Tuesday, September 16, 2025
Epaper
Home මනෝ උපදේශනනාකි නොවන සිත

නාකි නොවන සිත

by Thanushika

අපි කවුරුත් අකැමැතිම දෙය වන්නේ නාකි හෙවත් මහලු වීමයි. එය නැවැත්වීමට කිසිම ජගතෙකුට බැරි පොදු ධර්මතාවකි. මේ අන්දමට මහලු වන්නේ කය මිස සිත නොවේ. අපි සැමගේම උප විඥානය මහලු බවට පත් නොවේ. වියපත් වන්නේ ද නැත. මෙය කොතරම් අසිරිමත් දෙයක්දැයි ඔබගේ සිතට දැනෙන සතුට මට සිතා ගත හැකිය. අපේ සිතට කාලයක් හෝ වයසක් නොමැත. අවසානයක් ද නැත්තේය. සිත කෙදිනක හෝ මිය පරලොව යන්නේ නැති අපූර්වකාලීන විස්මිත අනර්ඝතම වස්තුවකි.

ඉවසීම, දයාව, ආලය, අනර්ඝ, සත්‍යගරුක බව ආදී ගුණාංග කිසි දි‍ෙනක වියපත් නොවන උත්තරීතර ගුණාංගයි. ප්‍රබල ධර්මතා රැසකි. ඔබගේ මුුළු ජීවිත කාලය තුළම මෙම උතුම් ගුණාංග රැකගෙන ඉතාම සතුටෙන්, ප්‍රීතියෙන් ජීවත් වන්නේ නම් ආත්මීය වශයෙන් ගුණාංග නිසිලෙස රැකගෙන තරුණ ජවයෙන් යුක්තව ජීවත්වීමේ වාසනාව ඔබට අත්වනු ඇත.

ගතින් මහලු වීමේ ලක්ෂණ බාහිරව දකින්නේ කුමක් නිසාද? ආයු කාලය ගත වීම නිසා යැයි ඔබ සිතන්නට ඉඩ තිබේ. එහෙත් ඔබ ඊට දිය හැකි නිවැරදි පිළිතුර වන්නේ ආයු කාලය ගත වීම පිළිබඳ ඔබේ යටි සිත තුළ ඇතිවන භීතිය හා පීඩනය නිසා එබඳු මානසික හැඟීමකට පත්වෙන බවය. බොහෝ අය සැබැවින්ම තම ශ්‍රේෂ්ඨත්වය ළඟා කරගන්නේ තාරුණ්‍යයේදී නොව වියපත් කාලයේදීය. වයසට ගිය මුත් ඔවුහු තම සිතේ ශක්තිය බිඳකුදු අඩුකර ගන්නේම නැත. එදිනෙදා වැඩකටයුතු කරන ලද්දේ තරුණයකු සතු ජවයෙන් යුතුවය. මෙය සුවිශේෂී ගුප්තමය රහසකි.

හැමවිටම අප තරුණ බවට පත්කරවන ප්‍රධාන රහස් සාධකය වන්නේ අප සිත් තුළ උපදින අතිශය ජව සම්පන්න සිතිවිලිය. අපේ සමහර තරුණ පිරිස් ද සිතුවිලි අතින් මහලු බවට පත් වී ඇති අයුරු අත්දැකිය හැකිය.

වයසට යෑම හෙවත් මහලු වීම ජීවිතයේ අවසානයට ළඟාවීමක් යැයි සි‍‍ෙතහි උපදින ජව සම්පන්න සිතුවිලිය. මෙය වරදවා, මට දැන්නම් මහලු නිසා කරන්නට බැරි බව සිතෙන් මවා ගනී. මෙතැනයි ගැටලුව ඇත්තේ. ඔබේ සිත තාමත් තරුණයි. කිසිම දි‍ෙනක මහලු නොවේ. මට ඕනෑතරම් වැඩ කරන්නට හැකිය යන ස්ථාවර පදනම සිතේ බලගන්්වන්න. මහලු වීම යනු වසර ගණනාවකින්ම වයස අඩුවීමක් නොවේ. සිය ප්‍රඥාවේ නවතම උනන්දු වීමකි. ප්‍රඥාව යනු මිනිසකුගේ විඥානිකව මනස ඇතුළත උපදින අති මහත් ප්‍රබලතම අාධ්‍යාත්මික බලය වේ.

වියපත් බවට පත්වීම යනු ඇත්තෙන්ම කායිකව වෙනස් වීමේ සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස සිතීමට හැකිනම් මහලු වීම ඔබට ප්‍රශ්නයක් විය හැකියි. ගෙදර සිටින තරුණ අය නිතරම සිතන්නේ ඔබ මහලු වී යැයි කියාය. තාත්තා, අම්මා නැත්නම් මාමා, නැන්දා, අයියා අක්කා දැන් හොඳටම මහලුයි. ගෙදරින් පිටව යන්න එපා. මේ හැරමිටිය අතට ගන්න. වැටෙන්න නම් එපා දැන් ඔයා නාකියි. ඉස්සර වාගේ නෙමෙයි.” මෙවැනි වදන් දවස පුරාම ඔබේ කනට වැකෙන විට ඔබට කේන්ති යනු ඇත. එය සොබාවිකයි. මේ ගැන පවුලේ තරුණ අය සිතිය යුතු වැදගත් කරුණක් වන්නේ වැඩිහිටි අයකුට එකවරම ඔහු නාකි වී, මුල්ලකට වී සිටිය යුතු ද යන්න ගැනයි. කෙනකුගේ මානසික මට්ටම එකවරම වට්ටන්න එපා. එය අතිශයින්ම නරකයි. මෑතකදී හමු වූ එක්තරා තරුණයකු මැදිවියේ තම මිතුරකුගෙන් “සෝමෙ උඹ තාමත් ඉස්සර වගේ ප්‍රේමයේ භූමිකාවේ රඟපානවද?” ඔහුගේ උත්තරය වූයේ “එහෙම කාලයක් ? තිබුණා තමා ජයේ දැන් මම වයසට ගිහිල්ලනෙ?”

