මෙතෙක් කතාව
නිගූ නේත්‍ර ද සිල්වා වෙළෙඳ ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙක් සේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද වෙයි. තම සරසවි පෙම්වතිය වන කාංචනා විවාහ කරගෙන සාරා නම් කුඩා දියණිය ද ලබා සිටින ඔහුගේ දිවි ගමන අනපේක්ෂිත කුණාටුවකට මුහුණ දෙයි. කාංචනා වෙනත් සම්බන්ධයක පැටලී සිටින බව දැනගන්නා නිගූ තමා වෙත ළං වූ පැරණි සිසුවියක වන අසෙනි සමඟ පෙමින් බැඳෙයි. කාංචනා, නිගූව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ ඔහු අම්මාගේ ග්‍රහණය තුළ තවමත් සිර වී සිටීම බව කාංචනා හඟවයි. ඒ අතර තමාගේ සිත ආපසු නිගූ වෙත පැමිණෙන තුරු ඉවසා සිටින ලෙස කාංචනා පවසයි. එහෙත් නිගූ මේ දෙගිඩියාවේ ජීවත්වන්නට අකැමැති වෙයි. ඔහු අසෙනිගෙන් පතන්නේ යළිත් අම්මා කෙනකුගේ බඳු ආදරයකි. නිගූ තමා මුහුණ දී සිටින අවුල සමීප මිතුරකු වන සාලින්ද සමඟ පවසයි. කාංචනා දැන් නිගූව නොසලකා සිටින බැවින් එය තේරුම් ගෙන ආදරය කරන කෙනකුගේ ආදරය ලබමින් ජීවත් වන්නැයි සාලින්ද පවසයි. මේ අතර තම වේදනාකාරී විවාහ දිවියේ රිදවුම්වලින් මඟහැර සිටින්නට ඔහු මාලබේ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගනියි. සාරාගේ උපන් දිනය දා අම්මා සමඟ නිවෙසට පැමිණ උපන් දින සාදයේ මිතුරන් අතර සිටින නිගූට, කාංචනා විසින් සාරදා නම් යුවතියක් හඳුන්වා දෙයි. සාරදා නිගූගේ කලාත්මක ජීවිතය කෙරෙහි දැඩිව ආසක්තව සිටින යුවතියකි.
අද එතැන් සිට…
මම කාලයක් ආසාවෙන් බලන් හිිටි හීනයක්…
කොළඹට කළුවර ගලයි. දිවා කල හැඳ සිටි ඇඳුම් ලිහා රාත්‍රියට සුදුසු ඇඳුමක් ඇඟ ලා ගන්නා විලාසිනියක සේ නගරය හැඩ වෙයි. විසල් මැඳඅරුවලත්, අවන්හල් කොරිඩෝවලත් විදුලි පහන් දැල්වෙයි.
ඩච් එක ළඟ සිමෙන්ති බංකුවක වාඩිලා ගෙන මූදු හුළඟට මුහුණ උඩු හුරු කරගෙන සිටි අසෙනිත්, නිගූත් රියෙහි නැඟී රීගල් සිනමාහල අසලට පැමිණෙයි. සති අන්ත පත්තරවලත්, මුහුණු පොතේ කිහිප දෙනකුත් පසසමින් කතාකර තිබුණු චිත්‍රපටයක් මේ දිනවල එහි පෙන්වමින් තිබෙයි. අසෙනි නිගූ සමඟ මෙබඳු ගමන් බිමන් යන්නට මහත් අභිරුචියක් දක්වන්නීය. පසුගිය කාලය පුරා මඟහැරුණු ආශාවන් රැසක් නිගූ දැන් අසෙනි සමඟ සංසිඳුවා ගනිමින් සිටියි. වෙන්ට්ඩ් එකේ නාට්‍යයක් බැලීමට යාම, බෙයාර් ෆූට් එකේ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීම, මහවැලි කේන්ද්‍රයේ හෝ ප්‍රලේඛනයේ පොත් දොරට වැඩුමකට යාම එසේ පසුගිය කාලය පුරා මඟහැරී තිබුණු දේවල්ය.
