Tuesday, September 9, 2025
Epaper
Home විශේෂාංගගු ඩ් බායි… මම ඔයාට ෆොටෝස් ටිකක් එවන්නම්

ගු ඩ් බායි… මම ඔයාට ෆොටෝස් ටිකක් එවන්නම්

‘Independent Arabia‘ පුවත් සේවයේ වාර්තාකරු ඊස්ට මරියම්ගෙන් ලැබුණු අවසන් දුරකතන ඇමතුම ය.

by Thanushika

ඊශ්‍රායල හමුදාවේ පළමු බෝම්බය එල්ල වූයේ ඇය නසීර් රෝහල් සංකීර්ණයේ හදිසි ප්‍රතිකාර ඒකකය පිහිටි ගොඩනැඟිල්ලට නඟිමින් සිටියදීය.

සුභ උදෑසනක් ඊස්… මොනවද ඔයාලගේ පැත්තේ තොරතුරු..? ඔයාට මොනව හරි ෆොටෝස් ටිකක් ඕනද? ඉක්මනට කියන්න.. මම තාත්තාව බලන්න යන්න ඕනා..‘ එදා හරියටම අගෝස්තු 25 වැනිදා ය. උදෑසන 7.00ට ‘Independent Arabia‘ පුවත් සේවයේ වාර්තාකරු ඊස්ට එම දුරකතන ඇමතුම ලැබුණේ මරියම්ගෙනි. ‘අලුතින් ගත්තු ඕන ෆොටෝ එකක් එවන්න මරියම්. ඔයාගේ ෆොටෝස් ඕන ආටිකල් එකකට හොඳයිනේ.‘ ඊස් කීවේය.