ඔබට දැන් වැටහෙනවා නේද ඔහුගේ චිත්ත සොබාව හැසිරෙන හැටි. දෙගොඩහරි වියේ නව පෙම් කිරීමේ කලාත්ම හැඟීම් තරමක් දුරට හෝ පාලනය කරගැනීම තමාගේ ආත්ම ගෞරවයට හානිකර නොවේ. ඒ ඒ කාලය තුළ හැසිරිය යුතු ක්‍රමවේදයක් ද ඇත්තේය.

නමුත් දැන් ඔබ මෙහෙම හිතනවා නම් මට කිසිම දෙයක් කරන්න බෑ. හරිම නාකියි. එවැනි අදහස් ඔළුවට එන්නේ නෑ කියා එය එතරම් ධනාත්මක පැතිකඩක් නොවනු ඇත. ඔබේ කාලය අවසන් වී ඇතැයි සිතන හැම වාරයකදීම මැරි මැරී උපදිනු ඇත. එය මනෝ විද්‍යාත්මක වපසරියේ හීන වීමකි. තරුණ පිරිස් විනෝද වන හැටි බලා ඔබත් සතුටු වන්න. ප්‍රීතියෙන් රසවත් බවින් උද්දාම වන්න. අඩුවෙන් සිතන්න එපා. ඔබ තවමත් ඔබට යම් යම් බාහිර දේවල් කරන්නට හැකියැයි සිතේ උපදවා ගන්න. මනස ශක්තිමත් කරගැනීම අනිවාර්ය වේ. ආලය, ආදරය, ප්‍රේමය, ගුණවත්කම, නුවණ, කරුණාව මෛත්‍රිය කිසිදාක වයසට නොයයි. හැමදාම තරුණයි.

මේ උතුම් ගුණයන් මරණයට පත් නොකරන්න. විවිධ අධි පෝෂණීය ආහාර පාන, මත්පැන්, අධි පෝෂණ විටමින් දියර රසායන වර්ග, චූර්ණ හෝ වෙනත් කිසිවකින් අපිව තිරිහන් කරගන්නට සමත් වන්නේ නැති බව සිතන්න. මේ සියල්ලම කළ හැක්කේ තමන්ගේම සිතෙනි. සිත එතරම් ප්‍රබලය. “මම දැන් විශ්‍රාම ගිහිල්ලනෙ. දැන් කවුද අපිව බලාගන්නේ. දැන් තියෙන්නේ මැරෙන එක.” මේ විදිහට සිතා වැඩිහිටි නිවාසවල සිටින අයද අද වැඩිය.

රජයේ ඉහළ නිලධාරියෙක් සේවයෙන් විශ්‍රාම ගෙන මාස 07කින් අධික සිත් වේදනාවෙන් සිට මිය ගියේය. ඒ අතර විශ්‍රාම ගිය රජයේ සාමාන්‍ය සේවයේ යෙදී සිටි කාර්යාල කාර්ය සේවකයෙක් අදටත් සිය වැඩකටයුතු කරමින් (ගොවිතැන්) අනූ එක්වියට පා තබමින් කා සමඟත් සුහදව වැඩ කරන බව පෙනේ. අප එක දෙයක් සිතිය යුතුයි. වයසට යන්නේ ගත මිස සිත නොවේ. සිත කිසිවිටෙක විශ්‍රාම නොගනී. විශ්‍රාම ගැනීමට ද අකැමැතියි. සිත ගැන පත්තර පිටු ලක්ෂ ගණනක් වුවද ලිවිය හැකිය. කොතරම් ඔබ ගතින් වයසට ගියත් සිතින් වයසට යන්නේ නැත.

මේ මෑතකදී මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන් පුවත්පතකට අපූරු කතාවක් කියා කර ඇති බැව් දුටිමි. ඒ “මම තවමත් ප්‍රේම වන්තයකු බවය.“ මෙය කෙතරම් අව්‍යාජ සුන්දර කියමනක් ද?

ඔබගේ සිතට ජීවිතයේ නව අරුණලු එබෙන්නට ඉඩ හළ විට, සුන්දරත්වයෙන් හා ආදරයෙන් ඔබේ සිත පිරෙනවිට ඔබ නිසැක වශයෙන්ම තාරුණ්‍යයෙන් පිරිපුන් ගැහැනියක හෝ පිරිමියකු බවට පත්වේවි. කිසිම දිනෙක ඔබ සිතෙන් නාකි නොවේවා!

 

හෙන්රි බෙම්මුල්ල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?