Monday, September 15, 2025
Epaper
Home නවකතාවඅම්මේ සර්ව මතකයි නේද?

අම්මේ සර්ව මතකයි නේද?

by Thanushika

මෙතෙක් කතාව

නිගූ නේත්‍ර ද සිල්වා වෙළෙඳ ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙක් සේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද වෙයි. තම සරසවි පෙම්වතිය වන කාංචනා විවාහ කරගෙන සාරා නම් කුඩා දියණිය ද ලබා සිටින ඔහුගේ දිවි ගමන අනපේක්ෂිත කුණාටුවකට මුහුණ දෙයි. කාංචනා වෙනත් සම්බන්ධයක පැටලී සිටින බව දැනගන්නා නිගූ තමා වෙත ළං වූ පැරණි සිසුවියක වන අසෙනි සමඟ පෙමින් බැඳෙයි. කාංචනා, නිගූව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ ඔහු අම්මාගේ ග්‍රහණය තුළ තවමත් සිර වී සිටීම බව කාංචනා හඟවයි. ඒ අතර තමාගේ සිත ආපසු නිගූ වෙත පැමිණෙන තුරු ඉවසා සිටින ලෙස කාංචනා පවසයි. එහෙත් නිගූ මේ දෙගිඩියාවේ ජීවත්වන්නට අකැමැති වෙයි. ඔහු අසෙනිගෙන් පතන්නේ යළිත් අම්මා කෙනකුගේ බඳු ආදරයකි. නිගූ තමා මුහුණ දී සිටින අවුල සමීප මිතුරකු වන සාලින්ද සමඟ පවසයි. කාංචනා දැන් නිගූව නොසලකා සිටින බැවින් එය තේරුම් ගෙන ආදරය කරන කෙනකුගේ ආදරය ලබමින් ජීවත් වන්නැයි සාලින්ද පවසයි. මේ අතර තම වේදනාකාරී විවාහ දිවියේ රිදවුම්වලින් මඟහැර සිටින්නට ඔහු මාලබේ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගනියි. සාරාගේ උපන් දිනය දා අම්මා සමඟ නිවෙසට පැමිණ උපන් දින සාදයේ මිතුරන් අතර සිටින නිගූට, කාංචනා විසින් සාරදා නම් යුවතියක් හඳුන්වා දෙයි. සාරදා නිගූගේ කලාත්මක ජීවිතය කෙරෙහි දැඩිව ආසක්තව සිටින යුවතියකි.

අද එතැන් සිට…

නි‍ෙවසට ළං වනවිට අසෙනි තාත්තාට කතා කරයි. ” තාත්තේ ගේට්ටුව අරිනවද?” අසෙනිගේ වචන තුළ අත්තේ කොතරම් මෘදු ළයාන්විත බවක් දැයි ඈ කතා කරන හැමවිටම නිගූට සිතෙයි. ඒ ළයාන්විත බව ව්‍යාජයක් නොවෙයි. ඒ ඇගේම විලාසයයි.

එය නිගූ ඈ කෙරෙහි ආසක්ත කරවන්නට බලපෑ ලොකුම හේතුවකි. මේ මොහොතේදී ඊට නිදිමත ගතියකුත්, සියුම් තැති ගැන්මකුත් මතු වී තිබෙයි. තැති ගැන්මක් ඇත්තේ නිගූ අම්මාටත්, තාත්තාටත් හඳුන්වා දෙන විදිහ ගැනයි. අසෙනි, අම්මාට නම් කිහිපවරක් නිගූ ගැන කියා තිබෙයි. අසෙනි ශ්‍රීපාලියෙහි සිටින කාලයේදී ඈ වැඩියෙන්ම අම්මා සමඟ කියා ඇත්තේ නිගූ ගැනයි. නිගූ දේශනවලදී කියන අමුතු අදහස් පවා අසෙනි අම්මා සමඟ පවසා තිබෙයි.

