Tuesday, September 9, 2025
Epaper
Home විශේෂාංගළමා විවාහ පිටුදකිමු

ළමා විවාහ පිටුදකිමු

by Thanushika

යශෝධරාත්, සිද්ධාර්ථත් විවාහ වූයේ වයස දහසයෙන් යැයි අපි අසා ඇත්තෙමු. මහත්මා ගාන්ධි විවාහ වන විට ඔහුට අවුරුදු දහතුනකි. ඔහුගේ බිරිය වන කස්තුරිබාට වයස අවුරුදු දහහතරකි. ඇතැම් දත්තයන්ට අනුව මොහමත් නබි තුමාට වයස අවුරුදු පනස් අටක් වෙද්දී ඔහුගේ බිරියට වයස අවුරුදු 9ක් වූවාය.

මෙම ළමා විවාහ පෙරදිග සමාජයේ පමණක් නොව බටහිර සමාජයේ ද පැවතී ඇත. ස්කොට්ලන්තයේ මේරි රැඡන විවාහ වන විට වයස අවුරුදු පහළොවක් වූ අතර ෆ්‍රැන්සිස් ආදිපාදවරයාට වයස අවුරුදු දාහතරක් විය.

අපේ ආච්චි කිව්වේද ‘උඹලා තාම ඕලෙවල් කරනවා බං. මට ඔය වයස වෙද්දී උඹලගේ මාමයි, අම්මයි දෙන්නම ඉන්නවා’ යනුවෙනි.

මේ අතීතයේ හැටිය. වර්තමානය වෙනස්ය. ගැහැනු දරුවන් ඉගෙන ගත යුතුය. රැකියා කළ යුතුය. තමන්ගේම ස්ථාවරයක් ගොඩනඟා ගත යුතුය. ඇය දරුවන් හැදීමට සුදුසු වයසට පත් විය යුතුය. එසේම විවාහයට ඇගේ කැමැත්ත පැවතිය යුතුය. මේ නිසා කුඩා දැරියන් විවාහ කර දීමේ මේ පැරණි චාරිත්‍රය අප ඉවත දැමිය යුතුය.

ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරන මෙවැනි මානුෂීය නොවන චාරිත්‍ර අප ඉවත දැමිය යුතු බව පුන පුනා අපට කියන්නට සිදු වන්නේ තවමත් ඒවා අපේ රටේ තැන තැන සිදුවන බැවිනි.

පළමුව එය දරුවාගේ සෞඛ්‍යයට හොඳ නැත. දරුවෙක් දැරීමට තරමට ඇගේ අස්ථි වර්ධනය වී නැත. අනෙක් අතට ලැබෙන්නට ඉන්නා දරුවාට හොඳ නැත. අඩු බර දරුවන් ඉපදීම, විවිධ සංකූලතා සහිත දරුවන් ඉපදීමේ ප්‍රවණතා වැඩිය.

මෙවැනි ළමා විවාහ නිසා දැරියගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙයි. ඇයට වටිනා වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා අහිමි වී යයි. ඇයට ස්වාධීන ලෙස නැඟී සිටීමට නොහැකි වී යයි. සදාකාලිකවම ගැහැනියක් පිරිමි ආධිපත්‍යය යටතේ තැබීම මේ අනුව සිදු වේ.

මේ සමඟම ඇයට ඇතිවන මානසික පීඩනය, කම්පනය මෙන්ම පසුකාලීනව ඇය යැපෙන්නියක් වන නිසාම ඇතිවන ගෘහස්ථ හිංසනය, තීරණ ගැනීමට ඉඩක් නොමැති වීම, ස්වාධීනත්වය අහිමි වීම තුළ ඇතිවන පීඩනයට මුහුණ දෙන්නට සිදු වේ.

බොහෝ විට දරීද්‍රතාවයේ චක්‍රයට මොවුහු ගොදුරු වෙති. නිසි අධ්‍යාපනයක් නැතිව මොවුන්ට එම දරිද්‍රතාවයේ චක්‍රය බිඳීම අපහසු වේ. සදාකාලිකවම දුප්පත්කමේ සෙක්කුවක බැඳ තබන ඇයට එය වටා කැරකෙමින් දුක් විඳින්නට සිදු වේ.

අනෙක් අතට ළමා විවාහ අද වන විට නීත්‍යනුකූලව වරදකි. දරුවන්ට බොරු වයස් දමා, බොරු සහතික සාදා ඔබ ඇය විවාහ කර දෙන්නේ නම් ඔබට ඒ වෙනුවෙන් නීතියේ වරදකරුවන් වී දඬුවම් ලැබීමට සිදු වනු ඇත.

ගැහැනු දරුවන්ට නිදහසේ ඉගෙනීමට ඉඩ දෙමු. නිදහසේ වෘත්තියක් තෝරා ගැනීමට ඉඩ දෙමු. ඇයට කැමති සහකරුවෙක් තෝරා ගැනීමට ඉඩ දෙමු. කරදරකාරී සබඳතාවකින් මිදෙන්නට ඉඩ දෙමු.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?