Monday, September 15, 2025
Epaper

BOOK STORY

by Thanushika

සාහිත්‍ය මාසය වෙනුවෙනි

ප්‍රතිභාපූර්ණ සාහිත්‍ය නිර්මාණකරුවාට සිය සාහිත්‍ය නිර්මාණයෙහිලා නිරතුරුව පාදක වන්නේ මනුෂ්‍ය ජීවිතය හා මනුෂ්‍ය සමාජයයි. අසංවිධිත බවකින් යුක්‌ත වූ එම සැබෑ ජීවිතය මෙන්ම සමාජය ද සංවිධිත ස්‌වරයකින් යුතුව සහෘද රසික සද් ජනයා හමුවේ තැබීමෙහිලා සැබැවින්ම නිර්ව්‍යාජ සාහිත්‍යධරයාගෙන් සිදුවන මහා මෙහෙවර සුළුපටු වූවක්‌ නොවේ.
කවරෙකුට වුවද පියවි ඇසට නොපෙනෙන ජීවන ධර්මතා රාශියක්‌ පතළ කොට පෙන්වීම සැබෑ සාහිත්‍යධරයකුගේ සාහිත්‍යමය සද්කාර්යය භාරයෙහි අග්‍රථම ප්‍රතිඵලයයි. මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් පාඨක හද සැනසීමට නිර්මාණය වුණු තවත් කෘති කිහිපයකි මේ.

වනිතා රත්නායකගෙන් කෘති ද්විත්වයක්

වයඹ පළාතෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨතම ලේඛිකාවක් වන වනිතා රත්නායක
“සමුගන්නේ නෑ, කුටුම්භ චක්‍ර, ස්වයං වාරණ, සොඳුරුය මිතුදම් ආදී කෘති රාශියක කතුවරියයි.

බැංකු නිලධාරීනියක් විදිහට ඉලක්කම් එක්ක කාලය ගතකරන කෙනෙක් කොහොමද ලේඛන කලාවට නැඹුරු වෙන්නෙ?

ඇත්තටම මට ලේඛන කලාව වෙනුවෙන් පරම්පරා උරුමයකුත් ති‍ෙයනවා. මම ළමා කාලයේ සිටම කවි කියවන්න හා ලියන්න ආශා කළා. මම මගේ විවේක කාලය ගත කළේ පොත් පත් කියවීමෙන්. විශ්‍රාම ගැනීමෙන් පසු මට ලේඛන කටයුතුවලට නිදහස ලැබුණ. ඒ සඳහා මගෙ ආදරණීය සැමියාගෙන් ලෙකු ධෛර්යයක් ලැබුණු බව සඳහන් කරන්නම ඕනි.

ඔබ ළමා හා යොවුන් සාහිත්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න සිතුවේ ඇයි?
මගෙ ළමා කාලය සුන්දර වුණේ හීන් සැරය, මඟුල් කෑම, වාගෙම නාරයන්ගෙ මල්ගුඩි දවස් වැනි පොත් කියවීමෙන්. ඉතිං මම හිතුවා අපේ සමාජය හා සංස්කෘතික පරිසරය ළමුන්ට අපූර්වත්වයකින් යුතුව හඳුන්වා දෙන්න උත්සාහ කරන්න. ඉතිං අප ගත කරන මේ ජීවිතයේ චමත්කාරය විඳින්න හැකි පරිදි ළමාවියේ හා යොවුන් වියේ දරුවන්ගෙ නොකිළිටි සිත් සතන් ඔප්නංවන්න තමයි මම වෙහෙසුනේ.

මේ සාහිත්‍ය මාසයේ ඔබේ නිර්මාණ දෙකක් එළිදක්වනවා. ඒ පිළිබඳව යමක් කිවුවොත්.

“කිරි කඳුළට නාඩන්නේ” නම් නවකතාව මගෙ මිතුරිය මුහුණ දුන් අත්දැකීමක් නිසා ඇතිවූ සහකම්පනයෙන් යුතුව ලියන ලද්දක්. කොහොමත් අපිට සමාජයේ දකින්න ලැබෙන සිද්ධිවලින් ඇතිවන කම්පනයෙන් මිදෙන්න ඒක විෂය කරගෙන නිර්මාණයක් කිරීම හොඳ ක්‍රමයක්. මේත් සමඟම “කඳු යායට තරු රෑනක්” නමින් යොවුන් නවකතාවකුත් එළිදැක්වෙනවා. මේ දෙකම සරසවි ප්‍රකාශන විදිහට තමයි ඔබ අතට පත්වෙන්නේ.

