“ගෙට ගෙවදීමේ චාරිත්‍රය” යනු නව නිවෙසකට ඇතුළු වීමේදී හෝ අලුතින් සාදා නිම කරන ලද නිවෙසක පදිංචිය ආරම්භ කිරීමේදී සිදු කරනු ලබන වැදගත් චාරිත්රයකි. මෙය සාමාන්‍යයෙන් ජ්‍යෝතිෂයට අනුව සුබ නැකතකට සිදු කරනු ලබයි. මෙම චාරිත්‍රයේදී අලුතින් නිවෙසට ඇතුළුවන අයගේ සතුට, සමෘද්ධිය සහ වාසනාව අපේක්ෂා කෙරේ.
ගෙට ගෙවදීමේදී සිදු කරන පොදු චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් පිළිබඳ අද අපි කතා කරමු.
නිවෙස ඉදිරිපිට මල්පැළක් තැනීම,
මල්පැළේ පහන් දල්වා, තෙරුවන් වෙනුවෙන් මල්, පහන් සුවඳ දුම් පූජා කර විෂ්ණු, කතරගම, ගම්භාර, සුමන, සමන් දෙවියන්, පත්තිනි ආදී සියලු දෙවිවරුන්ට පිං පෙත් දී මෙම නව නිවෙසේ තමන්ට සෙත් ශාන්තිය ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. පහන දැල්වීමට පස්තෙල්, එළඟිතෙල් යොදා ගන්න.
නිවෙසට ඇතුළුවන විට රැගෙන යා යුතු දේ,
බුදුපිළිමයක්,
සුදු මල් වට්ටියක්,
එළකිරි කළයක් හෝ බෝතලයක්,
වතුර පිරවූ අලුත් කළයක්,
අලුත් මුදල් නෝට්ටු කීපයක්, කුල්ලක්,
වී, සහල්, වැනි ධාන්‍ය,
මිරිස්, කහ වැනි තුනපහ,
පලතුරු,
එළවළු කීපයක්, පොල් ගෙඩියක් හෝ දෙකක්, මල්, සුවඳ දුම්,
ළිප මෙලවීමට කපුරු පෙති සහ කිරි ඉතිරවීමට අවශ්‍ය දේ.
ඇතැමුන් ලුණු සහ ගිනිපෙට්ටි ගෙනයාමට අකැමැතිය. එහෙත් ඒවා රැගෙන යාමේ කිසිදු වරදක් නැත. ලුණු දියවන ද්‍රාවණයක් වුවත් ඒ ප්‍රතිශක්තිකරණ ලවණයකි.
එසේම ලුණු සෞභාගයේ සංකේතයකි. ගින්දර නොමැතිව නිවෙසකට එළිය ද, ආහාර පිසීමේ ක්රියාවලියද සිදු කළ නොහැකි බව සිහි තබා ගැනීමෙන් මෙහි ඇති අනිසි බිය පසෙකින් තැබිය යුතුය.
සුබ නැකතක් තෝරා ගැනීම
පළමුවෙන්ම, නිවෙසට ඇතුළු වීමට සුදුසු සුබ දිනයක් සහ වේලාවක් ජ්යෝතිෂවේදියකුගෙන් ලබා ගත යුතුය. නැකැත් වේලාව යනු නියමිත වේලාවයි. එය තත්ත්පරයක් පසු වීමත්, ඉස්සරවීම හා නොසලකා හැර නැකත වෙනස් කිරීම අගුණයක් වනු ඇත.
සාමාන්‍යයෙන් සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා වැනි දින සහ පුර පක්ෂයේ දින මේ සඳහා සුදුසු යැයි සැලකේ. කෝණ මාසවලදී ගෙට ගෙවදීම සිදු නොකිරීමට වගබලා ගත යුතුය. කෝණ මාසවලදී විශේෂයෙන්ම නිවාසවලට මුල්ගල තැබීම, විවාහ චාරිත්‍ර සිදු නොකිරීමට වගබලා ගත යුතුයි.
කෝණ මාස ලෙස ගැනෙනුයේ
මාර්තු 14 සිට අප්‍රේල් 11 දක්වා
මීන කෝණය (බය)
ජුනි 15 සිට ජූලි 15 දක්වා
මිථුන කෝණය (මරණ)
සැප්තැම්බර් 16 සිට ඔක්තෝම්බර් 15 දක්වා – කන්‍යා කෝණය (රෝග)
දෙසැම්බර් 16 සිට ජනවාරි 14 දක්වා – ධනු කෝණය (හානි)
මේ අනුව පවුලේ සියලු දෙනාගේම උපන් නැකැත්වලට ගැළපෙන සුබ දිනයක් තෝරා ගැනීම වඩාත් යහපත්ය. ගෙට ගෙවදින දිනට පෙර නිවෙසත්, ගෙවත්තත් හොඳින් පිරිසුදු කර තබා ගත යුතුය. සුබ මොහොත උදා වන විට පවුලේ සියලු දෙනාම ස්නානය කර හෝ පවිත්‍ර වී ගතින් මෙන්ම සිතින් පිරිසුදු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටිය යුතුය.
