Tuesday, September 9, 2025
Epaper
Home ස්වයං රැකියාඖෂධීය පානවලින් ව්‍යාපාර ලෝකය හොල්ලන අපූරු යුවළ

ඖෂධීය පානවලින් ව්‍යාපාර ලෝකය හොල්ලන අපූරු යුවළ

by Thanushika

හැමෝම හීන දකින්නේ තමන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන්ගන්න. හැබැයි රැකියාවක් කරනවා වගේ නෙවෙයි තමන්ගෙම ව්‍යාපාරයක් කරනවා කියන්නෙම ලොකු අභියෝගයක්. ඒකට හිතේ හයිය තියෙන්නම ඕනේ. ඒ වගේ ජීවිතේ හැමෝටම එනවා හිත හයිය කර ගන්න ඕනි වෙලාවක්. තමන් ගැන ඇගයීමක් තමන් තුළින්ම දැකිය යුතු වෙලාවක්. මේ කියන්න යන යුවළත් ඒ වගෙයි.

ඇය මීරිගම පදිංචි නිලූපමා චතුරංගනී. ඇගේ සැමියා මලිත් හෙලරුවන් සමඟින් එක්ව ඇය කරන්නේ හරි අපූරු ව්‍යාපාරයක්. ඒ විජලනය කරන ලද ඖෂධීය නිෂ්පාදන කිහිපයක්. ශ්‍රී ලංකාවේ ඖෂධීය පාන වර්ග ලෝකයට ගෙන යන ව්‍යාපාරයක් විදිහටයි අද මේ ව්‍යාපාරය ප්‍රචලිතව ඇත්තේ.

පියවරෙන් පියවර ඉදිරියට යමින් ඩෙෆ්රේ ලංකා පෞද්ගලික සමාගම (Defray Lanka Pvt Ltd) බිහි වන්නේ ඒ ඔවුන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහටයි.

ස්වයං රැකියාවක් අරඹන්නට සිහින දකින ඔබට ඇයගෙන් ඉගෙන ගත හැකි දේ බොහොමයි.

“අපි කරන්නේ ආහාර විජලනය කිරීමයි. මේ වෙද්දි අපේම නිෂ්පාදන කිහිපයක්ම වෙළෙඳපොළේ තියෙනවා. ඒ හැම එකක්ම ඖෂධීය තේ බෑග් විදිහටයි අපි නිෂ්පාදනය කරන්නේ. හීන්බෝවිටියා තේ, තෙබු තේ, කරපිංචා තේ, පොකුරු වදමල් තේ සහ නිල්කටරොළු තේ වශයෙන් නිෂ්පාදන 5ක් තියෙනවා. ඒ හැම එකක්ම සෞඛ්‍යාරක්ෂිතව, ගුණාත්මකව නිෂ්පාදනය කරන නිසා අද වෙද්දි මේ නිෂ්පාදනවලට ලොකු වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා.”

කොහොමද මේ වගේ දෙයක් නිෂ්පාදනය කරන්න අදහස ආවේ?

සැමියාට ආහාර විජලනය සම්බන්ධ තරමක දැනුමක් තිබුණා. ඒකත් එක්ක අපිටත් හිතුණා ආහාර විජලනය කරන්න පටන්ගත්තොත් හොඳයි කියලා. ඉතින් අපි ස්වයං අධ්‍යනයක් කරලා, විජලන යන්ත්‍රයක් අරගෙන වැඩේ පටන් ගන්න තීරණය කළා. ඊට පස්සේ අපි විජලන යන්ත්‍රයක් මිල දී ගෙන මේ ඩෙෆ්රේ ලංකා පුද්ගලික සමාගම, නමින් ව්‍යාපාරය පටන් ගත්තා.

ව්‍යාපාරයට ආරම්භය තැබුවේ කොහොමද?

අපිට මුල්ම ඇණවුම ලැබුණේ අනෝදා කොළ විජලනය කරන්න. අනෝදා කොළ බොහෝ රටවල පිළිකා නාශකයක් විදිහට යොදා ගන්නවා. අපි ඒ විදිහට අනෝදා කොළ විජලනය කරලා ඔවුන්ට ලබා දුන්නත් ඒකෙන් අනෝදා කොළ 32,000ක් පමණ ප්‍රතික්ෂේප වුණා. ඒ කොළ නිවැරදිව විජලනය වෙලා තිබිලා නැති නිසා. ඉතින් ලැබුණු පළමු ඇණවුමේදීම ලොකු පාඩුවක් වුණා. ඊටපස්සේ අපි ඒ තාක්ෂණය නිවැරැදිව හඳුනාගෙන ඒකට හොඳින් සූදානම් වුණා.