 

ජයන්ත කහටපිටිය

——————–

‘තෝකියෝවේ පුංචි වීරයා’ ‘සචියේ සන්’එළිදැක්වේ

ශ්‍රී ලංකාවේ උපත ලබා ජපානය හා ඒ හා බැඳි අත්දැකීම් වස්තු විෂය කරගනිමින් පොත් රචනා කිරීම එතරම් ලේසි පහසු කාර්යයක් නොවේ. ළමා කතා කෙටි කතා, යොවුන් නවකතා සහ නවකතා පොත් සියයකට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති අතර ඒවායින් සියයට හැත්තෑ පහක් පමණම ජපානය හා බැඳි ඒවාය. ඇය නමින් කාන්ති ගුණතිලක.

“බහ තෝරන වියේ පටන්ම මම පොත්පත්වලට හරිම සමීපයි. මම නිතරම පොත්පත් කියවන්න පුරුදු වෙලා හිටියේ. ඒ තුළින් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. පාසල් කාලෙ ඉඳලම පොතක් ලියන්න ගොඩක් ආසාවෙන් හිටියේ. පාසලේ පාඩම් වැඩවලටත් වඩා මම පොත්පත් කියවන්න සහ ලියන්න ගොඩක් කැමැත්තක් දැක්වුවා. මගේ පළවෙනි පොත නිකුත් වෙන්නේ 2001 වර්ෂයේ දී. ඒ තමයි ‘මුතු කඳුළු’ නම් නවකතාව එය එළිදැක්වූයේ ජපානයේදී. ඒක මට නැවුම් සහ වෙනස්ම අත්දැකීමක් වුණා. මම තමයි ඒ වෙනකොට ජපානයේදී පොතක් එළිදැක්වූ පළමු ශ්‍රී ලාංකිකයා. එම අවස්ථාවට ජපන් ශ්‍රී ලාංකික බොහෝ පිරිසක් සහභාගි වුණා. ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තෑගිබෝග පවා දී මා හට ඔවුනගේ සතුට ප්‍රකාශ කර සිටියා. එය මගේ නිර්මාණ ජීවිතයට විශාල පන්නරයක් වුණා.
“සාහිත්‍ය ක්ෂේත්‍රයේ එක් අංශයකට පමණක් ලඝු නොවී නවකතා, ළමා කතා කෙටි කතා, චරිතාපදාන ආදී ග්‍රන්ථ රාශියක් ඇය රචනා කර තිබේ. ෆුජි මල්, පුදුම හිතෙන ඉස්කෝලය, යුකී සහ අකී, වත්මන් යුගයේ ජපන් කෙටි කතා ඒවා අතරින් කිහිපයකි. ඒ සඳහා තමාට ලැබුණු සම්මාන සහ ඇගයීම් පිළිබඳව ඇය පැවසුවේ ඉතාමත් සතුටිනි. “මම රචනා කරපු පොත් සඳහා රාජ්‍ය සම්මාන ලැබිලා තියෙනවා. 2012 වසරේ කලා ප්‍රසාදනි සම්මානය, 2022 වසරේ කලා භූෂණ සම්මානය, 2023 වසරේ විශ්වාභිනන්දන සම්මානය සහ ශ්‍රී ලංකා ජපන් ලේඛකාභිමානී සම්මානය සහ 2024 වසරේ කලා විභූෂිත සම්මානය ලැබුණා.”

ජපානය හා බැඳි ග්‍රන්ථ වැඩි වශයෙන් රචනා කිරීම තුළින් පෙනෙන්නේ ඇය සිය මවුබිමට සේම ජපානයට ද බෙහෙවින් ආදරය දක්වන බවයි. ජපානයේ සොබාදහම හා මිනිසුන් සමඟ ඉතාමත් සමීපව සහ ළෙන්ගතුව කටයුතු කිරීම නිසා ඒවායින් ඇයට බොහෝ අත්දැකීම් ලැබුණු බවත් ඒ හරහා මෙලෙස ග්‍රන්ථකරණයේ නියැළුණු බවත් ඇය සතුටින් පැවසුවාය.
මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් ඇය අලුත් පොත් දෙකක් එළිදැක්වීමට නියමිතයි. ඒ තමයි ‘තෝකියෝවේ පුංචි වීරයා’ නම් ළමා නවකතාව සහ ‘සචියේ සන්’ නම් නවකතාව.

