“මොකද දරුවා අද මේ පැත්තේ. අම්මත් නැතිව?”
වෙනදා අම්මා එක්ක එන මම අද තනියම Doctor මුණගැහෙන්න ආව එක ඇත්තටම විශේෂ දෙයක්. මට doctor එක්ක තනියම කතා කරන්න, දැනගන්න දේවල් ටිකක් තිබුණා. ටික කාලයක ඉඳලා මට කාටවත් කියන්න තේරෙන්නෙ නැති මහන්සියක්, පාළුවක්, එපා වීමක් දැනෙමින් තිබුණා. මේ ගැන පෞද්ගලිකව කතා කරන්න ආවත් මට තවම මේ ගැන කියන්න තරම් තේරුමක් නැහැ.
“Doctor මට ටිකක් කතා කරන්න ඕනි කියලා හිතුණා. මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා.”
“ඔව් කතා කරමු පුතා. මේ වෙලාවේ මට වෙලාව තියෙනවා ඔයා වෙනුවෙන් වෙන් කරන්න “
“Doctor, අපි පොඩි කාලේ, තරුණ කාලේ, වැඩිහිටියෙක් විදිහට විවිධ මානසික ආතතීන්වලට මුහුණ දෙනවනේ. විශේෂයෙන්ම ගැහැනු දරුවන් වයස අනුව මුහුණ දෙන සාමාන්‍ය උන්මාද රෝග සහ ලක්ෂණ මොනවාද? “
මෙහෙමයි දරුවො, අපේ සිත වාසය කරන්නේ හෘදය තුළ. වර්ධනය වුණ විවිධ දෝෂ හෘදයට බලපෑම් කරලා මත් බවක් ඇති කරලා හට ගන්න මනෝ ව්‍යාධියට තමයි අපි ‘උන්මාදය’ කියන්නේ. මේක ආයුර්වේදයේ සඳහන් වෙන දෙයක්. මේ උන්මාදයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඒ තමයි වාතකෝපතාවය නිසා ඇතිවන උන්මාද තත්ත්වය, පිත කෝපය නිසා ඇතිවන උන්මාද තත්ත්වය, සෙම් කෝප වීම නිසා ඇතිවන උන්මාද තත්ත්වය,දෝෂ තුනම කෝපවීම නිසා ඇතිවන උන්මාද තත්ත්වය, ශෝකය නිසා ඇතිවන උන්මාද තත්ත්වය, ආගන්තුක හේතු නිසා ඇතිවන උන්මාද තත්ත්වය වශයෙන් එය වර්ග කළ හැකියි. ආයුර්වේදයේ සඳහන් වන වාතජ උන්මාදයේ රෝග ලක්ෂණ වර්තමානයේ කතා කරන භින්නෝන්මාදය හෙවත් schizophrenia කියන තත්ත්වයේ ලක්‍ෂණත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම පිත කෝපතාවය නිසා ඇතිවන උන්මාද රෝගයේ ලක්ෂණ Mania කියන රෝගයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්, සෙම කෝපතාවය නිසා ඇතිවන උන්මාද රෝගයෙ ලක්ෂණ depression තත්වයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවො, මේ උන්මාද රෝග ළමා කාලයේ දී වගේම මහලු වියේදීත් ඇතිවෙන්න පුළුවන්.
“කාට හරි ඔය කියන මානසික රෝගයක් නැත්නම් උන්මාද තත්ත්වයක් තියෙනවා කියලා හඳුනා ගන්න තියෙන ලක්ෂණ මොනවාද doctor?”
