Tuesday, September 16, 2025
Epaper
Home වෛද්‍ය දුර්ලභ වුවත් සුවය ලැබිය හැකි Vaginismus

 දුර්ලභ වුවත් සුවය ලැබිය හැකි Vaginismus

by Thanushika

​සුපුන් සහ නිහාරි කියන්නෙ හරිම ආදරණීය යුවළක්. අවුරුදු කිහිපයක්ම ආදරය කරලා විවාහ වුණු මේ දෙන්නට පුංචි පුතෙක් ඉන්නවා. පුතාට අවුරුදු තුනක් වෙනකොට සුපුන්ගේ ආසාව වුණේ චූටි දුවක් තමන්ගේ පවුලට එකතු කරගන්නයි. නිහාරිත් ඒකට එකපයින්ම කැමැති වුණාට මේ දෙන්නට පොඩි ගැටලුවක් තිබුණා. දෙන්නට දෙන්නා කතාබහ කරගෙන ගැටලුව විසඳගන්න උත්සාහ කළත් ඒක එතරම් සාර්ථක වුණේ නැති හින්දා අවසානයේ වෛද්‍ය උපදෙස් පතන්න සුපුන් සහ නිහාරි තීරණය කළා.​​

“ඩොක්ටර් අපි විවාහ වෙලා අවුරුදු හතරක් වෙනවා. අපේ පුතාට දැන් අවුරුදු තුනක්. ඉතින් අපි කැමැතියි දැන් තවත් දරුවෙක් පවුලට එකතු කරගන්න. ඒත් ඩොක්ටර් මගේ වයිෆ් දැන් ලිංගික කටයුතුවලට එතරම් කැමැත්තක් දක්වන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් අපි වසර දෙකකින්වත් අඹුසැමි සබඳතාවක් පවත්වලා නෑ. එයාට ඒක හරිම වේදනාකාරී ක්‍රියාවක්. මේකට මොකක් හරි ප්‍රතිකාරයක් නැතිද?”

“මට මුලින්ම කියන්න මේ තවත් දරුවෙක් හදන යෝජනාවට කැමැති මහත්තයා විතරයිද?”

“නෑ ඩොක්ටර්. එයාටත් වඩා මම කැමැතියි තවත් දරුවකුට. ඒත් මට ලිංගික සම්බන්ධතා පවත්වන්න හරිම අමාරුයි. ඒ කියන්නෙ ඒක හරිම වේදනාත්මක ක්‍රියාවක්. අපි කොයිතරම් ආදරෙන් ඒ අවස්ථාවට මුහුණ දෙන්න උත්සාහ කළත් මටත් නොදැනීම එයාව ප්‍රතික්ෂේප කෙරෙනවා.”

“මෙවැනි තත්ත්වයකට ප්‍රතිකාර ගන්න මා ළඟට ආ පළමු දෙන්නා ඔයාලා නෙවෙයි කියලා මම මුලින්ම කියන්න ඕනෙ. මොකද ඔයාලා වාගේ තරුණ ජෝඩු බොහෝමයක් සැලකිය යුතු අවස්ථාවල මට හමුවෙලා තියෙනවා. ඒ හැමෝටම තිබුණු ගැටලුකාරී තත්ත්වයක් තමයි මේක. මෙහිදී කාන්තාව යෝනි සංසර්ගයට ඉඩනොදී තද ප්‍රතිරෝදයක් දක්වනවා. මෙහි දරුණුම තත්ත්වයේදී කකුල් දෙක ඈත් කිරීමටවත් පවා ඉඩ නොදෙනවා.

මට මතකයි එක යුවළක්, විවාහ වෙලා අවුරුදු තුනක් යනකම්වත් යෝනි සංසර්ගයක් කරලා තිබුණේ නෑ. හැබැයි ඒ දෙන්නා කලකෝලාහල කර ගන්නේ නැතුව සතුටින් හිටියා එකිනෙකාගෙ තත්ත්වය තේරුම් අරගෙන.”

“ඒ කියන්නෙ ඩොක්ටර් මේක ප්‍රතිකාර කළයුතු රෝගී තත්ත්වයක් කියලද ?”

“මේක වැජිනිස්මස් (Vaginismus) කියන තත්ත්වයයි. සමාජයේ ගොඩාක් දුර්ලභ තත්ත්වයකුත් නොවේ. මැද පෙරදිග හා දකුණු ආසියානු කලාපයේ මේ තත්ත්වය කාන්තාවකගේ ජීවිත කාලය සැලකීමේදී 5 – 17% (life time prevalence) විතර ප්‍රමාණයකට තිබෙනවා. ලිංගික ක්‍රියාකාරීත්වය සඳහා ආගමික සංස්කෘතික හෝ සමාජීය සීමාවන් වැඩි ජනගහනවල මේ තත්ත්වය සාපේක්ෂව වැඩි බවක් පෙන්වනවා.”