පළමු ඇණවුමෙන්ම පාඩු ලැබූ මේ ව්‍යාපාරය කොහොමද ඉදිරියට අරගෙන ගියේ?

අපිට හිතුණා වෙන කෙනෙක්ගේ ඇණවුම් ගන්නවට වඩා අපේම කියලා නිෂ්පාදනයක් කළොත් හොඳයි කියලා. ඒකෙදි ඖෂධ පැත්තෙන් විජලනය කරන්න පුළුවන් දේවල් මොනවද, ඒවා පවුඩර් විදිහට දෙන්න පුළුවන්ද කියලා අපි හොයලා බැලුවා. මුල ඉඳන්ම හීන්බෝවිටියා විජලනය කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලලත් තිබුණා. හීන්බෝවිටියා වගේ කොළ වර්ග අපි ඉන්න ප්‍රදේශයෙත් තියෙනවා. ඉතින් අපි හිතුවා තේ පැකට් එකක් විදිහට මිනිස්සුන්ට පහසුවෙන් බොන්න පුළුවන් විදිහට මේක දුන්නොත් හොඳයි කියලා. අපි මුලින්ම හීන්බෝවිටියා, තෙබු, කරපිංචා නිෂ්පාදන තුනක් විදිහට හැදුවා.

වෙළෙඳපොළ නිර්මාණය කරගත්තේ කොහොම ද?

නිෂ්පාදන මුලින්ම අරගෙන ගියේ බෙහෙත් බඩු කඩවලට. අපි ගුණාත්මක විදිහට ඒවා නිෂ්පාදනය කරන නිසා මිල නියම කරලා තියෙන්නෙත් අපිට පාඩුවක් නොවෙන්නයි. ඒ මුදලට වඩා අඩුවට ගන්න පුළුවන් නිෂ්පාදනත් බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඒ නිසා මුලින් එයාලා අපේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කළා. ඊටපස්සේ අපි හිතුවා ෆාමසි පැත්තට ගියොත් හොඳයි කියලා. මේ නිෂ්පාදන මධ්‍යම පාන්තික අයට සහ ඉහළ පෙළැන්තියේ අයට ගැළපෙයි කියලා හිතුවා.

කැලණිය කැම්පස් එකෙනුත් අපිට උදවු කළා. එයාලගේ ප්‍රදර්ශන ති‍ෙයද්දි අපේ නිෂ්පාදනත් ඒ හරහා හඳුන්වා දුන්නා. ඒකෙනුත් අපේ අලෙවි කටයුතුවලට මඟක් පාදගන්න හැකි වුණා. දේශකවරු පවා අපිට කතා කරලා ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න අපිට අදහස් දුන්නා. එතකොට අපේ නිෂ්පාදනවලට හරියට පැකට් එකක් නිර්මාණය කරලා තිබුණේ නැහැ. මේ නිෂ්පාදනය ඇහැට පේන්න හොඳට තිබුණොත් මාර්කට් එක හදාගන්න පුළුවන් කියලා එයාලගෙන් උපදෙස් ලැබුණා. ඊට පස්සේ සැමියා ලස්සනට කවර ටිකත් නිර්මාණය කළා.

ඊට පස්සේ අපි පොකුරු වදමල්, නිල් කටරොළු මල් නිෂ්පාදන දෙකත් හඳුන්වලා දුන්නා. නිල් කටරොළු සහ පොකුරු වදමල්වලින් හොඳ වර්ණයක් ලැබෙනවනේ. ඒ වර්ණත් මේවා අලෙවි කරගන්න හේතුවක් වෙයි වගේම, මේවා වියැකිලා යන දේවල්නේ. පොකුරු වදමල් ඖෂධීය පානයක් කියලා වැඩි දෙනෙක් දන්නෙත් නැහැ. ඒ නිසා ඒවායේ අලෙවිය වැඩි කරගන්න ඒවත් හේතු වුණා.

ඔබ දෙපළම උපාධිධාරීන්. උපාධියක් සහිත ව්‍යවසායකයින් බිහිවීම හරි අඩුයි.

මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී විශේෂ උපාධියක් ලබා ගත්තා. සැමියා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. අපි දෙන්නා විවාහ වුණේ පසුගිය අවුරුද්දේ මැයි මාසේ. ඉතින් මාස දෙකක් වගේ කාලයක් ඇතුළත අපි අපේ ව්‍යාපාරය ගැන සැලසුම් හදලා අගෝස්තු මාසයේදී විජලන යන්ත්‍රය අරගෙන ව්‍යාපාරය පටන් ගත්තා.

සැමියයි, මායි ආදායම් මාර්ගය විදිහට කරන්නේ මේ ව්‍යාපාරය විතරයි. රැකියාවක් කරනවට වඩා ව්‍යාපාරයකින් අසීමිත ලාභ උපයන්න පුළුවන්. ඒවගේම ව්‍යාපාරයක් කරද්දි මානසික සතුටක් නිදහසක් ලබා ගන්නත් පුළුවන්. මේක ගෙදරම කරන නිසා අපි දෙන්නට එක තැනක ඉඳලා එකතු වෙලා සතුටින් වැඩ කරගෙන යන්නත් පුළුවන්. ඒ සතුට දෙතැනක රැකියා දෙකක් කරලා ගන්න බැහැ. උපාධිධාරි ව්‍යවසායකයොත් බිහි වෙන්න ඕනේ.

අපි මේ ව්‍යාපාරය පටන්ගත්තේ දෙන්නගෙම සහයෝගයෙන්. එක්කෙනෙක් අනිත් කෙනාට උදවු කිරීමක් නෙවෙයි වෙන්නේ අපි එකතු වෙලා මේක කරගෙන යනවා. බෙදාහැරීම් වුණත් අපි දෙන්නම තමයි කරන්නේ.

අපි ගෙදරට එහා පැත්තෙන් පුංචි කර්මාන්ත ශාලාවක් විදිහට මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. දැනට සේවකයින් හතර දෙනෙක් වැඩ කරනවා. දෙන්නෙක් ස්ථීර ලෙසම අපේ ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන ඉන්නේ. අනිත් දෙන්නා අමතර දායකත්වය ලබා දෙනවා.

මේක ව්‍යාපාරයකට එහා ගිය සෞඛ්‍යමය සේවයක්..

අපි දෙන්නේ මිනිස්සුන්ට වැදගත් වෙන ඖෂධ. ඒක ලාභ ඉපැයීමක් වගේම අනෙක් පැත්තෙන් අපිට ආශීර්වාදයක් වෙනවා. වැඩ කරද්දි පවා අපි ඒ ගැන ගොඩක් හිතලා හරිම පිරිසුදුවට තමයි මේ දේ කරන්නේ. අපි මේ දේ දෙන්නේ මිනිස්සුන්ගේ ශරීරයේ පැවැත්මට. ඒ නිසා ගුණාත්මක භාවය ගැන හිතලයි අපි වැඩ කරන්නේ. තරුණ යුවළක් මේ වගේ නිෂ්පාදන හඳුන්වා දීම ගැන, නිෂ්පාදන මිලදී ගන්න අයම අපිට ආශීර්වාද කරනවා.

ව්‍යාපාරය පැත්තෙන් ඉදිරි සැලසුම් මොනවා ද?

අපි දැනට ෆාමසි, අවන්හල්, තොග වෙළෙඳසල්වලට වගේම සුපිරි වෙළෙඳසල්වලටත් මේ නිෂ්පාදන දානවා. හොටෙල්ස්වලටත් දාන්න බලාපොරොත්තු වෙනවා. සැමියගේ අදහසක් තියෙනවා ඖෂධමය වයින් වර්ග නිෂ්පාදනය කරන්නත්. ඒ වගේම අපේ තේ එකතුවට මුරුංගා, සේපාලිකා මල්, දාස්පෙතියා වගේ දේවල්වලිනුත් අලුත් නිෂ්පාදන එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. තව යන්ත්‍ර අරගෙන වෙනස් නිෂ්පාදන කරලා ලංකාවටම අපේ අලෙවි නාමය ගෙනියන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?