ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් කියන්නේ ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ජනාදරයට ප්‍රසිද්ධියට පත් ක්‍රිකට් තරුවක්. අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටියත් ඩිල්ෂාන් ගැන නොමැකෙන ක්‍රිකට් මතක සටහන් රැසක් ක්‍රීඩා ලෝලී හදවත්හි තැන්පත්ව තිබේ. එවන් ලොවක් වටින පුතෙක් ලොවට ජනිත කළ මව ගැන මෙන්ම වසර 19ක් තිස්සේ ඩිල්ෂාන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වුණු ඔහුගේ බිරිඳ ගැන ඩිල්ෂාන් අප හමුවේ අදහස් පළ කළේ මේ ආකාරයෙනි. මවගේ සහ බිරිඳගේ මතක රැසක් සිහිපත් කරමින් මෙවර තරුණි “අම්මාවරුනේ” පිටුව ටී.එම්. ඩිල්ෂාන් හැඩ කළ ආකාරයයි මේ.
මගේ අම්මා නන්දනී ප්‍රියලතා. අපේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක්. මම පවුලේ වැඩිමල් දරුවා. මං ඉපදෙන දිනවල අපේ ගෙවල් ගංවතුරෙන් යට වෙලා තිබුණු හැටි සහ ඒ ගංවතුර මැද ඇය මා මෙලොවට බිහි කිරීමට රෝහලට ගිය දුෂ්කර ගමන ගැන මට කියා තිබෙනවා. ගංවතුර නිසා කිසිදු වාහනයක් ගමන් කිරීමට නොහැකි වූ මාර්ගයේ ඇය කිලෝමීටර් 3-4ක් පයින් රෝහලට ඇවිද ගිය මතකය ඇය අදටත් සිහිපත් කරන්නේ ඉතාම සතුටින් සහ ආඩම්බරයෙන්.
හැමෝම ළඟ ළඟ වසරවල ඉපදුණු නිසා අම්මාට අපේ වැඩ කටයුතු පහසු වුණේ නැතැයි විශ්වාස කරනවා. තාත්තා පොලීසියේ සේවය කළ නිසා දරුවන්ගේ වගකීම් සියල්ල දැරුවේ අම්මා විසින්. අපිට ඉගැන්වීමේදී උස් මහත් කිරීමේදී අම්මා, තාත්තා නොකා නොබී කටයුතු කළ අවස්ථා අනන්තයි අප්‍රමාණයි. ආර්ථික ප්‍රශ්න බොහෝමයක් මැද අම්මාගේ ශක්තිය, කැපවීම, අධිෂ්ඨානය නිසාවෙන්ම අපේ ජීවිතය මේ තරම් දුරට සාර්ථක වුණා. තාත්තාගේ වැටුප කළමනාකරණය කරමින් ඔවුන් කුසගින්නේ හිටියත් අපේ කුස පුරවමින් ඇය අපි වෙනුවෙන්ම ජීවිතය කැප කළා. ඉතින් අදටත් එදා වගේම අම්මා අපි ගැන සොයා බලනවා.
අම්මාගේ එකම අරමුණ වූයේ අපට හොඳින් උගන්වන්නයි. මම පාසල් ක්‍රිකට් තරගවල ක්‍රීඩා කරද්දී අම්මා කෑම එක අරගෙන ග්‍රවුන්ඩ් එකට ආපු හැටි අද වගේ මතකයි. ඒ වගේම මගේ ක්‍රිකට් පුහුණුවීම් නිමා වන තුරු අම්මා පාසල් ක්‍රීඩාංගණයේ සවස් වන තුරු රැඳී ඉන්නවා. අපේ ගෙදර සිට කිලෝමීටර් 4-5ක් දුරක් පයින් ඇවිත් එහිදීත් අම්මා විශාල කැප කිරීමක් කළා. අම්මාගේ ලොකුම අරමුණ වූ හොඳ අධ්‍යාපනයක් ලබා දීමෙන් පරිබාහිරව ක්‍රිකට් ක්‍රීඩාවට මං යොමුවන විට ඇයත් මාගේ අරමුණ තේරුම් ගෙන ඊට සහාය දුන්නා. මගේ අම්මා තාත්තා මගේ දක්ෂතාව හඳුනාගෙන ඊට ඉඩ ලබා දුන් නිසා මම අද මේ වගේ තැනක ඉන්නවා.
