වත්සලා කියන්නෙ උපතින්ම පැහැපත් සමක් හිමි හරිම ලස්සන කාන්තාවක්. එක් දරු මවක වූ ඈ විවාහ වෙලා අවුරුදු 10කට වැඩියි. හැම තිස්සෙම හිනාවෙලා සතුටින් ඉන්න වත්සලාගේ මූණ මේ දවස්වල මැලවිලා. පවුලේ අය ඒ ගැන විමසුවත් ඇය කළේ හිනාවකින් කතාව මඟාරින එක. ඒත් ඇත්තටම කාටවත් කියාගන්න බැරි අපහසුතාවකින් ඇය පීඩා විඳිමිනුයි හිටියේ. අන්තිමේදී වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ගේ වේදනාවට පිළියමක් හොයාගන්න ඇයට හිතුණා.
“ඩොක්ටර් දැන් සෑහෙන කාලයක ඉඳන් මගේ යෝනිය ආශ්‍රිත ප්‍රදේශය පුදුමාකාර වේදනාවක් ඇතිවෙනවා. ඒක කියාගන්න බැරි තරම් අපහසුවක්.”
“මේක අද ඊයේ ඇතිවුණු අමාරුවක්ද? එහෙමත් නැතිනම් කාලයක ඉඳන් දැනෙන අපහසුවක් ද ?”
“දැන් ටික කාලයක් ඩොක්ටර්. ඇත්තම කිව්වොත් මම මේකට ගොඩක් තැන්වලින් බෙහෙත් ගත්තා. ඒත් වෙනසක් වුණේ නැහැ.”
“ඒ කියන්නෙ දිගින් දිගටම වේදනාව ඇති වෙනවා කියන එකද ?”
“ඔව්. මම ජොබ් එකක් කරන කෙනෙක්. ඒත් මේ අමාරුව නිසා මට එක තැන ඉඳගෙන ඉන්නත් බෑ. අද මම මෝටර් සයිකලයේ ආවේ. ඒත් ඒකෙ සීට් එකේ ඉඳගන්නකොටම යෝනි ප්‍රදේශය තද වෙනවානෙ. එහෙම වුණාම මට මේ කියන කැක්කුම තදටම ආවා.”
“එතකොට ලිංගික සම්බන්ධතාවයේදීත් මේ වේදනාව දැනෙනවා ද?”
“ඔව් ඩොක්ටර්. අනේ ඩොක්ටර් කවදද මම මේ වේදනාවෙන් අත්මිදෙන්නෙ.”
“ඇත්තටම කිව්වොත් ඔයාගේ මේ රෝගී තත්ත්වය අපිට ඉතා බහුලව හමුවෙන රෝග තත්ත්වයක් නම් නෙවෙයි. ඒත් එහෙම හමුනොවුණත්, සැලකිය යුතු කාන්තාවන් පිරිසක් මේ ලිංගාශ්‍රිත වේදනාව සමඟ මාව හම්බවෙන්න ඇවිල්ලා තියෙනවා. ඔවුන් මේ වේදනාවට විවිධාකාරයේ ප්‍රතිකාර අත්හදා බලලා. නමුත් සෑහීමකට පත්විය හැකි ප්‍රතිකාරයක් ලැබිලා තිබුණේ නැති තත්ත්වයකදී තමයි මාව මුණගැහුණේ.
මේ කාන්තා ලිංගාශ්‍රිත වේදනාව (Vulval pain syndrome) එහෙම නැත්නම් මේකට කියන තවත් නමක් තමයි “වල්වොඩයිනියා” (Vulvodynia). මේක සාමාන්‍යයෙන් 16%කට පමණ කාන්තාවන් පිරිසකට ජීවිත කාලයේ (lifetime prevalence) එක වතාවක් හෝ දැනී ඇති තත්ත්වයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තත්ත්වය ඕනෑම වයසක කාන්තාවකට ඇතිවිය හැකියි. නමුත් වැඩිපුරම වාර්තා වන්නේ අවුරුදු 18 – 50ත් අතර කාන්තාවන්ටයි. හැබැයි ඊටත් වඩා වැඩිහරියක් කාන්තාවන් මේ වේදනාවට මුහුණ දුන්නත් ඒ ගැන ඇති නොදැනුවත්කම හා ලැජ්ජාව කියන කාරණා නිසා වෛද්‍යවරයෙක් වෙත යන්නෙ නෑ.”
