Monday, September 15, 2025
Epaper
Home විශේෂාංගහොඳම දේ දරුවන්ට ද?

හොඳම දේ දරුවන්ට ද?

by Thanushika

පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් පසුගිය දිනෙක අනතුරට ලක් වූයේ මල් කැකුළු වන් දරු පැටවුන් දෙදෙනකු සමඟ රියැදුරාගේද ජීවිතවල නිමාව සනිටුහන් කරමිනි. පාසල් දරුවන් මඟතොට අනතුරුවලට ලක්ව දිවි අහිමි වීමේ සිදුවීම් රට තුළ අසන්නට දකින්නට සිදුවීම සැබැවින්ම ඛේදනීය තත්ත්වයකි. මෙම සිදුවීම් දරුවන්ගේ ආරක්ෂාව, අනාගත අභිවෘද්ධිය උදෙසා මවුපියන්, වැඩිහිටියන් වශයෙන් පමණක් නොව රාජ්‍යයක් වශයෙන් අප වෙත ද පැවරී ඇති සුවිශේෂී වගකීමක් හෙළිදරවු කරයි.

දරුවන්ගේ උපරිම යහපත, පැවැත්ම සහ සංවර්ධනය සම්බන්ධයෙන් ගත යුතු සෑම පියවරක්ම ගැනීමට රාජ්‍යයන් විසින් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට පාර්ශ්වයක් වෙමින් පොරොන්දුවට බැඳී ඇත. මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රටවල් විසින් දශක කිහිපයක සිට ආරම්භ කර ඇති අතර මේ වන විට අප රටට වඩා විශාල ප්‍රගතියක් අත්කර ගෙන සිටින රටවල් දක්නට ලැබේ.
බොහොමයක් රටවල රජය මඟින් පාසල් දරුවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ නීති රීති පනවමින් නියාමනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයන් ද සකස් කර ඇත.

දරුවන් ප්‍රවාහනය කිරීම සිදු කරන රියැදුරන් වෙනුවෙන් විශේෂ රියැදුරු බලපත්‍රයක් ලබා දීම මින් ප්‍රථම කාර්යය වී ඇත.

මෙහිදී රජය මෙම කටයුත්ත සඳහා විශේෂයෙන් මැදිහත් වී පාසල් දරුවන් ප්‍රවාහනය සඳහා රියැදුරන් තෝරා ගැනීමේ සිට, දරුවන්ගේ ආරක්ෂාව සැලසීම , වාහන පැදවිය යුතු හා නඩත්තු කිරීමේ ක්‍රමවේදය ආදී විවිධ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය විශේෂිත නීති රීති රෙගුලාසි වරින් වර නිකුත් කරනු ලබයි. බොහොමයක් රටවල පාසල් දරුවන් ප්‍රවාහනය සිදු කරන වාහන වෙනම පාටකින් වර්ණ ගන්වා හෝ විශේෂිත අනන්‍යතා ලකුණක් මඟින් අනිකුත් වාහනවලින් පහසුවෙන් වෙන් වන පරිදි ගමනාගමනයේ යොදවයි.

ජනාකීර්ණ ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවල පාසල් පිහිටුවීම, හැකිතාක් ආරක්ෂිතව පයින් ගමන් යා හැකි තරමේ දුරින් පාසල් පිහිටුවීම වැනි පරිපාලනමය ක්‍රියාමාර්ග ජපානය, එංගලන්තය වැනි රටවල් අනුගමනය කරයි. එමෙන්ම එකම රට තුළ වුවද, පරිපාලන ප්‍රදේශවල පවතින ස්වභාවය අනුව එම අදාළ ප්‍රාන්තය හෝ පළාත විසින් වෙනස් නීති ක්‍රියාත්මක කරන අවස්ථා ද දක්නට ඇත. ඒ අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට, පළාතෙන් පළාතට පාසල් ක්‍රියාත්මක වීම, දරුවන් ප්‍රවාහනය කිරීම පිළිබඳ නීති වෙනස් වේ. මේ සියල්ල සිදු කෙරෙනුයේ දරුවන්ගේ උපරිම යහපත සැලසීම සඳහා ය.

