Monday, September 15, 2025
Epaper
Home විශේෂාංගබිනර රැයේ ඇල්ලෙන් කඩා හැලුණු රටටම ඉනූ කඳුළු වරුසා

බිනර රැයේ ඇල්ලෙන් කඩා හැලුණු රටටම ඉනූ කඳුළු වරුසා

by Thanushika

බිනර මහේ හතරවැනිදා හිමිදිරි පාන්දර තංගල්ලේ නගර සභා පරිශ්‍රයෙන් සාධුකාර දෙමින් සිහින මන්දාකිනි බස් රථයෙන් ඔවුන් ඇල්ල බලා පිටත් වූයේ විනෝදය, ආගමික භක්තිය කැටි වුණු චාරිකාවක පහස ලබන්නටය. තංගල්ල නගර සභාවේ සේවය කළ සේවක පිරිසත්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ, හිතවත්තු ඇතුළු තිස් හතර දෙනෙක් මේ ගමනට එක් වූයේ ප්‍රීති ගී ගයමින් නටමින් විනෝදයෙන් මත් වෙමිනි. සිතූ පැතූ පරිද්දෙන්ම ඔවුන්ගේ චාරිකාව සතුටින් විනෝදයෙන් නිම කළ ඔවුහු නැවත ගම්බිම් බලා පිටත් වුයේ එළැඹෙන දින තුනෙහි නිවාඩුවේ චාරිකාවට එක් නොවූ සිය හිතෛෂීන් සමඟ චාරිකාවේ අලගිය මුලගිය කතා බස් කරමින් විවේකීව ගත කරන අටියෙනි.

බණ්ඩාරවෙලින් පිටත් වූ සිහින මන්දාකිනි බස් රථය ඇල්ල ප්‍රදේශය පසු කළා පමණී. සෙල්ෆි ගසමින්, විහිළු තහළු කරමින් නටමින් ගයමින් තාලයට තට්ටු දමමින් චාරිකාව නිම කර බස් රථයේ ගම් බලා යන්නන්ගෙන් ඇතැමුන් අඩ නින්දේය. තවත් පිරිසක් ගනඳුර හාත්පසින් කඳුකරයේ සිරිය නරඹන්නේ තංගල්ල වෙරළබඩ දිවි ගෙවන තමන්ට කඳුකර සිරි සියැසින් දකින්නට ලැබෙන අවස්ථාව පසෙක නොදමා භුක්ති විඳිමිනි.

ඇල්ල පසු කර යන බස් රථය එක්වරම එහෙට මෙහෙට පැද්දෙමින් අකීකරු ගමනක යෙදෙන බව සැමට සැල වුණේ මේ අතරය. නින්දේ පසු වූ සියලු දෙනාම පාහේ කෑගසන්නට වූයේ කරන්නට කිසිත් නැති තැනය. අයාලේ යන බස් රථය ඇල්ලේ බෑවුමකට හැරවුණේ කිසිවකු නොසිතූ පරිද්දෙනි. ඒ හැරවුම තංගල්ලෙන් ගමන් ඇරඹි 15 දෙනෙකුගේ අවසන් ගමන සනිටුහන් කළේ රටම කම්පා කරවමිනි. තවත් 19 දෙනෙකු එහිදී තුවාල ලැබුවේ ඔවුන්ගේ සොඳුරු දිනයේ රාත්‍රිය මහා ගන අන්ධකාරයක ගිල්වමිනි.

“බස් එක වංගුවක් ගනිද්දී රියැදුරු කිවුවා බ්‍රේක් නෑ කියලා. අපි හිතුවේ විහිළුවට කියලා. දෙවැනි වංගුව ගනිද්දීත් ඔහු ඒකම කීවා. ඊට පස්සේ බස් එක කපන්න පටන් ගත්තා. ඉස්සරහින් ආපු වාහනයක වැදිලා තමයි අපි ප්‍රපාතයට ගියේ” යනුවෙන් බසයේ ගමන් කළ තුවාල ලැබූ අයෙක් අනතුර ගැන සඳහන් කළේ ඒ අයුරිනි.

සිද්ධිය වූ සැණින් අවට ප්‍රදේශවාසීන් එකා දෙදෙනා එතැනට ඇදෙන්නට වූහ. අනතුරුව පාරේ ගමන් කරන ලොරි රථ, සේවය නිම කර නිවෙස් බලා ගමන් කරන බොහෝ දෙනා මෙන්ම සිද්ධිය කන වැකුණු ඇල්ලෙහි මෙන්ම අවට ගම්වල ප්‍රදේශවාසීන් දහස් ගණනක් එම ස්ථානයට රොක් වූයේ කඹ, විදුලි පන්දම් ආදිය ගෙන විපතට පත් වූවන් මුදා ගැනීමේ අටියෙනි.