ඉදිරිපස ගරාදි වැටකින් වට වූ විසල් වැරැන්ඩාවක් සහිත පැරණි නි‍ෙවසකි. රථය මිදුලෙහි නතරවත්ම නි‍ෙවසෙහි විදුලි පහන් දැල්වෙයි. අසෙනිගේ අම්මාත්, තාත්තාත් වදනකුදු නොපවසන නමුත් අකමැත්තක් හෝ නොමනාපයක් පළ නොකරයි. අසෙනි රථයෙන් බසින්නට පෙර නිගූට මුදු ලෙස අමතයි. එය රහසින් මෙන් කරන ඇමතුමකි.

” චුට්ටක් බැහැල යන්න.. නැත්නම් හරි නෑ.. ඔයාව දන්නවත් එක්කනෙ”

අසෙනිගේ දයාබර ඉල්ලීම්වලට පිටුපාන්නට හෝ ඊට එරෙහිව වචනයක් හෝ කියන්නට නිගූ කැමති නැත. එහෙත් මේ මොහොතේ ඔහු තුළ ඇත්තේ මහත් දෙගිඩියාවකි. ඊට හේතුව තමා මුහුණ දී සිටින බැරෑරුම් තත්ත්වයයි. එය කාට වුවද වචනයකින් දෙකකින් පැහැදිලි කළ හැකි දෙයක් නොවෙයි. පවුල් ජීවිතයේ ප්‍රශ්න මතු වී නොයෙක් කලිකලහයන් අතර මැද සිටින ඕනෑම විවාහක ගැහැනියකට හෝ පිරිමියකුට තමන්ව සාධාරණීකරණය කර ගැනීම සඳහා තමා විසින්ම ප්‍රබන්ධ කරන ලද කතාවක් තිබෙයි. එහෙත් හැම තැනකම එය දිග හැරිය නොහැකියි.

නිගූට බියක් දැනෙයි. තමා අසෙනි ගැන නිශ්චිත තීරණයකට එළඹී සිටින්නේ ද යන්න ගැන ඔහු තමාගෙන්ම අසා ගනියි. අසෙනි ගැන තීරණයකට එළඹීමට පෙර කාංචනා ගැන තීරණයකට එළඹිය යුතුයි. ඒ තීරණය ගැනීමට අමාරුම තීරණයකි. ඒ තීරණය ගැන සිතන හැමවිටම ඔහුගේ මතකයට නැඟෙන්නේ සාරාගේ ඇස් දෙකයි. තමා කොයි මොහොතේ හෝ එනු ඇතැයි බලා සිටින ඇගේ දෑස මැවී පෙනෙන විට කොතරම් අපහසුවෙන් හෝ කාංචනාගෙන් වෙන් නොවී සිටිය යුතු යැයි ඔහුට සිතෙයි. ඕනෑම දෙයක් දරාගෙන ගෙදරම සිටිය යුතු යැයි තීරණයකට එළඹ හැමදාම හැන්දෑ වනවිට ගෙදර යන්නට පුරුදු වුවද ටික දවසකින් කාංචනාගේ හැසිරීම් තමාගේ තීරණය වෙනස් කරන තැනට පත් කරවයි.

අසීමිත ප්‍රේමයකින් තුඩින් තුඩ ගා සිටි යුවළකට එක වහලක් යට මෙසේ නාඳුනනා දෙදෙනකු ලෙස හෝ ජන්ම වෛරක්කාරයන් දෙදෙනකු සේ ගත කළ හැකිද ?

තමා සිටින මේ ගන්ධබ්බ අවධියෙන් මිදිය යුතු යැයි නිගූට සිතෙයි. එහෙත් එය පහසු කාර්යයක් නොවෙයි. තමා නිශ්චිත තීරණයකට නොඑළඹී අසෙනි සමඟ පවත්වන ඇසුරින් ඇයට සෙතක් වන්නේ නැති බව ඔහුට වැටහෙයි. එහෙත් අසෙනිගෙන් දුරස් වන්නට ලෝබ සිතෙයි. තමාගේ ඇටමිදුළු කරා දැනෙන ආදරයක් අසෙනි වෙතින් ලැබී තිබියදී එය අත්හැර දමන්නේ කෙලෙසද?