ලංකාව ද විවිධ ජනවර්ග ජීවත් වන විවිධ ආර්ථික කටයුතුවලට වෙන් වූ විශේෂිත ප්‍රදේශ සහ විවිධ දේශගුණික තත්ත්වයන් ඇති ප්‍රදේශවලින් සමන්විත රටකි. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු පළාත තුළ පාපැදි භාවිතයෙන් දරුවෝ පාසල් යති. එමෙන්ම මීදුම සහිත කඳුකර ප්‍රදේශවල පාගමනින් පාසල් යන දරුවන් ද බොහෝය.

නගරබද ප්‍රදේශවල පාසල් වෑන් රථ භාවිතයෙන් පාසල් දරුවන් ප්‍රවාහනය කරනු දක්නට ලැබේ. සමහර ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු, පස් කැපීම්, කැණීම් කටයුතු ආදිය බහුලව සිදු වේ. මෙවැනි එම ප්‍රදේශයට ආවේණික විශේෂ මිනිස් ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශවල පාසල් ආරම්භ වන හා අවසන් වන වේලාවට රථවාහන ගමනාගමනය සම්බන්ධ විශේෂ නීති රීති පැනවීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම දරුවන් ප්‍රවාහනය කරන රියැදුරන් හා රථ වාහන නිසි නියාමනයකට ලක් කිරීම ද අනිවාර්ය වේ.

පාපැදියෙන් හෝ යතුරුපැදියෙන් පාසල්යන එන දරුවන්ට ආරක්ෂිත හිස් වැසුම්, කබා (reflective Jackets ) පැලඳීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුම්වත් කිරීම ඉතා වැදගත් වන අතර මෙම උපකරණ පහසු මිලට සපයා ගැනීමට අවශ්‍ය පහසුකම් ද සැලසිය යුතුය. ලංකාව වැනි රටක හෙල්මට් පැලඳ පාපැදියෙන් ගමන් කිරීම මොන විකාරයක්දැයි කෙනකුට සිතිය හැකියි. නමුත් සමහර රටවල ළමුන් තබා වැඩිහිටියන්වත් අදාළ ආරක්ෂිත ඇඳුම් පැලඳුම් නොමැතිව ගමන් කිරීම දඬුවම් ලැබීමට හේතුවන වරදක් වේ. එයට හේතුව රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම එකී රටවල් ඉතා වැදගත් ලෙස සැලකීමයි.

පාසල් දරුවන් ඉතා අනාරක්ෂිත ලෙස දුම්රිය පාපුවරුවේ ගමන් කරන අවස්ථා සහ අනතුරුවලට ලක්වන අවස්ථා ද අප රටින් වාර්තා වේ. ළමුන් ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රිය මැදිරි දුම්රිය තුළ වෙන් කිරීම සහ එම මැදිරි සඳහා විශේෂ දුම්රිය නිලධාරියකු යෙදවීමට රජය ගත යුතු ඉතා වැදගත් පියවරක් වේ.

දරුවන් යනු රටක අනාගතයයි. දරුවකුගේ අහිමි වීමේ පාඩුව මවුපියනට පමණක් නොව සමස්ත රටටම වේ. දරුවන්ගේ යහපත, ආරක්ෂාව සඳහා රජයක් විසින් ගන්නා පියවර එම රටෙහි සංවර්ධනය මනින මිනුම් දණ්ඩක් බවට වත්මන් ලෝකය තුළ පත්ව ඇත්තේ ඒනිසාය.

මෙරටට ආනයනය කර ඇති සුඛෝපභෝගි වාහනවල වැඩිහිටියන් උජාරුවෙන් යන අතර දරුවන් අනාරක්ෂිතව අබලන් වාහනවල ප්‍රවාහනයට ඉඩදීම වෙනස් කළ යුතු තත්ත්වයකි. රට සංවර්ධනය කරා යාත්‍රා කරවන්නේ දරුවන්ගේ ලෝකය සුන්දර කරන්නට නම්, දරුවන්ට හොඳම දේ දෙමු.
නීතිඥ චන්දිවරී මල්ලවආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?