Monday, September 15, 2025
Epaper
Home විශේෂාංග මළගිය ඥාතීන්ගෙන් සිදුවන කරදර

 මළගිය ඥාතීන්ගෙන් සිදුවන කරදර

by Thanushika

‘ප්‍රේත’ යනුවෙන් හඳුන්වන්නේ වන්නේ මළගිය ඇත්තන් සඳහා පොදුවේ භාවිත වන පදයකි. මිනිසුන් ලෙස ජීවත්ව සිට මියගිය අය හැඳින්වීමට මෙම පදය පොදුවේ යොදා ගැනේ.

මළගිය ඇත්තන්ගෙන් හෙවත් මළගිය ඥාතීන්ගෙන් මිනිස්සුන්ට යම් යම් කරදර බාධක සිදුවන්නේද ? එසේ සිදුවන්නේ නම් ඒවායින් ආරක්ෂාවීමට කළ යුත්තේ කුමක්ද ? යනු අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන ප්‍රස්තුතයයි. අප ගෞතම ලොව්තුරා බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ප්‍රථමයෙන්ම වැඩම කළ රාජ්‍යය වන්නේ මගධ රාජ්‍යයයි. එහි අගනුවර වූයේ රජගහනුවරයි.

පෙර තුන්බෑ ජටිලයින් වූ මහරහතන් වහන්සේලා දහසක් පිරිවරාගෙන රජගහ නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කළ විට බිම්බිසාර රජතුමා රජමාලිගයේ දී සැදැහැයෙන් දන් පූජා කළේය. ඒ ශ්‍රී සද්ධර්මය අසා මගඵල ලැබීමෙන් අනතුරුවය. දන් දී රජ මැදුරේ නිදන්නට සූදානම් වුවත් රාත්‍රිය පුරා බිහිසුණු ශබ්ද සහ බිහිසුණු අමනුෂ්‍ය රූප වරින්වර එතුමාට පෙනෙන්නට විය. එබැවින් රාත්‍රිය සුවසේ නිදි ලබන්නට නොහැකි වුණි. මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ අතර භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ කල්ප ගණනාවක සිට පින් බලාපොරොත්තුව පැමිණි ඥාති ප්‍රේතයෙන් පිරිසක් සිටින බවත්, පෙරදා දානයේ දී ඔවුනට පින් අනුමෝදන් නොකළ නිසා මෙම කරදරය ඔවුන් විසින් සිදුකළ බවත්ය. එම ඥාති ප්‍රේත පිරිස මහා කල්ප අනූ දෙකකට පෙර ඵුස්ස බුදුපියාණන් වහන්සේගේ යුගයේ මිනිසුන්ව සිටි පිරිසකුයි.

ඵුස්ස බුදුපියාණන් වහන්සේගේ පිය මහ රජතුමා අන් කිසිවෙකුට ඉඩ නොදී තනිවම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්ථාන කරන බැවින්, බුදු පියාණන් වහන්සේගේ සුළු මවගේ පුතුන් තිදෙනා බුද්ධ උපස්ථානය සඳහා ක්‍රමයක් සෙවූහ. පසල් දනව්වක ඇති වූ කැරැල්ලක් සංසිඳුවා ඊට වරයක් ලෙස ඔවුහූ තුන් මාසයක් බුද්ධ උපස්ථානය සඳහා අවස්ථාව ලැබූහ. එම රාජ කුමාරවරුන් තිදෙනා ජනපද ප්‍රධානියකු සම්බන්ධ කරගෙන භාණ්ඩාගාරිකවරයෙකු ද පත් කොට ගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් දහසක් පිරිස සමග එකතු එකතු වී මහදන් පවත්වන්නට වූහ.

ඒ අතර කිහිප දෙනෙක් එම දාන වස්තුව තම තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගනිමින් සොරා කන්නට විය. මේ සියලු දෙනාම කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ. සැදැහැයෙන් දන් දුන් පිරිස දෙව්ලොවින් දෙව්ලොවට උප්පත්ති වශයෙන් සැරිසරන්නට විය. ජනපද ප්‍රධානියා ගෞතම බුදුපියාණන් වහන්සේගේ යුගයේදී බිම්බිසාර මහ රජතුමා බවට පත්විය. භාණ්ඩාගාරිකතුමා සහ එතුමාගේ සැදැහැති බිරිඳ අනාගාමී විශාක සිටුතුමා සහ ධම්මදින්නා රහත් තෙරණිය බවට පත්වූහ. තුන්බෑ ජටිලයන් ලෙස ඉපිදී රහතන් වහන්සේලා බවට පත් වූයේ එදා රාජ කුමාරවරුව සිටි තිදෙනායි. දානයට උපකාර කළ දහසක් පිරිස මෙකල ජටිල පිරිස බවට පත්ව රහත්භාවයට පත් වූහ. ඒ අතර ඵුස්ස බුදුපියාණන් වහන්සේටත් මහා සංඝයාටත් වෙන්කළ දාන වස්තුව සොරකම් කොට භුක්ති විඳි ඥාති පිරිස නිරයේ ඉපිද බොහෝ කාලයක් දුක් විඳ නැවත ප්‍රේත ලෝකයේ උපත ලැබූහ.

සාංඝික දේ සොරා කෑ මහ පවින් මහා කල්ප අනූ දෙකක් පුරා බුද්ධාන්තර හතක් මුළුල්ලේ සා පිපාසාදී අනන්ත දුකට පත්වූහ.

