Tuesday, September 9, 2025
Epaper

BOOK STORY

by Thanushika

සාහිත්‍ය මාසය වෙනුවෙන්

පොතපතට ආදරය කරන, සාහිත්‍ය කෘතිවලට පෙම් බඳින අලුත් දැනුම සොයා යන කාටත් සැප්තැම්බරය යනු සුවිශේෂී මාසයකි. දැනුම බෙදාගන්නා, නිර්මාණ ඇගයීමට පාත්‍රවන, විශිෂ්ට නිර්මාණකරුවන්ගේ හැකියාවන් කරළියට රැගෙන එන සාහිත්‍ය මාසය ආරම්භ වෙලා. සාහිත්‍ය මාසය දෝතට රැගෙන එන නවතම කෘති අතරින් කෘති ත්‍රිත්වයක් ගැන කතාකරන්නට මාධ්‍ය වේදි දෙපළක් සහ කලාකාරිනියක් අපට හමුවුණා.

තුසිතගෙන් “සිරිලක සිනමා උණුසුම 2024 -2025”

තුසිත ජයසුන්දර 90 දශකයේ සිට සිනමා විචාරයට අවතීර්ණ වූ සිනමාවේදියෙකි. 1992 සිට නිකුත් කළ වාර්ෂික සිනමා විශ්ලේෂණ තුළින් ඔහු හරවත් විචාර රීතියකට ප්‍රවිශ්ටව සිටින ප්‍රවීණ චිත්‍රපට විචාරකයෙකි. එමෙන්ම ඔහු ලේඛකයෙකි. සිනමාව සම්බන්ධ කෘති 15ක් පමණ ලියා ඇති ඔහු පසුගිය දා තවත් කෘතියක් එළිදක්වා තිබුණා. ඒ “සිරිලක සිනමා උණුසුම 2024-2025 කෘතියයි.

“සිරිලක සිනමා උණුසුම 2024 -2025” නවතම කෘතියට පාදක වූ කරුණු ගැන ඔහු පැවසුවේ මෙවැන්නකි.

මේ කෘතිය ලියන්න උපයෝගී කරගත්තේ 2024-2025 කාලය අතරතුර සිනමාගත වූ සිනමාපට 20ක්. අපි ගත කරන මේ මොහොත වෙනකොට කෙටි කාලයක් ඇතුළතදී සිනමාව සම්බන්ධව ලොකු පිබිදීමක් ඇතිවෙලා තියෙනවා. ඒකත් එක්ක විවිධ විදිහේ කතිකාවන් ගොඩනැඟුණා. උදාහරණයක් විදිහට රාණී, නෙළුම් කුලුන, වාලම්පූරි වැනි චිත්‍රපටවලින් මේ පිබිදීම ඇතිවුණා කියලා ගොඩක් අය හිතනවා. මේ අතරට ‘රිදම් ඔෆ් ද ගිටාර්’ වගේ වෙනස්ම විදිහේ චිත්‍රපටත් එකතු වෙලා තියෙනවා.