‘හරි…ඔයා පරිස්සමින් ඉන්න..‘ ඇය එසේ කීවේ කලබලයෙන් මෙනි. ‘ඇයි මරියම්…ඇයි කලබලෙන්…?‘ ඊස් විමතියට පත්විය. ‘නෑ..නෑ..මොකුත් නෑ.. ගුඩ් බායි… මම ඔයාට ෆොටෝස් ටිකක් එවන්නම්.‘ දුරකතනය විසන්ධි විය. එය ‘Independent Arabia‘ පුවත් සේවයේ වාර්තාකරු ඊස්ට, මරියම්ගෙන් ලැබුණු අවසන් දුරකතන ඇමතුම ය. ඊට මොහොතකට පසු දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ පිහිටි නසීර් රෝහලට ඊශ්‍රායල හමුදාව පිට පිට එල්ල කළ බෝම්බ ප්‍රහාර ඇගේ ජීවිතය ද බිලි ගත්තේය. මරියම් අබු ඩක්කා…! 33 හැවිරිදි මේ නිර්භීත පලස්තීන ඡායාරූප ශිල්පිනිය… නිදහස් මාධ්‍යවේදිනිය…. නසීර් රෝහලේදී සදහටම මෙලොවින් සමුගත්තේ ගාසා තීරයේ යුද වාර්තාකරුවන් ඊශ්‍රායල ප්‍රහාරයට ඉලක්ක වන බව ලෝකයටම හෙළිදරවු කරමිනි. ඊශ්‍රායල හමුදාවේ පළමු බෝම්බය එල්ල වූයේ ඇය නසීර් රෝහල් සංකීර්ණයේ හදිසි ප්‍රතිකාර ඒකකය පිහිටි ගොඩනැඟිල්ලට නඟිමින් සිටියදීය. ඒ සමඟම දෙවැනි බෝම්බයත් එල්ල විය. මරියම් ඇතුළුව තවත් මාධ්‍යවේදීන් පස්දෙනකුටත් දිවි අහිමි විය. මරියම් අබු ඩක්කා ගාසා තීරයේ යුද්ධය ආවරණය කරමින් සිටියේ ආරම්භයේ සිටමය. ගාසාවේ යුද අපරාධ සිදුවන බවට ජාත්‍යන්තරයෙන් ඊශ්‍රායලයට එල්ල වන චෝදනාවලට ඇගේ කැමරා කාචය සාක්ෂි දහස් ගණනක් සපයන්නට ඇත. එහෙත් ඊශ්‍රායල ප්‍රහාර නොනැවතිණි. ගාසා තීරයට සදාකාලික සාමය අපේක්ෂාවෙන් සිය කැමරාව අවියක් කරගත් මේ නිර්භීත කාන්තාව අවසානයේ මෙලොව හැර ගියේ හිස් අතිනි. වසර 2020 මුල් භාගයේදී ගාසා තීරය ආවරණය කරන ඡායාරූප ශිල්පිනියක ලෙස Independent Arabia පුවත් සේවයට එක්වූ ඇය එම කාල පරිච්ඡේදය පුරා ඊශ්‍රායල හමුදාව ගාසා තීරය තුළ සිදු කළ සෑම ප්‍රහාරයක්ම ඡායාරූපගත කරමින් ඒවා එදිනම ලොව පුරා රටවල පුවත් සේවාවලට සපයා ජාත්‍යන්තරයේ අවධානයට යොමු කළාය. විශේෂයෙන් මීට වසර දෙකකට පෙර හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඇගේ කැමරා කාචයට එක් දිනක් හෝ මඟහැරුණේ නැති තරම්ය. ඇගේ කැපවීම හා නිර්භීතභාවය ගාසා තීරයේ සියලු මාධ්‍යවේදීන්ගේ ගෞරවයට පාත්‍ර වූ එකකි. මරියම්ගේ මුවග නිතරම කියැවුණු ජනප්‍රිය වදන් පෙළක් ද වේ. ‘ඡායාරූප ගැනීම මගේ රස්සාව නෙවෙයි ඒක මගේ මිෂන් එක.‘ ඇගේ ඡායාරූපකරණයට අවතැන්වීම්, සාගින්නෙන් පීඩා විඳින අසරණ ජනතාව, මන්දපෝෂණයෙන් මියයන ගාසාවේ දරුවෝ, ඊශ්‍රායල හමුදාව සිදු කරන භූමි ආක්‍රමණ, ගුවනින් බෝම්බ දැමීම වැනි යුද්ධයේ කටුක අත්දැකීම් ඇතුළත් විය. මේ යුද්ධයේදී ඇයට ඇගේ නිවෙස, දේපළ සියල්ල අහිමි විය. ඇගේ දෛනික ජීවිතය ගෙවී ගියේ ද සරණාගත කඳවුරුවලය. එහෙත් ඇය සිය මෙහෙයුම නතර නොකළාය. දිවා රෑ නොබලා සිය මෙහෙයුම අඛණ්ඩව සිදු කරමින් සිටියාය. පසුකාලීනව Associated Press පුවත් සේවයටත් ඡායාරූප යොමු කළ මරියම්ගේ ජීවිතයේ අවසන් කාලසීමාවේදී මුළුමනින්ම කැපවූයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිත අහිමිවූවන් හා තුවාල ලැබුවන්ගේ ඡායාරූප ජාත්‍යන්තරයේ අවධානයට යොමු කිරීමේ මෙහෙයුම වෙනුවෙනි. ගාසා තීරයට යුක්තිය හා සාධාරණත්වය ඇගේ එකම පැතුම විය. කැමරාවට අමතරව ඇය පෙම් කළ එකම වස්තුව ඇගේ එකම පුතු ගයිත් පමණි. ගාසා යුද්ධය උත්සන්න වෙද්දී ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වූ සිය පියා වෙත ගියද, මරියම් තවදුරටත් ගාසා තීරයේ රැඳී සිටියේ මෙහෙයුම අවසන් වනතුරු කැමරාව බිම නොතබන බව කියමිනි. එහෙත් ඊට පෙර දෛවය ඉක්මන් විය. නසීර් රෝහලේ ප්‍රහාරයෙන් පසු සෙසු මාධ්‍ය සගයන් ඇගේ ලේ තැවරුණු කැමරාව සොයා ගත් අතර, එය සිනහමුසු මුහුණින් සිටින මරියම්ගේ ඡායාරූප ගොන්නත් සමඟ ලෝකය පුරා බෙදාහැරිණි. ප්‍රියමනාප සිනහවකින් මුව සරසාගෙන සෑම උදයකදීම ගාසා තීරයේ අසරණ වූ ජනතාව වෙත යන මරියම්ගේ රුව නැවත කිසිදිනෙක ඔවුන්ට ජීවමානව දකින්නට ලැබෙන්නේ නැත. එහෙත් ඇය ගාසාවේ සාමය වෙනුවෙන් සිදු කළ නිර්භීත මාධ්‍ය භාවිතය ගැන තවත් කාලයක් යනතුරු පලස්තීනුවන්ගේ මතකයෙන් ඈත් නොවනු ඇත. එහි මතකය හා වේදනාව වැඩිපුරම දැනෙනු ඇත්තේ ඇගේ එකම පුතු ගයිත්ට ය. එහෙත් සිය ජීවිතයටත් වඩා ආදරය කළ පුතු හැර දමා යා යුතු දිනය වැඩි ඈතක නොවන බව ඇය හොඳින්ම දැන සිටියාය. මරණයට දින කිහිපයකට පෙර ඇය සිය පුතුට ලිපියක් ලියා තැබුවේ එබැවිනි. මරියම්ගේ මරණයත් සමඟ ලොව පුරා දැඩි කතාබහට ලක්වූ මේ සංවේදී ලිපිය එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමකදී ඇල්ජීරියාවේ නිත්‍ය තානාපතිවරයා විසින් කියැවූයේ හැඬු කඳුළිනි. එහි මෙසේ ලියා තිබිණි.

 

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?