“මොකක්ද ඩොක්ටර් මේ කාන්තා ලිංගාශ්‍රිත වේදනාව කියලා කියන්නේ?”
“මේක ඇත්තටම කාන්තාවකගේ බාහිර ලිංගික ඉන්ද්‍රියන් වන යෝනි තොල්, මූත්‍රා විවරය, යෝනි විවරය, භගමනිය හෝ යෝනි මණ්ඩපය කියන ප්‍රදේශවලින් පැනනඟින වේදනා සහගත තත්ත්වයක්. මෙය විස්තර කිරීමට අපහසු වේදනාවකි. ඇතැම් විට මුළු ප්‍රදේශයේම හෝ කිසියම් බාහිර ලිංගික ප්‍රදේශයකට සීමා වීමද සිදුවිය හැකියි. කෙනකු ඒ වේදනාව දැවිල්ලක්, හිරියක්, එහෙමත් නැතිනම් ගැහෙනවා, අනිනවා වගේ දැනීමක් හැටියට විස්තර කරනවා. මේ තත්ත්වය මාස ගණනාවක් හෝ අවුරුදු ගණනාවක් වුවත් පැවතිය හැකියි. එමෙන්ම මේ වේදනාව එක දිගටම පවතින්නක් ලෙස හෝ කිසියම් ක්‍රියාකාරකමක් නිසා අවුවාලීමක් (Trigger) හැටියට මතු වෙනවා. ඒ කියන්නෙ ඉඳගැනීම, බයිසිකල් පැදීම, තද යට ඇඳුම් ඇඳීම හෝ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම යන ක්‍රියා හැඳින්විය හැකියි.”
“මේකට හේතුව මොකක් ද?”
“ඇත්තටම කිව්වොත් මේකට නිශ්චිත හේතුවක් හඳුනාගෙන නැහැ. නමුත් නොයෙක් සාධක මේකට බලපෑ හැකි බව කියන්න පුළුවන්. උදාහරණ විදිහට ස්නායුවලට සිදුවන හානි, හෝමෝන වෙනස්කම්, ශ්‍රෝනි මාංස පේශි දුබලකම්, ස්නායු අධි සංවේදීතාව, පසුගිය ලිංගාශ්‍රිත ආසාදනයන්, ලිංගිකව බෝවන රෝග, අපිරිසුදු බව වාගේම මනෝවිද්‍යාත්මක කාරණාත් ඊට ඇතුළත්.”
“මේකට තියෙන ප්‍රතිකාර මොනවාද ඩොක්ටර් ?”
“මේ තත්ත්වයට තනි ප්‍රතිකාරයක් නැහැ. ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම භාවිත කරලා තමයි වේදනාවට සහනයක් ලබා දෙන්නේ. උදාහරණ විදිහට ස්නායු වේදනා සඳහා ආලේප කරන ක්‍රීම් වර්ග, ඖෂධ වර්ග පාවිච්චිය. ශ්‍රෝනි මාංස පේශි සඳහා ව්‍යායාම හෝ භෞතචිකිත්සාව. ඊට අමතරව උපදේශනය හා මනෝ වෛද්‍ය ප්‍රතිකාර, ජීවන රටාවන් වෙනස් කරගැනීම ඒ කියන්නෙ තද ඇඳුම් ඇඳීමෙන් වැළකීම, හානිකර ආලේපවලින් වැළකීම, මානසික පීඩාවන් මඟහැරීම වාගේ දේවල් හඳුන්වා දෙන්න පුළුවන්.”
උපදෙස් –
විශේෂඥ වෛද්‍ය
අජිත් කරවිට
ලිංගිකව බෝවන රෝග, එච්.අයි.වී හා ලිංගික සෞඛ්‍යය
අනුරාධපුර ශික්ෂණ රෝහල
චම්පා වරුසප්පෙරුම