ඒ අනුව සරසවිය පුවත්පතට මම ලියූ සිනමා විචාර ඇසුරින්, චිත්‍රපට විස්සක විචාර මේ කෘතියට එකතු කළා. ඒ චිත්‍රපට 20 ගැන ගත්තොත් ඒ ඔක්කොම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ඒවා නෙවෙයි. “රාණි” සහ “වාලම්පූරිත්” එක්ක “අයිස්ක්‍රීම්” කියලා ෆිල්ම් එකකුත් ආවා. ඒවට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර නොලැබුවත් මම මේකට ඒවා එකතු කළේ, ඒ වගේ සිනමාපට ගැනත් පාඨකයාට අවබෝධයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන්. සමහර චිත්‍රපට නිර්මාණය කරලා ප්‍රදර්ශනය කරන්නේ අවුරුදු 6-7කට පස්සෙයි. ගිය අවුරුද්දේ පෙන්නපු “මයිරෙඩ් කොම්රෙඩ්” වගේ චිත්‍රපටියක් ගත්තම ඒක රූගත කරලා කෙටි කාලයකින් ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණා. ඒ චිත්‍රපට අලුත්ම අලුත් චිත්‍රපට කියලා කියන්න පුළුවන්. එතකොට රූගත කරලා අවුරුදු ගණනාවක් ගිහිල්ලා ප්‍රදර්ශනය කරන්න බැරිවුණ චිත්‍රපටි ඕ‍ෙන තරම් තියෙනවා. හොඳම උදාහරණ බහුචිතවාදියා කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටය රූගත කරලා අවුරුදු 7-8ක් වෙනවා. හැබැයි දැන් තමයි පෙන්වන්නෙ. අලුත්ම අලුත් චිත්‍රපටයක් විදිහට. ඒවත් මේ කෘතිය හරහා සංකීර්ණව මතු කරලා තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කෘතියේ තියෙන්නේ මගේ අදහස් විතරයි කියලා. අපි සමහර දේවල් ලියනකොට ගුණසිරි සිල්වා, ගාමිණි වේරගම වගේ ප්‍රවීණ අයගේ විචාර පාදක කරගන්නවා ඒ අලුත් කියවීමට. ඒ ඒ ශානරයන්ගේ මතවාද තිබුණත් අපිට පසුකාලීනව මේ විචාරවලට ඒවා ඈඳාගන්න පුළුවන්. ඒ මතවාද ඔවුන්ගේ වුණාට යම් විග්‍රහයක් කරද්දී ඒවා යොදා ගන්න පුළුවන්. මේ කෘතිය සිනමාව ගැන කියවීමක් තියෙන අයට ඉතාම වැදගත් වෙයි කියලා මම හිතනවා.

——–

මයුරිගෙන් “අයෝමන්ත්‍ර”

මයුරි ලියනගේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ස්ථානගත වන්නේ ගු වන්විදුලි නිවේදිකාවක් ලෙසිනි. ඇය ගු වන්විදුලි තිර පිටපත් රචනයට ද සමත්කමි දක්වයි. ලක්හඬ ගු වන්විදුලියේ අවුරුදු 29ක දිගු මාධ්‍ය දිවියකට හිමිකම් කියූ ඇය ඉන්පසු රූපවාහිනි මාධ්‍යට ප්‍රවිෂ්ට විය. ජාතික රූපවාහිනියේ නුග සෙවණ, ශනිදා ආයුබෝවන් වැනි වැඩසටහන්වල ආරම්භක නිවේදිකාවක ලෙසත්, ස්වාධීන රුපවාහිනියේ පහන් දොර, ගැහැනිය සහ දේශපාලන වැඩසටහන් බොහොමයකට ද ඇය දායක විය. 2023 වසරේ දී ස්වාධීන රූපවාහිනියට සමුදුන් ඇය ඇයගේම ගමන් මඟක් ඔස්සේ යමින් ලේඛනයටත් පිවිසියා. “වින්ටේජ් ජර්නල්” නම් ඇගේ කුලුඳුල් කෘතියෙන්ම පාඨක හද දිනා ගත් ඇය සාහිත්‍ය මාසය අලළා “ආයෝමන්ත්‍ර” නමින් තවත් කෘතියක් ජනගත කළාය.

දිරිය ගැහැනු වෙනුවෙන් ලියවූ ආයෝමන්ත්‍ර ඔබගේ දෙවැනි කෘතියයි.