“මානසික ව්‍යාධියක සාමාන්‍ය ලක්ෂණ වෙන්නේ, බුද්ධියේ වෙනස්වීම, හිතේ චංචල ගතිය, ඇස්වල ව්‍යාකූලත්වය, සිතේ අස්ථිර බව, එකිනෙකට සම්බන්ධයක් නැති වචන කතා කිරීම, මනසේ හිස් බව, ආත්ම විශ්වාසය නැති වීම, අධ්‍යාපනයේ නිරත වන කෙනෙක් නම් අධ්‍යාපනය එපා වීම, රැකියාවක නිරත වෙන කෙනෙක් නම් රැකියාව එපා වීම මේ වගේ දේවල් තමයි “
“ඇත්තම කියනවනම් doctor මම මෙහෙම තත්ත්වයකට මේ වෙද්දි මුහුණ දීලා ඉන්නවා. කුමන හෝ උන්මාද තත්ත්වයකට පත් වෙන්න බලපාන අවදානම් සාධක මොනවද? “
“ ප්‍රධාන වශයෙන්ම, දරුවන්ගේ උන්මාද තත්ත්වය ඇතිවීමට බලපාන අවදානම් සාධක තමයි ළමා කාලයේදී මවුපියන්ගේ ආදරය අහිමිවීම, මවුපියන් විදෙස් රැකියාවල නිරත වීම, සහෝදර සහෝදරියන් අතර ඇතිවන ගැටුම්, තරගකාරී අධ්‍යාපනයේදී ඇතිවන පීඩනය නිසා, තරුණ වියේදී ඇතිවන ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම, ජංගම දුරකතනයට ඇබ්බැහි වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වගේ දේවල්. ඔයා තරුණ දරුවෙක්. අපි ඔයා ගැන වෙනම කතා කරමු දරුවො. “
“ ඔව් Doctor, ඒ ගැන වෙනම කතා කරන්න ඕන මට. මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද විශේෂයෙන්ම මම වගේ තරුණ කෙනෙක්ට හරි දරුවෙක්ට හරි මේ වගේ තත්ත්වයකින් ගැලවෙන්න අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම තියෙනවද? “
“අනිවාර්යයෙන්ම. පළමුව, මානසික උපදේශනය (counseling). ආයුර්වේදයට අනුව අභ්‍යන්තර හා බාහිර ප්‍රතිකාර වශයෙන් දෙයාකාරව ප්‍රතිකාර කරනවා. අභ්‍යන්තර ප්‍රතිකාර වශයෙන් කෂාය, ගුළි, කල්ක යනාදියත් බාහිර වශයෙන් නස්ය, ශිරෝ අභ්‍යාංග, ශිරෝ පිචු, ශිරෝ වස්ති, ශිරෝ ධාරා යනාදියත් යොදා ගන්නවා. ඒ වගේම මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට හොඳ ආහාර පුරුදු පවත්වා ගැනීමත් වැදගත්. යෝග ව්‍යායාම කිරීම,භාවනා කිරීම, නිතර හිසේ තෙල් ගැල්වීම, ස්වභාවික එළවළු පලතුරු ආහාරයට ගැනීම, ඒ අතරිනුත් ගොටුකොළ, ලුණුවිල වැනි දේවල් දරුවන්ගේ ආහාරයට එකතු කිරීම ඉතා ගුණදායක වෙනවා.
දැන් මේ අපි කතා කළේ උන්මාද රෝග සමස්ථයක් විදිහටනේ. ඒක පැත්තකින් තියලා දැන් අපි ඔයාගේ තත්ත්වය ගැන කතා කරමු. මානසික උපදේශනය හරහා ඔයාගේ මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න අපිට පුළුවන් වේවි. හොඳම දේ වෛද්‍යවරයා එක්ක ඇත්ත කතා කරන එක.”
“Thank you doctor !
ඇත්තටම මට වගේම මානසික ව්‍යාධි තත්ත්වයන් ඔයාට ඇති වෙලා තියෙන්නත් පුළුවන්. ජීවත් වෙන සමාජය, වටපිටාව, දරාගන්න බැරි වැඩ කන්දරාව එක්ක තෘප්තිමත් නොවී ජීවිතය තුළ ඒ වගේ මානසික ව්‍යාධීන්ට ලක් වීම සාමාන්‍යයි. එය වර්ධනය වීම හරහා ජීවිතයට පවා හානි සිදුවිය හැකි මට්ටමට පත් වීමට ඉඩ නොදී වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික උපදේශනයන් ලබා ගැනීම සිදු කළ යුතුයි. ඔබේ ළඟම මිතුරා, සමීපතමයා, දුව පුතා පිළිබඳ අවධානයෙන් ඉන්න. මතක තියාගන්න, මානසිකව බලපවත්වන තත්ත්වයන් ශරීරය පිටතින් පිළිබිඹු වෙන්නෙ නැහැ.
උපදෙස්
වෛද්‍ය නිමාලි නුවන්දිකා
BAMS (University of Colombo)