මං ජාතික කණ්ඩායමට තේරුණා කිව්වාම අම්මාගේ ඇස්වලින් නැඟුණු කඳුළුවලින් නිරූපණය වුණු සතුට මගේ ඇස් දෙකෙන්ම එදා දැක්කා. ඉතින් පාසල් ක්‍රිකට් ජීවිතයේදී ඇය කළ කැප කිරීම්වල ප්‍රතිඵල ඇය භුක්ති වින්දේ ඒ සතුටු කඳුළුවලින්. එදා අම්මාගේ ඇස්වල කඳුළු අදටත් මගේ මතකයේ තියෙනවා. ඒක අමතක නොවන සිදුවීමක්.
සිය මව ගැන මතකය එසේ අවදි කළ ඩිල්ෂාන් මවගෙන් ඔහුට උරුම වූ උතුම් ගුණාංග පිළිබඳ මෙසේ අදහස් පළ කළේය. “අපේ අම්මා ඇත්තටම කාටත් උදව් කරගෙන ජීවත් වන කෙනෙක්. ඒ වගේම හොර බොරු වංචා නැතිවම කෙළින් කතා කරන චරිතයක්. ඇත්තටම ඒ ගුණාංගය ඇයගෙන් මටත් උරුම වුණා කීවොත් නිවැරදියි. එහෙත් අම්මලාගේ කාලයට ඒ කෙළින් කතා කිරීමේ ගුණාංගය වලංගු වුණාට අපේ කාලයේදී එය එතරම් වලංගු වුණේ නෑ. අද කාලයේ කෙළින් වැඩ කරන මිනිස්සුන්ට දිගු ගමනක් යන්නට අමාරුයි. මට ක්‍රිකට් ජීවිතයේ නායකත්වය පවා ඉක්මනින්ම නැති වෙන්නට බලපෑවේ ඒ කෙළින් කතා කිරීමේ ගුණාංගය මට තිබුණා නිසා යැයි මා විශ්වාස කරනවා.”
තමන්ගේ යහපත් ගුණාංග නිසා ඔහුට අහිමි වූ දේ ගැන ඩිල්ෂාන් අප සමඟ අදහස් පළ කළේ උපේක්ෂා සහගත සිනහවක් පළ කරමිනි.
සිය මව ගැන මතක පොත වසා දැමූ ඩිල්ෂාන් සිය බිරිඳ ගැන මතකය අවදි කළේ මේ ආකාරයෙනි.
ඇත්තටම මංජුලාත් අපේ අම්මා වගේම චරිතයක් කීවොත් වැරදි නෑ. අදටත් මං ගෙදර ඉන්න වෙලාවට කෑම පවා කවන්නට තරම් ඇය සහ මං අතර නොසිඳෙන ප්‍රේමයක් තියෙනවා. අපේ අම්මා පුංචි කාලයේත් මම සහ අම්මා එක පිඟානේ කන්නේ. අම්මා මට බත් කවපු හැටි මට මතකයි. ඉතින් ඒ ආදරය මට මංජුලාගෙනුත් ලැබෙනවා.
ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකදී අම්මා මා එක්ක කටයුතු කළ ආකාරයටත් වඩා හොඳින් සංයමයෙන් මංජුලා කටයුතු කරනවා. ඇත්තටම මං අම්මාගෙන් වෙන් වී මංජුලා සමඟ ගත කරන යුග දිවියේදී අම්මා නැති අඩුව නොදැනෙන තරමට ඇය මට සමීපයි. ඇත්තටම මගේ අම්මා සතු වූ ගුණාංග මම මංජුලාගෙන් දකිනවා. මංජුලා සිය දරුවන්ට මවක් ලෙස කටයුතු කරන ආකාරය ඩිල්ෂාන් සිහිපත් කළේ ඇය කෙරේ ඉමහත් ගෞරවයක් ඇතිවය.
“මවක් ලෙස ඇය දරුවන් වෙනුවෙන් සිදු කරන කැප කිරීම වචනයෙන් විස්තර කළ නොහැකියි. ඇය දරුවන් සහ මා වෙනුවෙන් රංගන ජීවිතය පවා කැප කළා. ඇය රංගන වෘත්තියෙහි ඉහළින්ම සිටිනා කාලයක ඉන් ඉවත් වී පවුල වෙනුවෙන් ජීවිතය කැප කළ ඇය ශ්‍රේෂ්ඨ මවක් වගේම බිරිඳක්.” දරුවෝ හතර දෙනා හතර පැත්තකට යන්නේ. ලිමන්සා ක්‍රිකට්වලින් ඉදිරියටම ඇවිත් තිබෙනවා. දෙවැනි දරුවාත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මගේ තුන්වැනි දරුවා අධ්‍යාපනයට දස්කම් දක්වනවා. බාල දරුවට අවුරුදු 8යි. ඔස්ට්‍රේලියාව වැනි රටක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු ඇතුළු සියලු අවශ්‍යතා සපුරමින් ඇය දරුවන් වෙනුවෙන් සිදු කරන්නේ මහත් කැප කිරීමක්. එදා සිට අදටත් මගේ ක්‍රීඩා ජීවිතයට අවශ්‍ය උපරිම නිදහස ලබා දෙමින් ඇය එය ප්‍රශ්නයක් කර නොගෙන කරන මේ කැප කිරීම වචනවලින් විස්තර කළ නොහැකියි. අපේ පවුල් ජීවිතය වඩාත් සාර්ථක වන්නට ඇගේ කැප කිරීම ප්‍රධානම හේතුවක්.