මේක සෑහෙන කාලයක ඉඳලා මගේ හිතේ තිබුණ කතාවක්. යුග තුනක ඉන්න ගැහැනුන් තුන්දෙනෙක්ගේ කතාවක්. සිනමාවේ, ටෙලිවල, ගැහැනු ළමුන්ගේ ඉඳල ඔක්කොගෙම මම දකින්නේ ගැහැනු චරිතවල ප්‍රබලයෝ ගොඩනැඟිලා නැහැ. සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි කෘතිය වුණත් එහෙමයි. ඒ හැම කතාවකම ගැහැනු විදිහට අපි හැමදේම දරාගෙන, දුක උරුමයි, කරුමෙ තමයි, මොනවා කරන්නද වගේ කියන චරිත මිසක් එතැනින් එහාට ගිහිල්ලා ධනාත්මකව හිතලා මම දිනනවා කියන අය බිහි වෙනවා අඩුයි. හැම කතාවක්ම ගැහැනිය දිනනවා කියලා බලාගෙනම කතා ලියන්න බැහැ. හැබැයි හැම ගෙදරක්ම දුවලා තියෙන්නේ ගැහැනු හින්දානේ. මම කියන්නේ ස්ත්‍රීවාදී කතන්දරයකුත් නෙවෙයි. පිරිමින්ට පොල්ලකින් ගහන්න ඕනේ කියලවත් නෙවෙයි. මවුවත් භාවයෙන් ඉන්න ගැහැනුන්ට නිසි ගෞරවය, සැලකිල්ල සැමියාගෙන්, දූ දරුවන්ගෙන්, ඥාතීන්ගෙන් ලැබිලා නැහැ. එයාලා නිහඬව සියලු දුක් වේදනා උහුලන අය. එකක් තමයි එයාලට ඒක ලැබිය යුතුයි කියන එක. මේ කතාවේ චරිත තුන දිහා බැලුවම එයාලට තව නොවෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ කිසි තැනක මම එයාලව පරාජිත චරිත කරලත් නැහැ. එයාලා එයාලගේ ගමන් මාර්ග ඔස්සේ ගිහිල්ලා ජීවිතය දිනනවා. ඕ‍ෙන තරම් කටු කාගෙන තමන්ගේ ඉලක්කවලට ගිය ගැහැනු ඕ‍ෙන තරම් ඉන්නවනේ. එයාලා ගැන කියවෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මේ පොතෙන් කියන්නේ ඒ විදිහේ කාන්තාවෝ තුන් දෙනෙක් ගැන. අයෝමන්ත්‍ර කෘතියේ කතාව ඒක. අයෝමන්ත්‍ර වටාත් “වින්ටේජ් ජර්නල්” කෘතියට මෙන් පාඨක පිරිසක් බිහි වෙයි කියලා මම හිතනවා.

“වින්ටෙජ් ජර්නල්” කෘතියේ ප්‍රසිද්ධිය තවම අඩු වෙලා නැහැ නේද?

මම කාලයක ඉඳන් මුහුණු පොතට පොඩි පොඩි කතා ලියනවා. ඉතින් පස්සේ මට හිතුණා පොතක් ලියන්න ඕනේ කියලා. ඒ වෙද්දි ලංකාවේ කොෆි ටේබල් කියන සංකල්පය ඇති වෙලා තිබුණේ. මේ පොත නිර්මාණය වුණේ ඒ සංකල්පයෙන්. ඒ පොතේ ඔක්කොම පිටු ලස්සනට චිත්‍ර ඇඳලා වර්ණ පිටු සහිතව තමයි මුද්‍රණය වුණේ. කොෆි එකක් බීලා ඉවර වෙද්දි පොත කියවලා ඉවර කරන්න පුළුවන් විදිහටයි මේ පොත ලිව්වේ. කොෆි අවන්හල්වලදී කියවන්න පුළුවන් සංකල්පයෙන් තමයි මම ඒක කළේ. පැය භාගයකින් ඒ පොත කියවලා ඉවර කරන්න පුළුවන්. වෙනමම ට්‍රෙන්ඩ් එකක් ඒ පොත වැලඳගත්තා. ගොඩක් අය ඒ පොත රස විඳපු විදිහ හරි වෙනස්. ඒ පොත අරගෙන ගඟවල් අයිනේ කියවනවා. කොෆි බොන ගමන් කියවනවා මට වීඩියෝ කරලත් ඒවා එව්වා. පොතත් එක්ක එයාලා වෙනම සංස්කෘතියක් හදා ගත්තා. ආයෝමන්ත්‍ර වටාත් ඒ වගේ පාඨක පිරිසක් බිහි වෙයි කියලා මම හිතනවා.

————

ප්‍රීතිගෙන් “භානුට පිස්සු”

ප්‍රීති රන්දෙනිය විසින් රචනා කරන ලද නවතම නවකතාව වනුයේ “භානුට පිස්සුය.” ප්‍රීති සිය සුපුරුදු ලේඛන ශෛලියෙන් ඔබ්බට ගොස් වැඩිහිටි මාතෘකාවක්ද සහිතව ‘භානුට පිස්සු’ රචනා කර ඇත. මානසික ආබාධයකින් පෙළෙන තරුණ ගැහැනු ළමයෙකු වටා ගෙතෙන මෙම කෘතිය එක්තරා අන්දමකින් මෙරට කාන්තා පරපුරේ අවධානයට යොමු විය යුතුම කෘතියකි. ‘භානුට පිස්සු’ කෘතිය ඇතුළත විවිධාකාරයෙන් පීඩනයට පත්වන විවිධ ආකාරයේ අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණ දෙන කාන්තා චරිත කිහිපයක් ම වේ.