මේ මහා භද්‍ර කල්පයේ පළමුව පහළ වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුවරුන් වහන්සේලාගෙන් තමන්ට ප්‍රේත ලෝකයෙන් මිදෙන්නට පින් ලැබෙන්නේ කවදාදැයි මොවුහු අසා සිටියහ. එහිදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයේ බිම්බිසාර නම් රජතුමා විසින් නුඹලාට පින් අනුමෝදන් කරවන බව බුදුවරුන් වහන්සේලා දේශනා කළහ.

ඔවුහු පින් බලාපොරොත්තුවෙන් බලා සිටියහ. වේළුවනාරාම පූජාව සිදුකොට රජ මාලිගයේ පැවැත් වූ මහා දානයේදී රජතුමාට පින් අනුමෝදන් කිරීමක් පිළිබඳව සිහි නොවිණි. එසේ අතපසු වූයේ බුදුරජාණන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේලාට වැඩ සිටිය යුතු ආවාස පහසුකම් පිළිබඳව කල්පනා කරමින් සිටි නිසාවෙනි. කල්ප ගණනාවක් බලා සිට පින් නොලැබුණෙන් එම අමනුෂ්‍යයෝ බිම්බිසාර රජතුමාව බියපත් කරන්නට බැගෑපත් හඬින් කෑ ගැසූහ.

ගෞතම ලොව්තුරා බුදුපියාණන් වහන්සේගෙන් මෙම තොරතුරු දැනගත් බිම්බිසාර රජතුමා දෙවන දිනයේ මහා දානයක් පවත්වා සසර සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කළේය. එම පින් අනුමෝදන් වූ ඥාතීන් දිව්‍යමය වස්ත්‍රාභරණ ආහාර පාන ලබමින් සුවපත්වූහ.

ඥාති ප්‍රේතයින්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් සිදුවන විපත්වලින් බේරීම සඳහා බුදු දහමෙහි ඉගැන්වෙන ප්‍රධානම පිළිවෙතක් වන්නේ ඔවුනට අවශ්‍ය වන පින් සිදුකොට එම පින් අනුමෝදන් කිරීමයි. පින් අනුමෝදන් වූ ඥාතීන් තමන්ගේ දරුවෙකු රකිනා සෙයින් පින්දුන් තැනැත්තා ආරක්ෂා කරන බව බුදු දහමේ විස්තර කෙරේ. සමහරෙක් මළගිය ඇත්තන්ට නිවසේ පින්දීම පිළිබඳව විවිධ මිථ්‍යා මත පතුරවති. එය නුසුදුසු යැයි පවසති. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ නිරන්තරයෙන් තමන් සිදුකරන පින් දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරන ලෙසය.

පින් අනුමෝදන් කරන විට බලවත් කිරණ ශක්තිය යුත් දෙවිවරු ඒ පින් අනුමෝදන් වන්නට පැමිණෙති. එවිට අඳුරු සෘණාත්මක බලවේගයන්ට ඒ අවට රැඳී සිටීමට නොහැකි වෙති. පින් ගත් දෙවියෝ ද විවිධ අමනුෂ්‍යයන් කෙරෙන් සහ විපත්තීන් කෙරෙන් පින් දුන් තැනැත්තන් ආරක්ෂා කරති.

මීට අමතරව ඥාති ප්‍රේතයන්ගෙන් සහ අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා වී සිටීමට සතර වරම් දෙවි රජවරුන් විසින් බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් සත් බුදු පිරිත ලබාදුන්හ.

එය ඇතුළත් වන්නේ ආටානාටිය සූත්‍රය තුළය. එය භාවිත කිරීමෙන් ද අමනුෂ්‍ය උවදුරුවලින් ගැලවී සිටිය හැකිය. ඊට අමතරව රෝග අමනුෂ්‍ය දුර්භික්‍ෂ යන තුන්බිය විශාලා මහනුවරට උදාවූ මොහොතේ දී දේශනා කළ රතන සූත්‍රය ද මේ සඳහා යොදාගත හැකිය. රතන සූත්‍රය තුළ ඇත්තේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධරත්නයේ අනන්ත ගුණ පිළිබඳව සත්‍යය ක්‍රියාවකි. ඒ සත්‍යය ක්‍රියාවේ බලයෙන් යහපත සැලසේවා යැයි සිදුකරන ප්‍රාර්ථනාවකි. ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණයන්ගේ බලයෙන් එවිට පුද්ගලයා රැකවරණයට පත්වේ.

මෙලෙස අමනුෂ්‍ය උවදුරු, ඥාති ප්‍රේත උවදුරු ආදියෙන් මිදී වාසය කිරීමට විවිධ උපක්‍රම බුදු දහම තුළ දක්වා තිබේ. ඒවා උපයෝගි කොට නොගෙන මිත්‍යා මතවාද පසුපස යෑමෙන් තමනුත් තමන්ගේ පවුලත්, ධනයත් විපතට පමුණුවා ගැනීමට බොහෝ දෙනා කටයුතු කරති. එසේ මුලා නොවී බොදු පිළිවෙතින්ම තිසරණයෙහි පිහිටා පිළිසරණ ලබත්වා.

තෙරුවන් සරණයි

 

පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි

(ආණමඩුව, කොට්ටුකච්චිය සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති, ත්‍රිපිටකාචාර්ය ,

ත්‍රිපිටක විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය,

සද්ධර්ම කීර්ති ශ්‍රී කර්ම වාගාචාර්ය,

රාජකීය පණ්ඩිත)

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?