නිවෙසට ඇතුළු වීම
සුබ නැකත උදාවන විට, මුලින්ම ගෙහිමියා විසින් සුබ දිනයට අදාල වර්ණ ඇඳුමකින් සැරසී බුදු පිළිමයක් හෝ බුද්ධ පින්තූරයක් (එය තමන්ගේ ආගම ඇදහිලි විශ්වාස අනුව සිදුකළ හැකියි.) රන් – රිදී ආභරණ, පොල්තෙල් පහනක් සහ වතුර තැටියක් රැගෙන නිවෙසට ඇතුළු විය යුතුය. කිසිවෙක් හිස් අතින් නිවෙසට ඇතුළු නොවිය යුතුය. තමන්ට ගෙන යා හැකි කුමන හෝ දෙයක් රැගෙන යාම සුදුසුය.
ආගමික වතාවත්
* නිවෙසට ඇතුළු වූ පසු, නිවෙසේ ඊසාන දිශාවේ බුදු පිළිමය හෝ බුද්ධ පින්තූරය තබා ආගමික වතාවත් සිදු කළ යුතුය.
* පොල්තෙල් පහනක් සුබ දිශාව බලා දල්වාගත යුතුය. එම පහනේම ගින්දරෙන් බුදු පහන ද දල්වා බුදුන්ට නමස්කාර කළ යුතුය.
* නැවුම් වතුර කළයකින් පැන් ගෙන කෙණ්ඩියක් පුරවා මේසය මත තබා කැවිලි ආදිය ද එහි තැන්පත් කරගත යුතුය.
සුබ වේලාවට සුබ දිශාවට ළිප ගිනි මොළවා කිරිබතක් උයන්නට පුළුවන. කිරි උතුරුවා ගැනීම සමෘද්ධියේ සංකේතයක් ලෙස සැලකේ. මේ සඳහා විවිධ මතවාද තිබුණත් කිරි ඉතිර වීමට එළකිරි යොදා ගැනීම වඩාත් සුදුසුය. ආහාර අනුභවයට පෙර බුද්ධ පූජාව තබා ආගමික වතාවන් ඉටු කළ යුතුය. සෙත් පිරිත් කීම ද ඉතා සුදුසුය. ගෙට ගෙවදීමෙන් පසු සාංඝික පිරිතක් හෝ ගිහි පිරිතක් කීම ඉතා යහපත්ය. මෙදින පිරිත් කියවීමට නොහැකි වුවහොත් පසු දිනක හෝ ළඟම දිනක පිරිත් කියවා දානයක් දීම ද යහපත්ය.
මෙම චාරිත්‍ර වාරිත්‍ර නිවෙසට යහපත, වාසනාව සහ සමෘද්ධිය ගෙන ඒමට උපකාරී වන බවට විශ්වාසයක් පවතී.
තම නිවෙසේ ප්‍රධාන දොර නැඟෙනහිර දිසාවට පිහිටා තිබේ නම් උදේ 06ත් මධ්‍යහ්න 12 ත් අතර නැකතක් තනා ගැනීම සුබදායකයි.
එසේම ප්‍රධාන දොර දකුණු දිසාවේ නම් පස්වරු 01 සිට රාත්‍රි 11 දක්වා සුබ මුහුර්ථය තනාගැනීම යෝග්‍ය වෙයි.
බස්නාහිර දිසාවට නම් රාත්‍රී 7ත් අලුයම 5ත් අතර කාලය සුබ වේ.
උතුරු දිසාවට දොර පිහිටියේ නම් අලුයම 1ත් දහවල් 11 ත් අතර සුබ නැකතක් යොදා ගැනීම ඉතා සුදුසු වේ. වෙසක්, පොසොන්, නවම්, මැදින් යන මාස ඉතාමත් සුබදායක වන අතර ඉල් – උඳුවප් යන මාස මධ්‍යම වශයෙන් සුබදායක වෙයි.
සුබ නැකතට ගෙවදීම කරන විට ගෙහිමියාත්, බිරියත්, දූ දරු ආදීනුත්, එම ගෙයි ජීවත්වන තවත් නෑ හිතවත් අය සිටී නම් ඔවුන් ද ගෙහිමියා පෙරටුකොටගෙන ඇතුළුවිය යුතුය. ඒ සෑම කෙනෙක්ම ඇතුළු විය යුත්තේ හිස් අතින් නොවේ. තම තමන්ට රැගෙන යා හැකි සෑම දෙයක්ම දෙඅතටම රැගෙන ගෙට ඇතුළු විය යුතුය.
නිවෙසට ඇතුළුවිමේදී ප්‍රථමයෙන් නිවෙස තුළට තැබිය යුත්තේ දකුණු පාදයයි. නිවෙසට ඇතුළුවීමේදී යහපත් සිතිවිලිවලින් යුතුව ඇතුළු විය යුතුය.
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර