Tuesday, September 16, 2025
Epaper
Home මනෝ උපදේශනමම හැර අනිත් අය හොඳ වෙලා වැඩක් නැහැ

මම හැර අනිත් අය හොඳ වෙලා වැඩක් නැහැ

by Thanushika

කුලියාපිටිය නගරයට ඉහළ අහසින් හිරු ඇතිරෙමින් තිබූ උදෑසනකි. හිරු කිරණ මහපොළොව මතට කාන්දු වූයේ තවත් අලුත් දවසක් උදා වෙලා කියන පණිවිඩය දෙන්නට මෙනි. නමුත් වෙනදාට බැබළෙමින් තිබූ මල්වල ප්‍රාණවත් ගතිය එදා තිබුණේ නැත. ඒ නිසා හිරු උදා වුණේ කුමක්දෝ අසුබ නිමිත්තකුත් අරගෙන කියලයි ස්වභාවධර්මයෙන් දැනුම් දුන්නේ. අනාගතය ගැන සිහින දකින ළමා ළපටීන් සුදෝ සුදුවන් ඇඳුමින් සැරසී පෙරමඟ බලා සිටින්නේ ජූඩ් අංකල්ගේ පාසල් වෑන් රථය පැමිණෙන තෙක්ය.

පොඩිත්තන්ගේ හිනා පොකුරු සමඟ ඉදිරියට ඇදෙන පාසල් වෑන් රථය කුලියාපිටිය පල්ලෙවෙල පාලම පසුකළා පමණකි. ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටුණේ විශාල ශබ්දයක් නඟමිනි. සිදු වුයේ කුමක්දැයි සිතා ගත නොහැකිය. ඇසුණේ පුංචි එවුන්ගේ කෙඳිරි ගෑම් සහ විලාපයන් පමණයි. රතු පැහැයෙන් පෙඟුණු පොත්පත්, බෑග්, බත් ඇට විසිරුණු කෑම පෙට්ටි මේ සියල්ල සිදුවුණේ තත්ත්පරයක ඇසිල්ලෙන්.

රටම කම්පා වුණු මේ අනතුරෙන් දැරියන් දෙදෙනකුත් වෑන් රථයේ රියැදුරුත් ජීවිතෙන් සමුගෙන අවසන්. තවත් ළමුන් කිහිප දෙ‍නෙක්ම සුව නොවූ තුවාලවලින් තවමත් පීඩා විඳිති. වචනයෙන් විස්තර කළ නොහැකි කම්පාවක් හැමෝගෙම හිත්වල තවමත් ඉතිරිව ඇත. ඔවුන්ට යළි ජීවය ලද නොහැකි වුණත් එවැනි දෑ යළි යළිත් සිදු නොවීමට වග බලාගැනීම අප කාගෙත් යුතුකමයි. මේ ඒ පිළිබඳ ප්‍රවීණ මනෝ උපදේශිකා අමා දිසානායක ගෙනෙන මනෝ උපදේශනාත්මක පැහැදිලි කිරීමකි.

එදාට වඩා අද මාර්ග අනතුරු වැඩි වෙලා කියලා කාට වුණත් තේරෙනවා. ඒ නිසාම මාර්ග නීති සම්බන්ධ විනය අලුතින්ම හදන්න ඕනේ කියලා මට හිතෙන්නේ අදක ඊයෙක නෙවෙයි. මේ හැම අනතුරකම අවසානය දිහා බැලුවම විවිධ හේතු තියෙනවා. රියැදුරාගේ නොසැලකිලිමත්කම, අධික වෙහෙස, එතකොට අබලන් රථ වාහන පාරේ යන එක. මේ අනතුරුවලට මාර්ග නීති රකින්නේ නැති පදිකයින් සහ රියැදුරන් විදිහට දෙපිළකට බෙදන්නත් පුළුවන්.

