අලුත් බලාපොරොත්තුවක් හිතට ඇතුළු වුණාම ජීවිතයට ලැබෙන නැවුම් බව දුල්මිණීටත් දැනෙනවා. ජීවිතය කියන්නේ බලාපොරොත්තුවලින් පිරුණු මංජුසාවක් වගේ, එකින් එක බලාපොරොත්තු පරෙස්සමට එකතු වුණ දෙයක්. දුල්මිණිට අලුතෙන්ම එකතු වුණේ තම ලෙයින් හැදෙන ආදරණීය දරුවකුගේ බලාපොරොත්තුවයි. එය ඇයට ජීවිතයට නැවුම් හැඟීම් ගොන්නක් ගෙන දෙන්නට සමත් වුණා.
‘මගේ දරුවට මම දෙන්නේ මේ ලෝකෙ තියෙන හොඳම දේවල්. මම එයාට නරකක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. එයා වෙනුවෙන්, එයාගේ අම්මයි තාත්තයි විදිහට මටයි නිරෝෂනටයි අපේ ජීවිත පරෙස්සම් කරගන්න වෙනවා.‘ එහෙම හිතපු දුල්මිණී බෝ නොවන රෝගවලින් වැළකීම සඳහා ඒ ගැන දැනුම්වත් විය යුතු යැයි සිතුවා. අද හෙම්බිරිස්සාවක් තරමටම සුලබ පිළිකා ගැන මුලින්ම දැනුම්වත් වෙන්න හිතපු දුල්මිණී හිතවත් වෛද්‍යවරයකු හමුවීමට ගියේ නිරෝෂන් එක්කමයි.
‘ඩොක්ටර් වයිෆ් ප්‍රෙග්නන්ට් නිසා එයා පිළිකා කාරකවලින් වළකින්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ නිසා අපිට ඒ ගැන දැනගන්න පුළුවන්ද?‘
‘ඇත්තටම ඔයාලා හොඳ ආරම්භයක් ගන්නේ. මම ඔයාලට උදවු කරන්නම් ..’ සතුටින් පැවසූ වෛද්‍යවරයා පුටුවේ හරිබරි ගැහුණේ මේ යුවළ ගැන සිතේ ඇති වුණු පැහැදීමත් සමඟිනි.
‘පිළිකා කාරක අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය නිසා, භෞතික හේතු නිසා, ජීව විද්‍යාත්මක හේතු නිසා වගේ. මේකෙන් බොහොමයක් අයට පිළිකා හැදීමට හේතු වෙන්නේ රසායනික ද්‍රව්‍ය නිසයි. දුම්වැටිවල භයානක රසායන ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා.
ලෝකයේ තිබෙන පිළිකාවලින් 40%ක පමණ ප්‍රමාණයක් නතර කිරීමට මුළු ලෝකයේම දුම් පානය නතර කිරීමෙන් පුළුවන් කිව්වොත් ඔයාලට ඒකෙන් සිද්ධවෙන හානිය හිතාගන්න පුළුවන් නේද? මේක දුම්වැටි විතරක්ම නෙමෙයි දුම්කොළ භාවිතයෙන් සිදු කරන සෑම දෙයක්ම නැවැත්වීමෙන් පිළිකා 40%ක ප්‍රතිශතයකින් අඩුකර ගන්න පුළුවන්. දුම්වැටි, නැතිනම් දුම්කොළ භාවිතය නිසා නිකොටීන්වල ඇති රසායනික ද්‍රව්‍ය කටට ඇතුළු වී ක්‍රියාත්මක වීමෙන් මුඛ පිළිකා, ඉන්පස්සේ ගලනාලයට ඇතුළු වීමෙන් ගලනාලයේ පිළිකා, ශ්වාසනාලයේ පිළිකා, පෙණහලු පිළිකා විතරක් නෙවෙයි, ඉන් පහළ ඇති ආමාශය දක්වාත් පිළිකා සෑදීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම වක්‍ර ලෙස මෙය පියයුරු පිළිකා සෑදීමටත් හේතුවෙන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි අපි ගන්නා ආහාරවල පවා රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ ආදිය නිසාත් පිළිකා හැදෙන්න පුළුවන්..’
‘අදම මම සිගරට් බොන එක නතර කරනවා..’ යැයි නිරෝෂන් සිතුවේ වෛද්‍යවරයාගේ මේ පැහැදිලි කිරීම අතරමයි.
‘රසායනික ද්‍රව්‍ය නිසා මූුත්රාශයේ පිළිකා ඇති වීමේ අවදානමකුත් තියෙනවා. මස් පුච්චලා කන අයට, ඒ කියන්නේ බාබක්‍යූ කරලා මස් කනකොට, ප්‍රොසෙස් ෆුඩ් ඒ කියන්නේ හැම් බේකන්, සොසේජස් වැනි සකසන ලද ආහාර වර්ගවලට යොදන රසායනික රසකාරක නිසා මහාන්ත්‍රයේ පිළිකා පවා ඇති වෙන්න පුළුවන්.
භෞතිකව පිළිකා ඇතිවන පිළිකා කාරකයක් ලෙස එක්ස් රේ කිරණ වැනි විකිරණවලට නිරාවරණය වීම දක්වන්න පුළුවන්. මේ විකිරණ ඇසට නොපෙනෙන දෙයක් නිසා එය අපේ සිරුරේ ගැටෙන බව අපි දන්නේ නැහැ. පරිසරයේ සාමාන්‍යයෙන් විකිරණශීලීතාවක් යම්කිසි ප්‍රමාණයකට තියෙනවා. නමුත් එය හානිකර තත්ත්වයක නැති වුවත් විකිරණ බලාගාර අසල, විකිරණ සම්බන්ධව ක්‍රියා කරන කර්මාන්තශාලා අසල මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. රෝගියෙක් ලෙස අපි එක්ස් රේ ඡායාරූප ගන්නා නමුත් එය වසරකට වරක් දෙකක් වැනි ලෙස ගන්නා නිසා සුළු ප්‍රමාණවලින් විකිරණවලට නිරාවරණය වෙනවා.
ඒත් එහි වැඩ කරන කාර්මික ශිල්පියාට වැඩි ලෙසින් විකිරණවලට නිරාවරණය වීමට සිදු වන නිසා පිළිකා සෑදීමේ අවදානමක් තිබෙනවා. එයින් ආරක්ෂා වීම වෙනුවෙන් සැකසූ කුටියක් ඔවුන්ට ලබා දී තිබෙන්නේ ඒ නිසයි. යම්කිසි ලෙසකින් ඔවුන් ඉන් එළියට එනවා නම් සිරුරම ආවරණය කරගන්න ඕනෙ. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා බොහොමයක් හැදෙන්නේ විකිරණවලට නිරාවරණය වීමෙන්. ඒ වගේම සමේ පිළිකා තත්ත්වයන් ඇති වෙන්නත් විකිරණ හේතු වෙනවා.
අපි හිතනවා ජංගම දුරකථනවලින් විකිරණ පිටවන බව. ඒත් මේ වෙනකල් පර්යේෂණයකින් එහෙම දෙයක් ඔප්පු වෙලා නැහැ. සංඥා කුලුනුවලින් පවා විකිරණ පිටවන බවක් තාමත් ඔප්පු වෙලා නැහැ. අපි දුර රටකට යනවා නම් ගුවන් යානයේ දී පවා අපි යම් ප්‍රමාණයකට විකිරණවලට නිරාවරණය වෙනවා. ඒ අනුව අපිට විකිරණ වලින් සම්පූර්ණයෙන්ම ගැලවෙන්නට බැහැ.
හිරු රශ්මියෙන් එන අල්ට්රා වයලට් කිරණ UVB මඟින් පවා අපිට විකිරණවලට නිරාවරණය වීමට සිදු වුණත් ඕසෝන් ස්තරය නිසා රැකවරණයක් ලැබෙනවා.
විදේශිකයන්ට සුදු හමක් තිබෙන නිසාත් ඕස්ට්‍රේලියාව වැනි රටවල් ආසන්නයේ ඕසෝන් ස්තරය පලුුදු වීඇති නිසාත් එම කිරණ පෘථිවියට පතිත වීමෙන් පිළිකා අවදානමක් ඔවුන්ට තිබෙනවා.
අපේ හමේ තිබෙන මෙලනින් ස්තරය නිසා ස්වාභාවිකවම අපි අල්ට්රා වයලට් කිරණෙන් ආරක්ෂා වෙනවා. ඒත් දැන් දැන් ගොඩක් අය හම සුදු කර ගන්න යාමෙන් නොදැනුවත්වම පිළිකා කාරකයක් වන විකිරණවලට නිරාවරණය වෙනවා. මේ නිසා සමේ පිළිකා ඇති වෙන්න තිබෙන අවදානම වැඩියි. කෙසේ වෙතත් අව්වේ යාමේදී කුඩයක් භාවිත කිරීමත් වැදගත්.‘
වෛද්‍යවරයාගේ වදන් ඇසෙත්ම දුල්මිණීට තමන්ගේ අම්මා ගැන ඇති වුණේ දැඩි සෙනෙහසක්. තමා සුදු වීම සඳහා ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමට යාමේදී අම්මා දැඩිව එයට විරුද්ධ වූ අන්දමත් සුදු හමට වඩා කළු සම වටිනා බව පැවසූ අන්දමත් ඇයට සිහි වුණා. තමාගේ නූපන් දරුවාත් ඉන් ආරක්ෂාව ලැබූ බව සිහිවන විට ඇයගේ දෑස්වලට කඳුළු පිරුණා.
‘ජීව විද්‍යාත්මක හේතු නිසා පිළිකා ඇති වන්නේ වයිරස් නිසයි. හියුමන් පැපිලෝමා වයිරසය නිසා ගැබ්ගෙල පිළිකා, උගුර අවට, මුඛ කුහරය අවට පිළිකා ආදිය ඇති වෙන්න පුළුවන්. EBV වයිරසය නිසා නාසය අවට පිළිකා ඇති වෙන්න පුළුවන්. හෙපටයිටිස් වයිරසය නිසා සිරෝසිස් මෙන්ම අක්මාවේ පිළිකා ඇති වෙන්න පුළුවන්. පියයුරු පිළිකා ලංකාවේ කාන්තාවන් අතර වැඩියෙන්ම වැලඳෙන පිළිකා වර්ගය ලෙස හඳුන්වනවා. සිරුරේ තිබෙන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝනවලට අමතරව දීර්ඝ කාලීනව හෝමෝන ලබා ගන්නවා නම් පිළිකා අවදානමක් ඇති වෙන්න පුළුවන්.
උපත් පාලන උපක්‍රමයක් ලෙස භාවිත කරන පෙති වර්ග හා ඩිපොප්‍රොවේරා වැනි එන්නත් නිසාත් හෝමෝන ශරීරගත වෙනවා. සමහර කාන්තාවන් ආර්තවහරණයෙන් පසුව තරුණ බව රැක ගැනීම සඳහා හෝමෝන භාවිත කිරීමට පෙලඹෙනවා. මේ මොන කාරණයක් නිසා වුණත් හෝමෝන ශරීරගත වීම පිළිකා අවදානමක් ඇති වීමට හේතුවක්.
මේ මොන දේ වුණත් ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමෙන් මේ අවදානම අවම කරගන්න අපිට පුළුවන්. ඒ සඳහා සමබල ආහාර රටාව, ව්‍යායාම, නිසි වේලාවට නින්දට යාම සහ අවදි වීම, ආතතියෙන් තොරව සිත තබා ගැනීම උදව්වක් වෙනවා.’
වෛද්‍යවරයාගේ කතාවෙන් බොහෝ කරුණු දැනගත් බව පැවසූ දුල්මිණී වෛද්‍යවරයාට ස්තුති කළේ තමා ගත් තීරණය ගැන සතුටු වෙමිනි.
පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය නෙඔමාල් පෙරේරා
අයන්ති උඩුගම්පල