විශේෂයෙන් මෙම කතාවට කේන්ද්‍රවන පවුලේ ගෘහමූලික තනතුර දරනුයේ වයලට් නෝනා නම් වූ කාන්තාවකි. ඇගේ සැමියා තම රැකියාව කෙරෙහිම නැඹුරු වූ එසේම තම බිරිය කෙරෙහි කිසියම් වූ ගෞරවනීය හැඟීමකින් කටයුතු කරන පුද්ගලයෙකි. වයලට් නෝනා බොහෝ විට සිතනුයේ තම සැමියා නෝන්ජල් මිනිසෙකු ලෙසය. දරා ගත නොහැකි දරිද්‍රතාවයෙන් හමුවේ වයලට් නෝනාගේ සිත සහ කය ඉබේම මෙම ගමෙහි වෙ‍ෙළඳාමේ නිරත වන මුදලාලි කෙරෙහි ඇදේ. මේ සබඳතාව ගොඩනඟෙන්නට ඔවුනගේ දරිද්‍රතාව හේතු වූවද ඉන් පසුව මුළු කතාව පුරාම විහිදෙන සියලු ව්‍යසනයන්ට මූලාරම්භය සිදුවනුයේ වයලට් අතින් සිදුවන ඒ වැරැද්ද ය.

ප්‍රීති විසින් මෙම කතාව හරහා ඉස්මතු කරවීමට උත්සාහ දරනුයේ මුල වැරදුණ නිසාවෙන් වයලට්ගේ මුළු පවුලටම ඉන් වන්දි ගෙවීමට සිදුවන අයුරුයි. “භානුට පිස්සු” කතාව ප්‍රීති අතින් ගෙතෙනුයේ කාලාන්තරයක් තිස්සේ ඇගේ සිතේ වර්ධනය වූ කතාවක් හේතුවෙනි. ඇත්තටම මේ පොතේ ඉන්න භානු වගේ චරිතයක් මට මගේ ජීවිතයේදී ආශ්‍රය කරන්නට ලැබිලා තිබෙනවා. ඇගේ ගමන බිමන, කතාබහ, හැසිරීම් රටා මම කාලයක් පුරා අධ්‍යයනය කරලා තිබෙනවා. පිස්සුවෙන් හරි එයා කියන විවිධ කතන්දරවලට මම සවන් දීලත් තිබෙනවා. ඔහොම ඉන්න අතරතුර තමයි මගේ හිතට එන්නේ මේ චරිතය පදනම් කරගෙන කතාවක් ගොතන්න ඕනෑ කියලා. එක්තරා කාලයක් එනවා මේ කතා මට හිතේ තද කරගෙන ඉන්න බැරි. ඒ වගේ අවස්ථාවකට එළඹුණාම තමයි මම ලියන්න පටන් ගන්නේ. එතකොට ඉතින් දිගින් දිගටම මගේ අතින් කතාව ලියවෙනවා. කතාව පටන් ගන්නාවිට මගේ හිතේ එහි අවසානයක් ගැන අදහසක් තිබුණේ නෑ ලියාගෙන යන විට විවිධ පැති හරහා අවසානයට ඇදෙනවා. බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් මේ පොත ඇතුළේ ලිංගිකත්වය හා බැඳුණු කරුණු තිබෙන නිසාත් මේක මගේ ශෛලියෙන් බැහැර නිසාත් මේක ඇතුළත් කලේ ඇයි කියලා.. ඇත්තටම කිවුවොත් එහෙම කළේ පොත විකුණා ගැනීමේ වුවමනාවට එහෙම නොවෙයි. පොත කියවන විට තේරෙයි මේ කතාව විසින් ඒ ලිංගිකමය කරුණු කාරණා ඉල්ලා සිටිනවා කියා. මට හිතුණා ඒක ඇතුළත් වුණොත් තමයි මේ පොත ලස්සන වෙන්නේ කියලා.

හේමාලි විජේරත්න/ විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?