“ඇත්තටම ඩොක්ටර් මෙතැන දී සිදුවන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන් ද?”

“මෙහිදී සිදුවන්නේ යෝනි ඇතුළු කිරීමකට උත්සාහ කරන විට අනිච්ඡානුග (Involuntary) ලෙස මාංස පේශින් සංකෝචනය වීමයි. එතැනදී යෝනි ප්‍රදේශයේ මතුපිට මාංසපේශි වගේම ඇතුළතින් පිහිටා ඇති මාංස පේශිද තදවීම ඒ කියන්නෙ සංකෝචනය වී එම විවර කුඩා වන අතර එමඟින් යෝනි ඇතුළු කිරීම අපහසු කරවනවා. ඇතැම් අයට මෙය එතැනින් නොනැවතී, කලවා ප්‍රදේශයේ මාංසපේශි ආදිය තදවීම නිසා කකුල් ඈත්කිරීම ද අපහසු වෙනවා. මේ තත්ත්වයත් සමඟම බිය වාගේම වේදනාවක් ඇතිවීම ඒ හරහා මානසික පීඩාවන් ඇතිවීම වාගේ කාරණා නිසා ඇගලුම්කම (intimacy) පවත්වා ගැනීම අපහසු වෙනවා. එවිට ලිංගික ක්‍රියාවලියත් අසම්පූර්ණ වෙනවා. මෙය ඇත්තටම ශරීරය හා මනස අතර ඇති සංකීර්ණ අන්තර් සම්බන්ධතා ගැටලුවක්. ඒ නිසා යෝනි ප්‍රදේශය ආශ්‍රිතව වෛද්‍ය පරීක්‍ෂණ ආදියේ දී පවා එම ස්ථාන පරීක්ෂාව අපහසු කරවනවා.”

“මොනවද ප්‍රතිකාර හැටියට කරන්න තියෙන්නේ?”

“ඇත්තටම පළමුව ඔබ තේරුම් ගත යුතු දේ තමයි මෙය ප්‍රතිකාර කළ හැකි තත්ත්වයක් බව. එහිදී පහත විකල්ප ක්‍රම ප්‍රතිකාර ලෙස ඔබට භාවිත කළ හැකියි.

1. අධ්‍යාපනය හා උපදේශනය

2. ප්‍රජනන චර්යා ප්‍රතිකාර ක්‍රම (Cognitive behaviour therapy)

3. ලිංගික චිකිත්සාව (sex therapy)

4. අප්‍රසන්න ලිංගික ක්‍රියා

ඉතිහාසයක් පවතින විට එය කේන්ද්‍රගත වූ ප්‍රතිකාර ලබාදීම

5. ශ්‍රෝණි මාංසපේශී සඳහා භෞත චිකිත්සා ප්‍රතිකාරය

6. ක්‍රමානුකූල යෝනි විස්තාරණ ප්‍රතිකාරය (Vaginal dilatation) හා සංවේදිතා අවම කිරීමේ ප්‍රතිකාර

7. ලිහිසි ද්‍රව්‍ය පාවිච්චිය, නිර්වින්දන ක්‍රීම් භාවිත කිරීම

8. පසුබිම් රෝග ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම

9. ශරීරය හා මනස ලිහිල් කිරීමේ යෝගා හා භාවනා ක්‍රම

10. ප්‍රමාණවත් පරිදි පෙර ලිංගික උත්තේජන (foreplay) සිදුකිරීම

ඊට අමතරව මේ සඳහා වන ප්‍රතිකාර මනෝ වෛද්‍ය සේවාවලින් හා ලිංගික සෞඛ්‍ය සේවාවලින් ලබාගත හැකියි. එහිදී දෙදෙනාගේම විවෘතභාවය හා කැපවීම ඉතා වැදගත්. විශේෂයෙන්ම දෙදෙනා අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය, එකිනෙකාට දක්වන ආදරය, ගෞරවය වැනි කරුණු මත මේ තත්ත්වයෙන් මිදිය හැකි බවත් අමතක කරන්න එපා.”

 

උපදෙස් –

විශේෂඥ වෛද්‍ය

අජිත් කරවිට

ලිංගිකව බෝවන රෝග, එච්.අයි.වී. හා ලිංගික සෞඛ්‍යය

අනුරාධපුර ශික්ෂණ රෝහල

 

චම්පා වරුසප්පෙරුම

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?