නිගූ පසුගිය දෙවසරක පමණ කාලය ගෙවා දමා ඇත්තේ ගන්ධබ්බ අවධියක නොවේදැ යි ඔහුට සිතෙයි. ඔහු පුළුවන් තරම් උත්සාහ කළේ කොළඹින් දුරස් පෙදෙස්වල සැරිසරමින් මතකයන් උගුළුවා දමමින් තනි වී සිටින්නටයි. එය එක් අතකට පියවි ලෝකයෙන් පලා යාමකි. තමා කොළඹ කලා සමාජයෙන් ටිකෙන් ටික දුරස් වෙමින් සිටින බව නිගූට ද දැනෙන්නට වෙයි.
“ළඟකදි අලුත් වැඩක් එහෙම දැක්කෙ නෑ.” යනුවෙන් ඉඳහිට හමුවන කලා සමාජයේ මිතුරෙකු පවසන විට නිගූ ඊට පිළිවදන් නොදී හිස් සිනහවක් පළ කරයි. ඇත්තෙන්ම මිතුරන් අසන එබඳු පැන, තමා හැම අතකින්ම හිස් වෙමින් පවතින බව නිගූටම දැන වීමකි. එය තමා ගැනම මෙළවෙන කලකිරීමකි.
ගැහැනු ආත්මයකින් මිනිසකුගේ ජීවිතයට පිඹින ජීව ශක්තියක් ඇතැයි නිගූ අදහයි. එබඳු ජීව ශක්තියක් මිනිසකු තුළ ජනිත කරන උදෝගය කොතරම්ද? එහෙත් එය ගැහැනියකගෙන් තවකකුට එන්නත් වන්නේ කෙසේදැයි ඔහුට සිතා ගත නොහැකියි.
රීගල් සිනමාහලේ බැල්කනි ටිකට්ස් මිලදී ගෙන තරප්පුව නඟින විට අසෙනි නිගූගේ වම් අත බදා ගනිමින් වත්තම් වෙයි. අසෙනි මෙවැනි අත්දැකීමක් අත්විඳින්නට පෙරුම් පුරා බලා සිටින්නියකි. පළමු දා ඔවුහු ලයනල් වෙන්ට්ඩ් එකෙන් නාට්‍යයක් බලා එන අතර පෙට්ටි කඩයකින් වඩේ කා ප්ලේන්ටි බොයි. ඒ මොහොතේ අසෙනි හැසිරුණු සැහැල්ලු මායාකාරී ඉරියව් සලරුවක මෙන් නිගූගේ සිතේ ඇඳී තිබෙයි. එවැනි මොහොතක අසෙනි මඳක් හැඟුම්බරව දොඩමළු වෙයි.
” මං ආසම කරන ජීවිතේ මට දුන්නෙ ඔයා.. මං කොච්චර කාලයක් ආසාවෙන් බලාගෙන හිටපු හීනයක්ද? ”
එබඳු විටෙක නිගූට නිහතමානී වන්නට ඕනෑ වෙයි.
” පෙට්ටිකඩ ගාණේ වඩේ කකා ඇවිදින එකද?”
අසෙනි ඇස් හීන් කර දෙකොපුල් පොපියවා සිනාසුණු විදිහ නිගූගේ සිත් බිතෙහි ඇඳි කිසිදා මකා දැමිය නොහැකි සිත්තමකි.
රීගල් සිනමා බැල්කනි අසුනක සනීපෙට අසුන් ගත් අසෙනි නිගූගේ වම් උර මත හිස හොවා ගනී. අලුතින් ජනගත වන නාට්‍යයක්, පොතක්, චිත්‍රපටයක් අතනෑර අත්විඳි නිගූට ඒ සියල්ල අතහැරී ගිය කාලය ගැන ලෝබකමක් ඇති වෙයි. මේ බලන්නට ඉඳගත් චිත්‍රපටයේ තිර පිටපත ලියා ඇත්තේ නිගූගේ සමීප මිතුරෙකි. ඔහු එය ලියා අවසන්කර නිගූ හමුවන්නට පැමිණ එහි ඇතැම් තැන් ගැන දීර්ඝව සාකච්ඡා කළ අයුරු නිගූට මතකයි. නිගූ යෝජනා කළ ඇතැම් වෙනස් වීම් සිදු කිරීමටත් ඔහු එකඟ වෙයි. තිර පිටපතෙහි ලියූ දේවල් කැමරා ඇසින් අල්ලා ගත් අන්දම දැක ගැනීම කුතුහලයත්, විස්මයත් පිරුණු ආස්වාදයකි. අසෙනිට මේ මොහොත වචන කියා නිම කළ නොහැකි ආස්වාදයකි. ඈ ප්‍රේමයේ සිළුවටය දල්වා සූරතාන්තයේ ස්වර්ගීය පත්ල පිරිමදිමින් සිටියි. එය නිගූගේ උරතලයෙහි සියලු ස්නායු තත් තෙපුල් දෙවා පුපුරුවා හරින සරාගයකි.