මේ ටිපර් රථයේ රියැදුරුටත් වයස අවුරුදු 23යි. එයා පැය 24ක්ම නිදාගෙන නැහැ කියලා ඔප්පු වෙලා තියෙනවා. මෙතැනදී ළාබලකම කියන එකත් බලපානවා. මොකද අවුරුදු 23ක් වගේ වයසකදී ඔය වගේ වගකීමක් සහිත රැකියාවක් කරන්න තීරණ ගන්න තරම් මනස මුහුකුරා ගිහිල්ලා නැහැ. ඒ වගේම තවත් සිද්ධියක් මට මතක් වෙනවා. බොරැල්ලේ කනත්ත ළඟ ලොකු බර වාහනයක් පැදලා එක තරුණයෙක්ගේ ජීවිතය නැති වෙනවා. ඒකෙන් බොහෝ දෙනෙක්ගේ ජීවිත සදාකාලික ආබාධිතයන් බවට පත් වුණා. ඉතින් මේ ගොඩක් සිදුවීම්වලදී රියැදුරන්ගේ නොසැලකිල්ල, මත්ද්‍රව්‍ය භාවිතය, දුම්පානය, බුලත් විට කන එක. බුලත් විටත් එක්ක මත්ද්‍රව්‍යත් තියාගෙන කනවා. එතකොට තමන් කරන්නේ මොනවද, කියන එක ගැන අවබෝධයක් නැහැ. අර සුරදූත කන්‍යාරාමයේ ජීවිත අහිමි වුණු දැරියන් දෙදෙනාගේ මවුපියන්ගේ විලාපය ඇහුවම හදවතක් තියෙන කිසි කෙනකුට ඒක අහගෙන ඉන්න බැහැ. එතකොට ඒ තරම් පටු විදිහට හැසිරෙන රියැදුරන් නිසා දුක් විඳින්නේ කිසිම වැරැද්දක් කරන්නේ නැති අහිංසක මිනිස්සු.

සමහර බස් අනතුරුවලදී විශ්වවිද්‍යාලයට ගිය දරුවන් පවා මැරුණා. පොලොන්නරුව පාලමෙන් වැටුණු අනතුරේදිත් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙක් නැති වුණා. ඉතින් ඉගෙන ගත්තේ නැති බස් රථ රියැදුරෙක් 9 වසර පාස් වුණාම කොහොම හරි වාහනය එළවන්න ඉගෙන ගන්නවා. සුක්කානමක් අතට ගන්නවා. එහෙම කෙනෙක් නිසා මිනිස්සුන්ගේ ජීවිත ඔක්කොම නැති වෙනවා. ඉගෙන ගත්තේ නැති බස් රථ රියැදුරෙක් නිසා හොඳට ඉගෙන ගත්ත දීප්තිමත් අනාගතයක් තියෙන දරුවන් තමන්ගේ ජීවිත බිල්ලට දෙන්න ඕනෙ ද?

පදිකයන්ගේත් ගොඩාක් වැරදි තියෙනවා. ඊයේ මං එනකොටත් අත් දෙකෙන් දරුවෝ දෙන්නා අල්ල ගත්ත අම්මා කෙනෙක් පාරේ ඔහේ යනවා. කහ ඉරිත් නැහැ එතැන. ඒ අම්මාට වගකීමකුත් නැහැ තමන් මේ පාර පනින්නේ තවත් දරුවෝ දෙන්නෙකුත් එක්කයි කියන එක ගැන. මේ රටේ පුදුම නීති තියෙන්නේ. මම හැර අනිත් හැමෝම නීති පිළිපදින්න ඕනේ කියලා තමයි හැම මිනිහෙක්ම හිතන්නේ. මට පාරේ ඕනෙ තැනකින් පනින්න පුළුවන්. මට ඕනෙ විදිහක් කරන්න පුළුවන්. මට පාරේ කුණු දාන්න පුළුවන්. එහෙම තමයි හිතන්නේ. එහෙම බැහැ. ඉතාම තද නීති ගේන්න ඕනේ කහ ඉරෙන් පනින්නේ නැති අයට, පේව්මන්ට් එකෙන් ගමන් කරන්නේ නැති අයට. අද පදික වේදිකාවේ මිනිස්සුන්ට ගමන් කරන්න බැහැනේ. පදික වේදිකාවේ කොස් විකුණනවා, මාළු විකුණනවා. එළවළු විකුණනවා. අපේ රට පුදුම රටක්. සෙරප්පු, සපත්තු ඔක්කොම ශෝ කේස්වල දාලා විකුණනවා. අපි කන මැල්ලුම් මිටියයි, කොස් ටිකයි අනෙක් පලා ටිකයි පේව්මන්ට් එකේ තියාගෙන විකුණනවා. අපේ රට අන්න එහෙම රටක්.