බුද්ධිකා සංජීවනී

—————–

ඡායාරූප මාධ්‍යවේදී සුමනචන්ද්‍රගෙන් “ආවර්ජනා”

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුමනචන්ද්‍ර ආරියවංශ මහතාගේ නවතම කාව්‍ය සංග්‍රහය වන “ආවර්ජනා” කවියට හිතැති අය වෙනුවෙන්ම නිර්මාණය වූවකි. ලේක්හවුස් ආයතනයේ ඡායාරූප මාධ්‍යවේදියකු සහ විශේෂාංග ලේඛකයෙකු ලෙස දශක තුනකට වැඩි කාලයක් සේවය කළ ඔහු පුවත්පත්වලට කවි, විශේෂාංග රචනා කරමින් බහුවිධ දක්ෂතා පෙන්වූ නිර්මාණකරුවෙකි.

ඔහු ලබාගත් නිර්මාණශීලි ඡායාරූප මෙන්ම ඔහුගේ අතින් නිර්මාණය වූ කවි, නිසඳැස්, විශේෂාංග රැසක් පුවත්පත්වල පළවිය. පසුගිය කාලයේදී පුවත්පත්වල පළ වූ සහ ඔහු විසින් අලුතින් නිර්මාණය කළ කවි ඇතුළත් කර “ආවර්ජනා” කාව්‍ය සංග්‍රහය ඔබ අතට පත් වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය ඉගෙන ගැනීමෙන් අනතුරුව, කවදාවත් පිය තබන්නට හැකි වේ යැයි නොසිතූ ලේක්හවුස් ආයතනයට පිවිසීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය.

“ආවර්ජනා” ගැන ආවර්ජනය කළොත්?

මම කවි ලියන්න පටන් ගත්තේ පාසල් කාලේ ඉඳලයි. මගේ ගම කුරුණෑගල. මා පාසල ඇරී ගෙදර ආවේ අතුරු පාරකින්. මේ අතුරු පාර කෙළවර අපේ ගේ ළඟින්ම ගලා යන ඇළක් තිබුණා. මේ සොබාදහමත් එක්කයි මගේ කවි සිතිවිලි ඇති වීම පටන් ගත්තේ. උසස් පෙළට ජීව විද්‍යාව තෝරා ගත්තත් භෞතික විද්‍යාව මට තරමක් වෙහෙසකර වුණා. ඒ වෙහෙස නිවා ගන්න මම කවි ලියන්න පටන් ගත්තා.
ඒ නිසා මගේ පාසල් සමයේදි සාහිත්‍ය තුළින් නිතරම මා ඇගයීමට පාත්‍ර වුණා. පුවත්පතකට ලියූ පළමු කවි පන්තිය යොවුන් ජනතා පුවත්පතේ පළවීම මගේ ජීවිතයේ සිතුටින් පිරුණු දවසක් වුණා.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය හදාරා, කවදාවත් පා තබන්නට හැකි වේ යැයි නොසිතූ ලේක්හවුස් ආයතනයට පිවිසෙන්නට හැකි වුණා. එවකට පුවත්පත් 21ක් පළ කළ ලේක්හවුස් ආයතනයේ තිනකරන් පුවත්පතේ සිට තරුණී පුවත්පත දක්වා සේවය කළ මාධ්‍යවේදීන්, කර්තෘවරුන් හඳුනා ගන්න හැකි වුණා. ඒ අවස්ථාවෙන් අපූරු කතාවලින්, විශේෂාංග ලිපිවලින්, ඡායාරූප විශේෂාංගවලින් ලොකු අකුරින් නිතර මාගේ නම පළවීම සිතට ප්‍රබෝධයක් ගෙන දුන්නා.
සාහිත්‍ය මාසය නිමිත්තෙන් එළිදක්වන “ආවර්ජනා” කාව්‍ය සංග්‍රහය සිළුමිණ, තරුණී, නවයුගය, යොවුන් ජනතා, ජනතා පුවත්පත්වල පළමු කවි එකතුවයි. ඊට අමතරව නව නිර්මාණත් මා එයට එකතු කළා.

 

විදුමිණි දිසාකරුණා

විදුමිණි දිසාකරුණා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?