ඒ වගේම මංජුලා බොහෝම හැඟීම්බර චරිතයක්. දරුවකුගේ ඕනෑම අවස්ථාවකදී ඇය හරිම සංවේදීයි. ඔවුන්ට කරදරයක් වුණාම වගේම ජයග්‍රහණයකදී වුණත් ඇය සංවේදීව කටයුතු කරනවා. දරුවන්ගේ සහ පවුලේ කටයුතු සැලසුම් කිරීම ඇගේ සිරිතක්. ඇය වෙලාවට වැඩ කරනවා වගේම දරුවන්ට ද එය පුරුදු කර තීබීම කැපී පෙනෙන කරුණක්.
ඇය අද වනතුරු දරුවන්ට නිය පිටින් පහරක් ගහලා නෑ. ඇතැම් වෙලාවට දරුවන්ට අවවාද දෙමින් තරවටු කරන ඇය මොහොතකින් දරුවන් බදාගෙන හඬනවා. ඒ තරම්ම ඇය සංවේදීයි. මේ වන විට ඇය ආරම්භ කළ සැලෝන් එකට නම යෙදුවෙත් දරුවන්ගේ මුලකුරු යොදා ගෙන. එහිදී වැඩිමල් දියණිය ලිමන්සා සහ දෙවැනි දියණිය ලිසඳිගේ නම්වල ලි යන්නත් බිරිඳ මංජුලා තිලිණි යන්නෙහි දෙවැනි නමේ දෙවැනි අකුර ලි යන්න සංකේතවත් කරමින් ත්‍රි ලි නමින් නුගේගොඩ ප්‍රදේශයේ ආරම්භ කළ අපේ අලුත් ව්‍යාපාරයට නම තැබුවා.
ජාත්‍යන්තරය සමඟ අපට ඇති අත්දැකීම් සමඟ එම සැලෝන් එක වගේම මමත් ක්‍රිකට් උපකරණ ව්‍යාපාරයක් සිදු කරගෙන යනවා. ඇය මගේ ජීවිතයට ළං වූ දිනයේ පටන් මගේ ජීවිතය සාර්ථක වුණා. ඉදිරියට ගියා. ව්‍යාපාර ආරම්භ කළා. ඒ ගැන සැමියෙක් ලෙස මම බොහොම ආඩම්බර වෙනවා.
සැමියෙක් සහ බිරිඳක් ලෙස අන්‍යෝන්‍යව සිය පවුල් ජීවිතය සාර්ථකව ගෙන යන ආකාරය ගැන ඩිල්ෂාන් පළ කළේ මෙවන් අදහසකි.
ඇත්තටම මට තරහ ගිය අවස්ථාවල ඇය නිහඬව කටයුතු කරනවා වගේම මංජුලාට තරහ ගිය අවස්ථාවල මම නිහඬව සිටිනවා. එහෙම නිහඬ වෙලා අපිට පැයක් දෙකක්වත් ඉන්න බෑ. දෙන්නට දෙන්නා තේරුම් අරගෙන නැවත කතා බහ කරමින් ප්‍රශ්න විසඳා ගන්නවා. ඒ වගේ වෙලාවට බොහෝ විට මම තේ එකක් හදාගෙන ඇවිත් එයාට දෙනවා. නැත්නම් එයා තේ එකක් හදාගෙන ඇවිත් මට දෙනවා. විවේකී වෙලාවට ගෙදරදී අපි හකුරු සමඟ තේ බොන්න බොහොම කැමතියි. ඉතින් ඒ විදිහට ඇති වන සුළු ප්‍රශ්නයක් වුණත් අපි එවේලේම කතා බහ කරමින් විසඳා ගන්නේ බොහෝම සාමකාමීවයි. අවුරුදු 19ක යුග දිවියෙහි අපි අතර විශාල ගැටුම් ඇති වෙලා නෑ.
පසිඳු මිහිරාන් රැටියල