දෙස් – විදෙස් මනෝ උපදේශකවරියක් සහ ලේඛිකාවක් වන අනීශා ජයකොඩි තරුණී කියවන ආදරණීය ඔබට කරන සෙනෙහෙබර මඟපෙන්වීම ‘ආදරණීය ජීවිතයකට මඟ’ අලුත් වූ තරුණී සමඟ…
ජීවිතයේ ලස්සනම කාලය මොකද්ද කියලා ඇහුවොත් හැමෝම කියන්නේ තරුණ කාලය කියලා.
ඇත්තම කිව්වොත් ජීවිතයේ සුන්දරම කාලය වගේම වටිනාම කාලය වෙන්නෙත් තරුණ කාලය තමයි.
ඒ විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ හොඳටම පරෙස්සම් වෙන්න ඕනෙත් තරුණ කාලෙදිම තමයි. ලස්සනම කාලය, වටිනාම කාලය තරුණ කාලය නම් ඇයි පරෙස්සම් වෙන්න කියන්නේ කියලා හිතෙනවා නේද ?
තරුණ කාලේදී අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය හොඳටම වැඩියි. ඒ කියන්නේ හැඟීම් දැනීම්වලට ප්‍රතිචාර දැක්වීමේ වේගය සාපේක්ෂව වැඩියි කියන එක. සරලවම කිව්වොත් හැමදේටම ඉක්මන් වෙනවා වැඩියි කියන එක.
ඔන්න ඔය තියන හදිස්සිය නිසා හුඟක් වෙලාවට තරුණ තරුණියෝ තීරණ ගන්නේ බුද්ධියෙන් නෙමෙයි හැඟීම්වලින්. ඔය ගන්න තීරණ ඒ මොහොතේ ඉතාම නිවැරදියි කියලා දැනුණට කාලයක් යනකොට එදා ඒ තීරණේ නොගෙන හිටියනම් හොඳයි කියලා හිත හිත විඳවන මිනිස්සු මනෝ උපදේශනයේදී මට නිතරම මුණගැහෙනවා. ඒ නිසා ජීවිතේ හදිස්සි නොවී හොඳින්ම හිතලා බලල පරෙස්සමෙන්ම තීරණ ගන්න ඕන කාලය තමයි තරුණ කාලය.
උදාහරණයක් විදිහට විවාහය ගැන කතා කළොත් බාහිර රූපෙට, හිනාවට, කොණ්ඩෙට ආස හිතිලා ප්‍රේම සම්බන්ධ පටන් අරගෙන ජීවිතේ ගැන බරක් පතලක් නැතුව හිතු මනාපෙට විවාහ වෙන තරුණ තරුණියෝ ඕන තරම් ඉන්නවා,
අර මුලින් ඇතිවුණු ආකර්ෂණය ටික කාලයක් යනකොට හීනවෙලා ගිහින්. ජීවිතේ ඇත්ත ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනකොට තමයි දෙන්නා දෙමහල්ලන්ගේ නොගැළපීම් ටික, මදිඅඩු පාඩු ටික දෙන්නට පේන්න පටන්ගන්නේ. එතකොට ඉතින් පෙරහර ගිහින්. පෙරහර බලන්න ආපු මිනිස්සු ගෙදරත් ගිහින් ඉවරයි. කසාදෙදි විතරක් නෙමෙයි දික්කසාදෙදිත් ඔච්චරයි. කසාදෙ එපා වෙලා දික්කසාද වෙන්න ඕනේ කියලා අපිව හොයාගෙන එන හුඟක් මිනිස්සු ඒ එන්නේ ඒ මොහොතේ තියන පීඩනයටයි, තරහටයි, හදිස්සියටයි මිසක් ඇත්තටම පවුල් කන්න බැරිකමට නෙමෙයි. කසාද බඳින්නත් හදිස්සි වෙනවා වගේම හුඟක් මිනිස්සු දික්කසාද වෙන්නත් හදිස්සි වෙනවා. තමන්ට හදලා ඉවර කරගන්න බැරි තරම් විශාල ගෙවල් හදන්න පටන් ගන්න එක, ගෙවාගන්න බැරි තරම් ලීසිං දාලා ලොකු කාර් ගන්න එක, කිසිම ඉවසීමක් නැතුව හදිස්සි වෙලා රස්සාවල් අත ඇරලා දාන එක, සම්බන්ධකම් ඇති කරගන්න එක, සම්බන්ධකම් නැති කරගන්න එක, මේ වගේ බොහෝ දේවල් නිසා හුඟක් තරුණ දරුවෝ ජීවිතේ මඟ හරියක් වෙනකොටම හති වැටෙනවා. පීඩනයට පත් වෙනවා. අවසානයේ ජීවිතේ එපා වෙනවා.
මනුස්සයෙක්ගේ ජීවිතේ ලස්සනම කාලය තරුණ කාලය කියන එකේ තේරුම ඒ තමයි, ජවසම්පන්නම කාලය කියන එක. හැබැයි ඔය කියන ජවය හොඳට වගේම නරකටත් හිටින්න පුළුවන්. මොකද ඔය කාලේ ගන්න හැම තීරණයක්ම ප්‍රතිඵල ජීවිතේ පුරාවටම තමන්ට විඳින්න වෙනවා, ඔය කාලේ කරන බොහෝ තෝරාගැනීම් ජීවිතේ පුරාවටම තමන් එක්කම පවතිනවා .
ඒ කාලේ ඉගන ගන්න දේවල්, ඇති කරගන්න සම්බන්ධකම්, ලබන අත්දැකීම්, විඳින දකින දේවල් පුරුදු වෙන සහ ඇබ්බැහිවෙන දේවල් ඒ කෙනාගේ අවසාන හුස්ම දක්වාම සෑහෙන්න ලොකු බලපෑමක් කරනවා.
අන්න ඒ නිසයි තරුණ කාලේ කියන්නේ, ජීවිතේ ලස්සනම කාලය වගේම ජීවිතේ භයානකම කාලය කියලා කියන්නේ.
දකින දේවල් සියල්ල නිවැරදියි කියලා හිතන්න එපා.
තමන් හැමදේම දන්නවා කියන අධි තක්සේරුවෙන් ඉන්න එපා.
ආදරේ කරන්න, විවාහ වෙන්න ඕනවට වඩා හදිස්සි වෙන්න එපා.
තීරණ ගන්නකොට බුද්ධියට මිසක් හැඟීමවලට වහල් වෙන්න එපා.
මං වෙනුවෙන් අරයා ඉන්නවා මෙයා ඉන්නවා කියලා හිත හිත සම්බන්ධකම් ගැන, බැඳීම් ගැන අධි තක්සේරුවෙන් ඉන්න එපා. මොනම හරි අංශයකින් ඉහළටම ඉගෙන ගන්න.
ඉවසන්න බැරිම තැනදීත් තව ටිකක් ඉවසන්න. ජීවිතේ වැදගත්ම තීරණ ගන්නකොට දෙසැරයක් නෙමෙයි තුන් හතර සැරයක් හිතන්න.
එතකොට ඔයාට ජීවිතේ වරදින්නේ නැහැ. තරුණ කාලේ වරද්දගත්ත නැති මිනිස්සුන්ට ජීවිතේ ආයෙ කවදාවත් ලේසියෙන් වරදින්නේ නැහැ.
අන්න එතකොට, ජීවිතේ ලස්සනම කාලය තරුණ කාලයෙන් අවසන් වෙන්නේ නැහැ, තරුණ කාලේ හරියට තීරණ ගත්තා කියන්නේ මුළු ජීවිතේම ගොඩ ගියා වගේ තමයි.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර