ගායනය, රංගනය ඇතුළු කලා මාධ්‍ය රැසක් සංස්පර්ශ කරමින් ඒවා අතික්‍රමණය කළ සූර කලාකරුවන් අතර රොඩ්නි වර්ණකුල පෙරමුණ ගත්තෙකි. කලා ලොව ජය කෙහෙළි නංවන්නට ඔහුට දිරිය ශක්තිය ලබා දුන්නේ ඔහුගේ අම්මා බව ඔහු තරුණී පුවත්පතේ අම්මාවරුනේ ලිපි මාලාවේ තෙවැන්න සමඟ සම්මුඛ වෙමින් කියා සිටියේය. බොර දිය කඩිත්තක මඩ පාදා පිරිසුදු දිය මතු කර ගන්නා සේ මවක් සිය දරුවන් නරකින් මුදවා යහ මඟ පෙන්වයි.
මෙවර අම්මාවරුනේ තුළින් තරුණී පාඨක ඔබ සමඟ සිය මව හා බැඳුණු අත්දැකීම් බෙදා ගන්නේ ප්‍රවීණ රංගධර, ගායක රොඩ්නි වර්ණකුල මහතායි. දරු තිදෙනකුගේ පියෙක් වන ඔහු සිය බිරියව ආදරණීය මවක ලෙස දකින ආකාරයද අප හමුවේ කියා පාන්නට අමතක නොකළේය. මේ ඒ රසවත් හමුවයි.
මගේ අම්මාගේ නම සෝමාවති ජයකොඩි. ලොව හැම අම්මා කෙනෙක්ම වගේම අපේ අම්මා කියන්නේ ගුණ කඳක්. අම්මා ඉපදෙන්නේ 1930දී. මම ඉපදෙන්නේ 1961 වසරේදීයි. ඒ වන විට අම්මාගේ වයස අවුරුදු 31ක්. මම පවුලේ වැඩිමහල් පුතා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් දෙනෙක් හිටියා. අපි පුංචි කාලේ ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. දරුවන් හය දෙනෙක් හදා වඩා ගන්නට ඇය බොහෝ දුක් වින්දා. අපි ඒ අමාරුකම දැක්කා. ඒ දුෂ්කරතා මැද අම්මා මයියොක්කා, දෙල් ආදිය තම්බලා දීලා අපේ කුස පිරෙව්වා. අපිට ඒ දුක වටහා ගනිමින් ජීවත් වන්නට අම්මා ඉඩ හැරියා. ඒ වගේම කතෝලික පල්ලියට අපිව ළං කළා. අපි පුංචි කාලේ මතක ඇති කාලෙක වෙද මහත්තයෙක් ළඟට හෝ ගිහින් නෑ. අපි ලෙඩ වුණු හැම අවස්ථාවකදීම අපට බෙහෙත් කළේ අපේ අම්මායි.
අපිට උණ, හෙම්බිරිස්සාව, කම්මුල්ගාය වගේ ලෙඩක් හැර වෙන රෝගයක් වැලඳිලාත් නෑ. ඉතින් අපේ අම්මා ගමේ කැලේ වැවුණු කැළෑ කොළවලින් අපට බේත් හේත් කරමින් අප සුවපත් කළ ගැමි ගැහැනියක්. ඒ වගේම අපව කුසගින්නේ නොතැබීමට අපේ අම්මා සෑහෙන උත්සාහයක් ගත්තා. එතුළින් අපි ජීවිතයේ දුක වටහා ගනිමින් උස් මහත් වුණා.
“මුන්ට කවදාහරි හරි යයි” යන වදන අම්මාගේ මුවින් නිතරම පිටවුණු හැටි මට අද වගේ මතකයි. මම අවුරුදු පහක් මවු කිරි බීපු පුතෙක්. ඒ නිසාම “ඇතෙකුට කිරි දුන්නත් පුතෙකුට කිරි දී නිම කරන්න බෑ” යැයි අපේ අම්මා නිතරම වගේ කියා සිටියා. අපිව ආගම දහමට ළං කරලා අපිව නිතරම යහ මගට යවන්නට අම්මා කටයුතු කළා. ඒ වගේම කොතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් දිනපතාම අපිව පාසල් යවන්නට අම්මා අතපසු කළේ නෑ.
