නේ හාමත්ව

ප්‍රේමා වෑදණ්ඩ
දෙමටලුව


උපදින මතු භවයේ සැනසුම හිමිවේවා

ලොවෙහි සොඳුරු බව රකිනා මල්ගොමුව
පරවී ඇත පරිසර මවුනට සතුව
තිබූ නිසා යහගුණදම් ඔබ සතුව
සැමට දැනේ දුක් සෝගිනි ඔබ නැතුව

සඳක් සේම සිසිලස දී ඇති ලොවට
අඳුර ඉරා සපැමිණි ඔබ හද ගැබට
තරු දහසක් තිබුණත් රෑ සඳ අවට
සොයුරු සෙනෙහෙ අඩුවක් ඇත අප සැමට

දොම්නස පිරිී හෙටක් අප හට හිමි කරලා
මළබෙර හඬින් සැමටම දුක පවසාලා
යළි කෙදිනකද ඔබ හමුවන්නේ කියලා
කෙලෙසද අක්කේ ඉන්නේ අප ඉවසාලා

සුදු වත ඇඳි ඔබ නිසලව සිටිය නියා
දකින විටදී මට නම් නිම්හිම් නැතුව ගියා
කඳුළැලි මැදින් ඔබ නිහඬව යන්න ගියා
මතු සසරෙවත් පැමිණේවා අපව සොයා

අකල් වියෝවක් කිසිදා නොම වේවා
උපදින මතු භවයෙ සැනසුම හිමිවේවා
බෝපත් සිසිල මැද දෙරණෙහි උපදීවා
පවනක් ලෙසින් විත් අප හද සනසවා

ක.වි.ආ. වෛද්‍යතිලක
මොරවක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?