දැන් තරුණ පරම්පරාව හැම තිස්සෙම කන් දෙකේ ඇබ ගහගෙනමයි පාරේ යන්නේ. සින්දු ඇහුවේ නැත්නම් මැරෙනවා වගේ හරියට. අහන්නේ වේග රිද්ම ගීත. ඒ රිද්මය ඔළුවට දාගෙන ඒකෙ හැටියටයි පාරේ යන්නෙත්. එයාලට පාර ගැන හැඟීමක් නැහැ. හෝන් සද්ද ඇහෙන්නේ නැහැ. ඒ වගේ හේතු නිසාත් අනතුරු වෙනවා.

මේ හැප්පිච්ච වෑන් එකේ ලෙල්ලටම රෝද ගෙවිලා. කම්බිත් මතු වෙලා. එතකොට නඩත්තු කරන්නේ නැහැ හරියට. බ්‍රේක් හොඳට තියෙනවද බලන්නේ නැහැ. මේ අනතුරු සිදු වෙන්න වෑන් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීමත් බලපාලා තියෙනවා කියලා කියනවා. පාසල් වෑන් රියක් වුණම අනෙක් වාහනවලට වඩා ප්‍රමිතිය ගැන හිතන්න ඕනේ. පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවලට ලංකාවේ නිශ්චිත වර්ණයක් නැති වුණාට වෙනත් රටවල කහ වර්ණය පමණයි යොදා ගන්නේ. ඒ වගේ ගොඩක් දේවල් එයාලා බලනවා.

පසුගිය දවසක ලංගම බස් සහ පෞද්ගලික බස්වලට ඒකාබද්ධ කාලසටහනක් හැදුවා. මේ බස් රථවල රියැදුරෝ සේරම බස් රථ උඩ නැඟලා, ටැංකි උඩ නැඟලා උද්ඝෝෂණය කරනවා. තැපැල් සේවකයන්ට ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න කිවුවම ඒකට උද්ඝෝෂණය කරනවා. එහෙම බැලුවම මේක හරි නාඩගම් රටක්. මම හැර අනිත් ඔක්කොම වැරදි කියන මතයේ තමයි ඉන්නේ. මම හිතන්නේ ඒ හැමෝටම නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. විශේෂයෙන් බස් රථ රියැදුරන්ට සහ මගීන්ට මේ රටේ හදන්න ඕනේ පළමුවැනි දේ තමයි මාර්ග නීති රීති. ඊළඟට හදන්න ඕනේ මාර්ගයට කුණු කසළ බැහැර කරන එක. මම ඕනෙ තරම් දකිනවා පාරේ රතු ලයිට් එක පත්තු වෙන්න කලින් කහ ඉර පනිනවා. ආකල්ප හැදිලා නැහැ. අපේ අම්මා වීරයෙක්. රතු ලයිට් එක පත්තු වෙලා තියෙද්දිත් අපේ අම්මා පාර පැන්නා. ඒක වීරකමකට ආරූඪ කර ගන්නවා. දරුවෝ හිතනවා අම්මා පැන්න නම් මං පැන්නම මොකද කියලා.