විපතට පත් වූවන් මුදා ගැනීමට පිරිස් සැරසුණත් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ලට ඉහළින් අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථයේ සේයාවක් හෝ ඔවුන්ට ගන අඳුරේ දැක ගත නොහැකි විය.

සහන කණ්ඩායම් අතුරින් පිරිස් මුදවා ගැනීමට මහත් වෙහෙසක් ගත්තවුන් අතර විශේෂ කාර්ය බළකාය, ගිනි නිවීමේ හමුදාව මෙන්ම සිවිල් වැසියන් රාශියක් ද ප්‍රධාන තැනක් ගත්හ. ප්‍රයිම් රාවණා ඇඩ්වෙන්චර් පාක් ආයතනයේ කණ්ඩායමක් මෙහිදී ස්වේච්ඡාවෙන් සේවය කළ අතර එහි සාමාජිකයෙක් වන දිලුම් දිසානායක සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.

“එදා මේ අනතුර වෙද්දී අපේ කණ්ඩායම තැන් තැන්වල හිටියේ. ඒත් මේ අනතුර වූ ස්ථානයට යාබදව අපේ කණ්ඩායමේ සාමාජිකයකුගේ නි‍ෙවසක් තිබුණා. ඉතින් අපේ සාමාජිකයා එවෙලේම සිද්ධිය වූ ස්ථානයට ගියා. අනතුරුව මේ පිළිබඳව ඔහු අපට දැනුම් දුන්නා. ඉතින් අපේ සාමාජිකයෝ සියලු දෙනාම අපේ ප්‍රධාන මූලස්ථානයට ගිහින් කඹ ආදී උපකරණ රැගෙන එම ස්ථානයට පැමිණියා.

මේ අනතුර වෙලා තිබුණේ එදා රාත්‍රී 9ට පමණ. අපි 9.40 වෙද්දී එතැනට එකතු වුණා. මුලින්ම අපේ සාමාජිකයන් දෙදෙනකු වන ජෙගන් සහ රංගන අනතුර වූ ස්ථානයට බැස්සා. එහිදී ඔවුන් මෙම ස්ථානයට බහින්නට අවශ්‍ය උපකරණ මොනවාදැයි අපට දැනුම් දුන්නා. අනතුරුව ආම්පන්න සහිතව අපේ සාමාජිකයෝ කඹ මතින් පහළට බැස්සා. වෛද්‍ය පාලිත රාජපක්ෂ සහ වෛද්‍ය කණ්ඩායම අපේ කණ්ඩායම සමඟ ආරක්ෂිතව පහළට ගෙන ගියා. අපි පහළට බැස්සේ බස් රථය ප්‍රපාතයට ගිය මාර්ගයේමයි. ඒ මාර්ගය ඉතා දුෂ්කර මාර්ගයක්. ඒ මාර්ගයේ ගහක් හෝ තිබුණේ නෑ. එහි තට්ටුවෙන් තට්ටුවට හෙළ සහිතව ප්‍රපාතය විහිදී තිබුණා. ඒ වන විටත් ප්‍රදේශවාසීන් පිරිසක් එම මාර්ගයේම කඹ යොදාගෙන පහළට ගමන් කරමින් සිටියා. ඔවුන් සමඟ හමුදාව, ගිනි නිවන හමුදා භට පිරිස් සිද්ධිය වූ ස්ථානයට ළඟා වී තිබුණා. අනතුරුව ප්‍රදේශවාසීන් තවත් මාර්ග 2ක් ඔස්සේ කඹ යොදා ගෙන පහළට බැස්සා. ඒ මාර්ගයන්හි ආධාරක සඳහා ගස් තිබුණා වගේම ප්‍රපාතය තරමක් අඩු ස්වභාවයක් ඉසිලුවා. ඒ නිසා අවසානයේ විපතට පත් වූවන් ඉහළට ගෙන එන්නට එම ගමන් මාර්ග දෙක හැමෝම යොදා ගත්තා.

