එළැඹ ඇත්තේ සාහිත්‍ය මාසයයි. පසුගිය දිනෙක මුහුණු පොතේ සරන විට දුටු සටහනකින් මසිත සසල විණි. එය සසල වීමකට එහා ගිය නතර වීමකි. එනම් සුපහන් හැඟීමකි. දරුවකු වඩා ගත් තරුණ යුවළක් පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ ඇවිදිමින් පොත් මිලදී ගත් සිද්ධියක් පිළිබඳ ඒ කුඩා සටහන ලියැවී තිබිණි. සමාජ මාධ්‍යයේ වන බහුලතාව නිසාම මට එය ලියූ සහෘදයාගේ නම නැවත සොයද්දී සොයා ගත හැකි වූයේ නැත. ඒ පිළිබඳ සමාව අයදිමි. මේ ඒ සටහනේ මට දැනුණු හැඟීමයි.
ඔවුහු පොත් බලමින්, මිලදී ගනිමින් පරිශ්‍රය පුරා ඇවිදිමින් සිටියහ. පොත් දුටු විට ඇස් දිළිසෙන තරුණ මවගේ පොපියන මුහුණ දෙස මම බලා සිටියෙමි. මවගේ අතේ හුන් දරුවා තරුණ පියා අතට මාරු විණි. පියා දරුවාද රැගෙන කුඩා ඉඩකඩක් සොයා ඉඳගත් අතර, මවගේ දෑස් සෝවියට් පොත් පිරුණු රාක්කයක නතර විණි. රාක්කය පුරා තිබුණේ, මක්සිම් ගෝර්කි, දොස්තයෙව්ස්කි, චිංගීස් අයිත්මාතව්, ඇන්ටන් චෙකොව් ආදී අපේ ලොව එකලු කළ සෝවියට් ලේඛකයන්ගේ කෘති ය. ඇගේ දෑස් දිළිසුණි. ඇය එකින් එක පොත් අතට ගෙන බැලුවාය. වරින්වර සැමියා දෙස ද බැලුවාය. ඔහු ඇය අනුමත කරන ලීලාවෙන් සිනාමුසු ව සිටියේය. යළිත් දිළිසෙන දෑසින් ඇය එකින් එක පොත් පෙරළමින්, අතගාමින්, පොත්වල සුවඳ හා මතක අතර අතරමං වෙමින් සිටියාය. අනතුරුව පොත් ගොන්නක් මිලදී ගත් ඇය සිය සැමියා හා දරුවා සමඟ නික්ම ගියේ සතුටින් ඉපිලෙමිනි.
මේ සරල කතාවක් යැයි ඔබට හැඟෙන්නට හැකිය. එහෙත් එය කිසිසේත්ම සරල කතාවක් නොවේ. ලංකාවේ බොහෝ ගෘහණියන් බොහෝ ආසාවෙන් කියවන්නට, ඉගෙන ගන්නට පටන් ගත්තත් ඒ සඳහා එල්ල වෙන බාධක අපමණය. බොහෝවිට ඒ සඳහා විවාහය බලපාන අතර, තවත් සමහර අවස්ථාවක දරුවන් ලැබුණු විට ඒ සඳහා වන අවස්ථාව මඟ හැරේ. උසස් අධ්‍යාපනය ලැබූ කාන්තාවන් පවා මේ තත්ත්වයට පත්වීම මෙරටේ සාමාන්‍ය තත්ත්වයකි. එයට බොහෝ කරුණු බලපෑම් කරන්නට හැකිය. ඒවා ගැන අපි පසුව එකින් එක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.
ඒ සියලු කාරණා අබියස අපි මේ සාහිත්‍ය මාසයේදී ඔබට ඇරයුමක් කරන්නට බලාපොරොත්තු වෙමු. තරුණී අපි සෑම විටම බුද්ධිමත් හා වගකීම් සහගත කාන්තාවන් රටට දැයට දායාද කරන්නට උත්සාහ ගනිමු. ඔබට දරුවන්ගේ, සැමියාගේ, මවුපියන්ගේ හා ඥාතීන්ගේ දහසකුත් එකක් රාජකාරී තිබිය හැකිය. එහෙත් ඔබ මේ සාහිත්‍ය මාසයේදී හිතට ගතයුතු එක් කාරණයක් තිබේ. ඒ, ඉඩක් ලැබෙන සෑමවිටම පොතක් කියවන්නට ය. ඔබේ දැනුමට යමක් එකතු කරගැන්මේ පිපාසාවකින් යුතු වීමටය. එය ඔබට මෙන්ම ඔබේ මුළු පවුලටම ශක්තියක්, ආලෝකයක් වනු නිසැකය.
ගෙදරක ශක්තිය මෙන්ම ආලෝකය ද කාන්තාවය. කාන්තාවක් සබුද්ධික හා පරිණත වීමට නම් ඇයට ඉවසීමක්, දරා ගැනීමක් මෙන්ම බුද්ධියක් ද තිබිය යුතුය. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට නම් ඔබ හැකි සෑමවිටම කියැවිය යුතුය. කලාව, සෞන්දර්යය හා පරිසරය මෙන්ම පොත් ද ඔබේ ජීවිතයේ කොටස් විය යුතුය.
මේ සාහිත්‍ය මාසයේ අපි අපේ දයාබර කාන්තාවන්ට ආරාධනා කරන්නේ ඔබට හැකි සෑම විටෙකම පොතක් කියවන්නට පෙලඹෙන ලෙසය. එය ලෝකයම වෙනස් කිරීමේ මූලික අඩිතාලම වනු ඇත.