විශේෂයෙන්ම පොහොසත් කියන පවුල්වල මෝඩ පුතාලට වාහනය එළවන්න දෙනවා. එතකොට එයාට ලයිසනුත් නැහැ. ඒ වගේම බයිසිකල් පදින කාන්තාවෝ පාරට ආවම ඔළුවේ තියෙන්නේ වෙන වෙන දේවල් ගැන. ළිපේ තියලා ආපු හොදි ගැනයි, අලුතෙන් ගත්ත ඇඳුම ගැනයි වෙන වෙන දේවල් ගැන තමයි හිත හිත යන්නේ. එතකොට වමට සිග්නල් දාලා දකුණට හරවනවා. මම ඒ අත්දැකීමට ඕනෙ තරම් මුහුණ දීලා තියෙනවා.

ලංකාවේ මිනිස්සු පාර අයිනෙන් යනවා. පාර මැදට කෙළ ගහනවා. ගම්පහ නගරාධිපති නීති මාලාවක් දාලා තියෙනවා ගම්පහ කෙළ ගහන අයට දඩ ගහනවා. ඒ විදිහට ගම්පහ නගරය පිරිසුදු කරන්න පටන් ගත්තා. හොඳින් කියන්න බැරිනම් තදින් කියන්න ඕනේ.

අනතුරක් වුණු පාසල් විනෝද චාරිකා යන රියැදුරෙක් කියලා තිබුණේ මං දවස් පහකින් නිදාගෙන නැහැ. එක දිගට වාහනේ ට්‍රිප් අරන් ගියා කියලා. සල්ලි නෙවෙයිනේ ජීවිතේ කියන්නේ. මේ අරන් යන්නේ මිනිස්සුන්ගේ ජීවිත. මැරෙන එකේ වේදනාව දැනෙන්නේ ජීවත් වෙන මිනිස්සුන්ට. රියැදුරා දඬුවම් විඳලා ටික කාලෙකින් එළියට එයි. ඒ වුණාට මැරුණ කෙනාගේ මවුපියෝ ඥාතීන් මුළු ජීවිත කාලයම දුක් විඳිනවා. මේ වගේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය තහනම් කරන්න ඕනේ

වාහනයක් එළවනවා කියන එක හැමෝටම කරන්න බැහැ. මෝඩ අත් දෙකකට සුක්කානමක් දෙන්න හොඳ නැහැ. මිනිස්සුන්ට ආදරය කරන තමන්ට ආදරය කරන මනස නිරවුල් මිනිහෙක් තමයි සුක්කානම පිටිපස්සේ වාඩි වෙන්න ඕනේ. මම විශේෂයෙන් හිතනවා බස් රියැදුරන්ට, ටිපර් රථ රියැදුරන්ට. පාසල් බස් රියැදුරන්ට මාස 6න් 6ට මනෝ වෛද්‍ය වාර්තාවක් අනිවාර්ය කරන්නම ඕනේ. සමහර වෙලාවට ගෙදරත් එක්ක රණ්ඩු වෙලා, සමහර විට ගංජා ගහලා, සමහරවිට පෞරුෂ දුබල වීමේ ප්‍රශ්න, මේ එක එක හේතු නිසා එයාලට හොඳ රියැදුරෝ වෙන්න බැහැ. එතකොට රජයක් ඇතුළේ නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙන්නම ඕනේ. බර වාහන රියැදුරන් මනෝ වෛද්‍ය වාර්තාවක් අනිවාර්යයෙන්ම ගන්නම ඕනේ. ඒ යෝජනාව මම රජයට ඉදිරිපත් කරන්න කැමතියි. එහෙනම් අපි අනතුරු නැති හෙට දවසකට සතුටින් මුහුණ දෙමු.

 

උපදෙස් ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?