චිත්‍රපටය නැරඹීමේ කිසිදු වුවමනාවක් අසෙනිට නැත. ඈ මේ මොහොතේ මායාවී මිහිරිතම සුපින ලොවක කිඳී සිටියි. ඈ තව තවත් නිගූගේ වමත් බාහුව තරයේ වැලඳ උරමත ගුළි වෙයි. එය නිද්‍රා සනීපයකි; නිවීමකි; ඇතුළතින් දැල්වීමකි.
චිත්‍රපටය තිරය මත දිග හැරෙන විට නටන එළි කිරණ ඇගේ මුහුණට පතිත වෙයි. ඈ විඳින නිද්‍රා සනීපය දකින විට, මේ මොහොතේ තමාව සහමුලින්ම අත්පත් කර ගනිමින් නිදන ඇගේ ගැහැනු ආත්මය ගැන අසීමිත දයාබර හැඟුමාවලියක් උපදියි. නිගූ සෙමින් තම දෙතොල ඇගේ නළලෙහි රඳවා සියුම් සිපුම් වාර කිහිපයක් විඳියි. ඈ ඉතා කෝමල ලෙස ඇගේ මුහුණ උඩුහුරු කොට ඔහු දෙස බලා ඔහුගේ ගෙල තර කොට බදා හාද්දක් දෙයි. ඇගේ දත්වලින් සිනිඳුවට ගෙල සපා යළි යළිත් සිඹින විට දැනෙන සීතල ඔහුගේ යටි පත්ල පවා හී ගඩු නන්වයි.
සිනමාහලෙන් නික්ම, ඈ ගොස් ඇරලවීමට යන අතරතුරදී පවා ඈ සිටින්නේ සුපින මායා ලොවකයි. රෑ බෝ වී ඇති බැවින් වාහන තදබදයක් නැත. “කොළඹ ලස්සන රෑට” යැයි මෙබඳු දවස්වල නිගූට හිතෙයි. අසෙනි සමඟ ආකාශ අවන්හලකට ගොඩ වන්නට ඇත්නම් යැයි සිතෙයි. එහෙත් පහුගිය දවස් කීපයේම තමා රෑ මැදියමේ ඈ ගොස් ඇරලූයේ කොතරම් වරදකාරී හැඟීමකින් ද? නිගූට පමණක් නොව මැදියමට කිට්ටුව නිෙවසට පැමිණීම ගැන අසෙනිට ද ඇත්තේ වරදකාරී හැඟීමකි. එහෙත් අම්මාත්, තාත්තාත් ඒ ගැන කිසිත් නොකියයි. රෑ බෝ වී එන දවස්වල ගේට්ටුව ඇරීමට එන තාත්තාගේ මුහුණ දකින විට අසෙනිට මහත් අපහසුතාවක් දැනෙයි. එවිට ඈ පමා වීම ගැන කියන හේතු තාත්තා පිළිගනියි.
” අද වැඩ ඉවර වෙනකොට හොඳටම රෑ වෙලා.. එන්න වාහනයක් නැතුව බලන් ඉන්න වුණා සෑහෙන වෙලාවක්.. අනිත් දවසෙ නම් මේකෙම යනවා” ඈ ගරාජයේ ඇති රථය පසුකර ගෙට ගොඩ වෙන අතර පවසයි.
හැමදාමත් බොරු හේතු කියන්නට නොහැකි බව ඈ දනියි. අද නම් තමා පැමිණියේ කා සමඟදැයි යන්න නොසඟවා අම්මාටත්, තාත්තාටත් නිගූව හඳුන්වා දිය යුතු යැයි ඇයට සිතෙයි.
” අද නම් ඔයා බහින්නැතුව යන්න බෑ.. ගෙදරට ගොඩ වෙලාම යන්න ඕෙන.”
නිගූ ඇගේ වදනින් තිගැස්සෙයි. කසාද බැඳපු මිනිහෙකු වශයෙන් තමා මෙවන් යුවතියක් රෑ මැදියම ගොස් ඇරලවීම ගැන ඇගේ මවුපියන්ට කුමක් කියන්නේදැයි ඔහු කල්පනා කරයි.
තවත් කොටසකින් හමුවෙමු