දවසක් මං පාසල් ගිහින් එද්දී අම්මා ඇඬූ කඳුළින් පසුවුණා. එදා අපි ගෙදර එන විට අපිට කන්නට උයන්නට ගෙදර කිසිදු දෙයක් තිබී නෑ. එයින් අසරණ වූ අපේ අම්මා අපව බදාගෙන හැඬූ හැටි මට මතකයි. එදා මං ගෙදර තිබුණු පොල් ගහකට නැඟලා කළටි පොල් ගෙඩි දෙක තුනක් කඩලා එහි මද, ලුණු සමඟ කෑවා. ඉතින් ඒ විදිහට එදා අපි කුස ගින්දර නිවා ගත්තා. එදාත් හැඬූ කඳුළින්ම අපේ අම්මා “අනේ පුතේ උඹලට කවදාහරි හරි යයි” යනුවෙන් පැවසූ සැටි අමතක වන්නේ නෑ. අපේ අම්මා හදවතින්ම කළ ප්‍රාර්ථනාවන් අපේ ජීවිත එළිය කළා.
අපේ අම්මා විහාරමහා දේවියක් වගේ අපට යහමග පෙන්වා දුන්නා. අපිට ළතෙත් හදවතක් ලැබුණේ අම්මාගෙන්. නමුත් මම කලාකරුවෙක් වුණේ තාත්තාගේ ආභාසයෙන්. අපේ තාත්තා ටීටර් නළුවෙක්. සර්පිනා, වයලින්, ජපන් මැන්ඩලීන් ආදී සංගීත භාණ්ඩ වාදනයට තාත්තා බොහොම දක්ෂයි. ඉතින් මම කලාකරුවෙක් වුණේ තාත්තා දිහා බලාගෙනයි. එහෙත් මම මනුස්සකම්, ගුණ ධර්ම බොහෝමයක් ඉගෙන ගත්තේ අපේ අම්මා මට ලබා දුන්නු උපදේශ පිළිපදිමිනුයි. ඒ වගේම ජීවත් වීමට ධෛර්යය ලබා දුන්නෙත් අපේ අම්මා විසින්. පාසල් යන කාලයේ මිතුරන් මාව ප්‍රතික්ෂේප කරන කොට පස්සට අදින විට අපේ අම්මා මාව ධෛර්යමත් කළ ආකාරය මට අමතක නෑ.
අම්මා ගැන කළ කතාබහෙන් පසුව රොඩ්නි සිය බිරිය ගැන අදහස් පළ කළේ මේ ආකාරයෙනි.
මගේ බිරිය එරානි සුබසිංහ. අපි දෙදෙනා එකම ගමේ එකම පාසලේ එකම පන්තියේ පාසල් සමයේ සිටම දන්නා හඳුනන අය. අපි විවාහ වන්නේත් ප්‍රේම සබඳතාවකින්. අපිට දරුවෝ තුන්දෙනයි. දුවලා දෙන්නෙක් සහ පුතෙක් මට ඉන්නවා. අපේ අම්මාගේ සහ බිරියගේ පරම්පරාවන් අතර පරතරයක් තිබෙනවා. අපි යුග දිවිය ආරම්භ කළේ 90 දශකයේදීයි. අපේ අම්මා රැකියාවක් නොකළත් මගේ බිරිය රැකියාවක් කළා. ඇත්තටම දෙවැනි දුව ලැබුණාට පස්සේ බිරිය රැකියාවෙන් නතර වුණා. ඉතින් ඒ කාලයේ සිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදර කටයුතු සියල්ල සිදු වුණේ බිරිය අතින්.