මුලින්ම කඹ ආධාරයෙනුත් අනතුරුව අතින් අතටත් අපි තුවාලකරුවන් තිදෙනක් සහ මියගිය අයෙක්ව ඉහළට ගත්තා. මුලින්ම අපට විපතට පත් වූවන් ඉහළට ගෙන එන්නට ඇඳන් තිබුණේ නෑ. ඒ නිසා අතින් අතට යවමින් විපතට පත් වූවන් ප්‍රවේශමෙන් ඉහළට ගෙන ගියා. කෙසේ නමුත් අවසන් මියගිය පුද්ගලයාව ගන්නා කොට රාත්‍රී 2 පමණ වුණා. අපි වගේම හමුදාව, ගිනි නිවන හමුදාව, සුව සැරිය වගේම බදුල්ල රෝහලේ වෛද්‍යවරුත් ඒ අවට විශාල මෙහෙයක් සිදු කරන ආකාරය අප දුටුවා. ගිනි නිවන හමුදාව බස් එකේ තහඩු කපලා සිර වී සිටි පිරිස් මුදවා ගත්තා. ඒ ආදී ලෙස විශාල මෙහෙයුමක් එහි ක්‍රියාත්මක වුණා. මිනිසුන් දම්වැලක් වගේ මාර්ග 3ක් ඔස්සේ අනතුරට ලක් වූවන් ඉහළට ගෙන එන්නට එකමුතුව කටයුතු කළා.”

සිද්ධිය වූ සැණින් බස් රථය පෙරළී ගිය ප්‍රපාතයට කඹ ආධාරයෙන් ගමන් කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම කටයුතු කළ ආකාරය පැහැදිලි කළේ මෙසේය.

“වෙලාව 9ට විතර අපට මේ අනතුර පිළිබඳ පළමුවැනි ඇමතුම ලැබුණා. අපි ඒ මොහොතේම රෝහලේ වෛද්‍ය පිරිසක් රඳවා තබා මා ඇතුළු තවත් වෛද්‍ය කණ්ඩායමක් එම ස්ථානයට ගමන් කළා. අපි සිද්ධියේ බරපතළ ස්වභාවය දැක්කේ එතැනට පැමිණි පසුවයි. ඒ වන විටත් ප්‍රදේශවාසීන් සහ හමුදා පිරිස් පහළට බසිමින් සිටියා. එතැන සිටි පිරිස තරමක විරෝධයක් පළ කළත් මම මගේ බැක් පැක් එකත් කරේ දමාගෙන කඹ ආධාරයෙන් පහළට බැස්සා. අවස්ථා කිහිපයකදීම කඹ ලිස්සා ගිහින් වැටෙන්න ගිය අවස්ථා ද නොතිබුණා නොවෙයි. ඒ ගමන එතරම්ම අනතුරුදායකයි.

ඉතින් තුවාලකරුවන්ට සේලයින් ලබා දී බේත් යොදමින් ඔවුන්ට ප්‍රතිකාර කළා. ඒ වෙලාවේ ඒ ප්‍රදේශයේ තරුණ පිරිස් ඇතුළු ජනතාව, වීරෝදාර රණවිරුවෝ විශාල පරිශ්‍රමයකින් කටයුතු කළා.

එතැනදී එක කඹයක් කැඩුණා නම් 100-150ක් විතර පිරිසක් ප්‍රපාතයට ඇද වැටෙනවා. ඉතින් ඔවුන් විශාල අවදානමක් සහිතව එහිදී කටයුතු කළා.

 

පහළට බැස්ස මගේ කකුල් දෙකේ සෙරෙප්පු දෙකක් හෝ තිබුණේ නෑ. එහෙත් ඉහළට ගමන් කරද්දී සෙරෙප්පු නැතිව ගමන් කිරීම ඉතා දුෂ්කරයි. ඒ වෙලාවේ මට හමුදාවේ සහෝදර සෙබළෙක් ඔහුගේ බූට්ස් දෙක මට බලෙන්ම වගේ පැලඳුවේ මං එය ප්‍රතික්ෂේප කරද්දියි. අනතුරුව ඔහු මේස් දෙක පමණක් සහිතව ඒ ප්‍රපාතයෙන් ඉහළට ගමන් කර තිබුණා. ඇත්තටම මේ මිනිසුන්‌ගේ මනුෂ්‍යත්වය තවමත් වියැකිලා නෑ. ඒ මනුස්සකම එළියට ගන්න මිනිස්සු මේ සමාජයේ අඩුවක් පවතිනවා. එය මා මගේ ඇස් දෙකෙන්ම අත් දුටුවා. මම පාන්දර 4ට පමණ ඉහළට පැමිණියා. මෙම ප්‍රපාතයේ තරම හරියටම දැක ගත්තේ පහුවෙනිදා එළිය වැටුණාට පසුවයි. මහා ගන අන්ධකාරයක මේ වගේ ප්‍රපාතයකට ගියා වගේම ඉහළට ආවේ කෙසේ දැයි මට ඒ වෙලාවේ පුදුම හිතුණා.”

ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මෙම මාරාන්තික අනතුරින් පසුව බස් රථවලට එක් කෙරන අනතුරුදායක සැරසිලි කොටස් ඉවත් කිරීමට නීති බලාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දන්වා තිබුණි. ඒ අනුව විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන්, ඝෝෂාකාරී නළා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර් ආදිය සවි කර ධාවනය කරන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කර නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම අනතුර සිදු වූ අවස්ථාවේ එම බසයේ සවි කර තිබූ අමතර සුදු යකඩ කොටස්වල කැබලි විසිරි තිබූ ආකාරය ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මෙසේ කරුණු පැහැදිලි කළේය.

“බස්වල තොරොම්බල් සුදු යකඩ කැබලි අනතුර වූ ප්‍රදේශයේ විසිරි පැතිරී තිබුණා. අපි ඒ ගැන ඒ ස්ථානයේදීම කතා වුණා. අපේ කකුල්වල පවා ඒ කැබලි ඇණුනු ආකාරය මට මතකයි. ඉතින් බස් රථයේ අනතුරට ලක් වූවන්ගේ සිරුරුවල ඒ යකඩ කැබලි ඇනෙන්නට ඇතැයි සිතිය හැකියි. තුවාලකරුවන්ගේ තුවාල ඒවා ඇනී සිදු වූ ඒවා යැයි නිශ්චය කළ නොහැකි වුවත් ඇත්තටම අනතුරුදායක සැරසිලි ඉවත් කිරීම අනතුරු අවම කර ගැනීමට හේතු වන බව සඳහන් කළ යුතුයි.”

බස් රථවලට සවි කරන අනතුරුදායක කොටස් ඉවත් කිරීම පිළිබඳ කතිකාව විටින් විට මතු වුවත් බස් රථ හිමියන්, බස් පිස්සන් යැයි කියා ගන්නා උන්මත්තක පිරිස් ඇතුළු සමාජයේ විවිධ පාර්ශ්වයන්‌ගේ විරෝධය නිසා එම නීති ක්‍රියාත්මක කිරීම පැවැතියේ මන්දගාමී ස්වභාවයකය. එහෙත් මෙම සවි කිරීම් නිසා සිදු වන ජීවිත හානි ඇතුළු අනතුරු වළක්වා ගැනීමට සමාජයක් ලෙස කටයුතු කිරීම ඉතා වටිනා බව සිතිය යුතුය. තොරොම්බල් ඉවත් කිරීම මෙන්ම නිසියාකාරයෙන් මාර්ග නඩත්තුව, කඳුකර මාර්ගයන්හි අනතුරුදායක ස්ථාන හඳුනා ගෙන විදෙස් රටවල මෙන් එම ස්ථානයන්හි මඟ දෙපස බම්පර් වැනි ආරක්ෂක ඉදි කිරීම් සිදු කිරීමට ද අවධානය යොමු කළ යුතුය. මෙවන් අනතුරු වළක්වා ගැනීම පිළිබඳ රියැදුරන් සහ රියැදුරු සහායකයන් දැනුම්වත් කිරීම, රියැදුරන්ගේ මෙන්ම මගීන්ගේ විනය ද ගොඩනැඟීම, ඒ වෙනුවෙන් නීති සකස් කිරීමට ද බලධාරීන් පියවර ගත යුතුය.

අනතුරක් සිදු වූ පසුව රියැදුරන්ට සහ බස් රථවලට බැණ වදිනවාට වඩා එම අනතුරු වළක්වා ගත හැකි පරිසරයක් ගොඩ නැඟීම සමස්ත සමාජයේ මෙන්ම පාලකයන්ගේ ද වගකීම බැවින් ඊට සමාජයෙන්ම නැඟෙන පුහු විරෝධතා නොතකා නිවැරදි ක්‍රියාමාර්ග ගෙන මගී ජීවිත ආරක්ෂා කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව පෙන්වා දිය යුතුය.

 

පසිඳු මිහිරාන් රැටියල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?