නිගූ අසෙනි පසුපසින් ගොස් වැරැන්ඩාවට පිවිසෙයි. අම්මාත්, තාත්තාත් මුහුණෙහි රඳවා ගත් මිත්‍රශීලි සුහද සිනාවක් පාමින් බලා සිටිති. කොහොමත් අසෙනිගේ අම්මාත්, තාත්තාත් වැඩිපුර කතා කරන අය නොවෙයි. ඔවුන් බලා සිටින්නේ අසෙනිගේ අනාගතය සුබදායී ලෙස විසඳෙන තුරුයි. ඒ අතර මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි ඔවුන් තුළ හදිසි විපිළිසර හැඟීමක් ද ඇති වී තිබෙයි. අම්මා නිගූ ගැන අසෙනිගෙන්ම අසා ඇතත් වැඩි විස්තරයක් නොදනියි. අසෙනි ගෙට ගොඩ වී වැරැන්ඩාවට විවර මහ උළුවස්සට හේත්තු වෙයි.

” අම්මේ සර්ව මතකයි නේද? නිගූ සර්.. මං ඉස්සර ඔයාට කියන්නෙ.”

අසෙනිගේ අම්මා ලජ්ජාශීලි සිනහවක් පා ගෙතුළට ඇදෙයි.

” මොකද අමතක… ඉන්න මං තේ ටිකක් හදන්නම් නේද?”

” අහ් ..දැන් තේ හදන්නෙපා අම්මා”

නිගූ එසේ පවසමින් පැමිණ වැරැන්ඩාවේ වූ හාන්සි පුටුවක වාඩි වෙයි.

” කමක් නෑ තේ ටිකක් බීලම යන්න..නැත්නම් දැන් තනියම යද්දි නිදිමත එයි”

අසෙනි හීල්ස් ගලවා ගේ තුළට ගොස් ආපසු පැමිණ උළුවස්සට හේත්තු වෙයි. තාත්තා වැරැන්ඩාවේ කෙළවර ඇති පුටුවක වාඩි වී පිටත අඳුර දෙස බලා සිටින්නේ කිසි හැලහොල්මනකින් තොරවයි. අම්මා තේ එක සාදා ගෙනැවිත් නිගූට පිරිනමයි.

කිසිවෙක් කතා නොකරන මිනිත්තු කිහිපයක් තුළ හාත්පස දැඩි නිහඬතාවක ගිලී යයි. වාහනයක හෝන් හඬක් පවා නෑසුණු ඒ මිනිත්තු කිහිපය සියලු දෙනා තම තමන්ගේ මනෝ ලෝකවල සැරිසරමින් හිඳිති.

නිගූ අම්මාටත් තාත්තාටත් සමු දී වාහනයට නැඟෙන මොහොතේ දී අසෙනි පසුපසින් විත් ඔහු වාහනය හරවා ගන්නා තුරු බලා සිටියි. ස්වල්ප මොහොතකට පෙර ඇති වූ නිහඬතාව තුළ ඔවුන් අතර වචනයෙන් කිව නොහැකි හැඟුමාවලියක් හුවමාරු වෙයි. නිගූ මාලබේ දෙසට පදවන අතර මහා පාළුවක් දැනෙයි. අසෙනි කතා කරනු ඇතැයි කිහිප විටක් ජංගමය දෙස නෙත් යොමයි. තමා අසෙනිගේ අම්මාත්, තාත්තාත් සමඟ වචනයක් හෝ හුවමාරු කර නොගැනීම වරදක් ලෙස ඔහුට දැනෙයි. තමා තුළ ඇති වරදකාරී හැඟීම විසින් ඒ මොහොතේ තමා ගොළු කරන්නට ඇතැයි ඔහුට සිතෙයි.

 

තවත් කොටසකින් හමුවෙමු

විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?