ඇය අපේ පුතාට අවුරුදු 7ක් පුරා මවුකිරි දුන්නා. ඉතින් පුතා පාසල් යන කාලයේත් මවුකිරී බිව්වා. ඇය ඒ තරමටම දරුවන්ට ආදරය සෙනෙහස දැක්වුවා. අපේ අම්මා වගේම මගේ බිරියත් බොහෝම සරල කාන්තාවක්. ඒ වගේම පරෝපකාරී ගුණය මගේ බිරිය සතු විශිෂ්ට ලක්ෂණයක්. අපි සතුව ඇති කුඩා දෙයකින් පවා අනුන්ට උපකාර කිරීමට ඇය පසුබට වෙන්නේ නෑ. ඒ වගේම දරුවන්ට අඩුපාඩුවක් දැනෙන්නට ඉඩ තැබුවේ නෑ. අපි දෙන්නාම පුංචි කාලේ දුක් විඳිමින් යම් තැනකට පැමිණි අය. ඒ නිසා දරුවන්ට ඒ දුක නොදැනෙන අයුරින් හදා වඩා ගන්නට අපි නිතරම කටයුතු කළා. ඒත් දරුවන්ට දුක දැනෙන්න නොදුන් එක අඩුපාඩුවක් යැයි මට සිතෙනවා.
ඒ වගේම ස්වභාවයෙන්ම දරුවන් වඩාත් ළෙන්ගතු වන්නේ මවට කීවොත් වැරදි නෑ. රැකියාවේ කටයුතු සමඟ තාත්තා කාර්යබහුල වීමත් සමඟ දරුවන්ට වඩාත් ළං වන්නේ මවයි. එය මට වගේම මගේ දරුවන්ද සමානව අත්වින්දා කීවොත් නිවැරදියි. එය පරම්පරාගතව සිදුවන සාමාන්‍ය දෙයක්. තාත්තාගේ කැප වීම නොදැනුණත් මවට නොදෙවැනි කැප කිරීමක් තාත්තාත් සිදු කරනවා.
රොඩ්නිගේ කලා ජීවිතයට විවාහයෙන් පසුව වාසනාව කැන්දූ හැටි ඔහු මෙසේ වචනවලට පෙරළුවේය.
මම මගේ කලා ජීවිතයේ පළමු කඩඉම පනින්නේ විවාහයත් සමඟයි. ඉතින් ඊට බිරියගේ වාසනාව හේතු වූවා කීවොත් ඉතාම නිවැරදියි. ඇය මා හා විවාහ වන්නේ 1989 වසරේදීයි. ඒ සමඟම මට බෝඩිම ටෙලි නාට්‍යයේ රංගන අවස්ථාවක් හිමි වෙනවා. මාව මිනිසුන් අතරට ගියේ බෝඩිම ටෙලි නාට්‍යයෙන්. ඉතින් ඉන් අනතුරුව මගේ කලා ජීවිතය සාර්ථකව ඉදිරියට ගලාගෙන යනවා. ඊට බිරියගෙන් ලැබුණු නිදහස, ඇය දරුවන් වෙනුවෙන් සිදු කළ කැප කිරීම නියත වශයෙන්ම හේතු වුණා. අද මං මෙවන් තැනක ඉන්නේ බිරියගෙන් ලැබුණු ශක්තිය නිසා බව කිව යුතුයි.
සැමියා සහ බිරිය අතර සුළු හෝ ගැටුමක් ඇති නොවන පවුල් සංස්ථාව මෙලොව නැත. එවන් අවස්ථාවල රොඩ්නි සහ එරානි සිය ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය පැහැදිලි කළේ ආදර්ශමත් පවුල් ජීවිතයකට උදාහරණ සපයමිනි.
සුළු සුළු හෝ ප්‍රශ්න ඇති නොවන පවුල් මේ ලෝකයේ නෑ. ඉතින් ඒ ලෝක ස්වභාවය අපිටත් පොදුයි. පොඩි පොඩි නොගැළපීම් ඇති වෙනවා. වාද භේද කරනවා. හැබැයි ඒවා අපි පවුල ඇතුළේ විසඳාගන්නේ බොහෝම සහයෝගයෙන්. ඇත්තටම මට කේන්ති ගියොත් කඩ පිළට හෝ පල්ලියට හෝ ගිහින් ඇවිදලා එනවා. එතකොට මගේ කේන්තිය නිවිලා වගේම ගැටුමකින් තොරව නැවතත් සාමකාමීව අපි දෙන්නා පවුල් සංස්ථාව සමගියෙන් ගෙන යනවා. පවුල් ජීවිතය එහෙම තමයි.
PIX BY – නිශ්ශංක විජේරත්න
පසිඳු මිහිරාන් රැටියල