ලෝකයේ මිනිසුන් සැබැවින්ම විවිධාකාරවේ. අපට දෛනික ජීවිතයේදී විවිධ අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවේ. එවැනි අවස්ථාවලදී එකිනෙකා විවිධාකාර ලෙස එම අත්දැකීම්වලට මුහුණ දෙයි. ඇතැමුන්ට සමහර අවස්ථාවන්වලදී ඒවාට සාර්ථකව මුහුණ දීමට අපහසුවන අවස්ථා ද ඇත. ඕවර් තින්කින් (Over thingking) යන තත්ත්වය යටතේ ද එලෙස අත්දැකීම්වලට මුහුණ දීමේ අපහසුතා ඇතිවිය හැකිය. මෙයින් මිනිසා දැඩි ලෙස පීඩාවට පත්වේ.
“ඕවර්තින්කින්” යනු පොඩි පොඩි දේවල්, සිද්ධීන් පිළිබඳ අනවශ්‍ය ලෙස අසීමිතව සිතීමයි.මෙහි ආකාර දෙකක් දැකගත හැකිය. එනම් අතීතයේ සිදුවූ දෙයක් හෝ තමා විසින් සිදු කළ හෝ පවසන ලද දෙයක් පිළිබඳ නැවත නැවත සිතීම එක් පැතිකඩකි.අනෙක් පැතිකඩ වන්නේ අනාගතයේ සිදුවීමට ඇති දෑ පිළිබඳ කනස්සල්ලට පත්වීමයි.ඔබ යමෙකුට යම් මතයක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔබ “එසේ සිදු කළේ අපරාදේ “යැයි සිතමින් කනස්සල්ලට ලක් වෙන්නේ නම් එය ඕවර්තින්කින් තත්ත්වයකි. එසේත් නැතිනම් ඔබට අනාගතයේ මුහුණ දීමට නියමිත විභාගයක් සමත් වේවි ද?,සමත් නොවූහොත් කුමක් සිදු වේවිද? යනාදී වශයෙන් අනවශ්‍ය ලෙස සිතා කනස්සල්ලට ලක් වෙන්නේ නම් එය ද ඕවර්තින්කින් තත්ත්වයකි. සරලව කිවහොත් “මට මෙසේ නොකරන්න තිබුණා, එසේ වුවහොත් කුමක් සිදු වේවිද?” යැයි අසීමිතව නැවත නැවත සිතා කනස්සල්ලට පත්වීම ඕවර්තින්කින් තත්ත්වයක් ලෙස හඳුන්වයි.නමුත් අප සිදු කළ යුතු රැකියාව,ඇතුළත් විය යුතු විශ්වවිද්‍යාලය,මිල දී ගන්නා නිෙවස යනාදිය පිළිබඳ සිතීම ඕවර්තින්කින් තත්ත්වයක් නොවේ. එනම් ජීවිතයේ වැදගත් තීරණ ගැනීමේදී කහිප වරක් සිතීම ඕවර්තින්කින් නොවේ.
මෙම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු සාධක කිහිපයකි. පරිපූර්ණ වීමට උත්සාහ කිරීම, සාංකාව, ආත්ම සම්මානනය අඩු බව (තමා තමාට ලබා දෙනු ලබන වැදගත්කම අඩු බව), අවිනිශ්චිතතාවලට ඇති බිය නිසා ඕර්වතින්කින් තත්ත්වයක් ඇති විය හැක. “කිසියම් කටයුත්තක් 100%ක්ම නිවැරදිව සිදු කිරීමට උත්සාහ කිරීම නිසා එය 100%ක් නිවැරදි නොවුණහොත් කුමක් සිදුවේ ද?, පෙර සිදු කරන ලද දෙයක් නිසා මෙය 100%ක් සාර්ථක කර ගත නොහැකි වේවිද ?” යනාදී වශයෙන් සිතීම ඕවර්තින්කින් තත්ත්වයකි. එමෙන්ම බොහෝවිට සෑම පුද්ගලයාටම තමා වෙත හොඳ වැදගත්කමක්, තක්සේරුවක් ලබාදීමේ හැකියාව නැත. එම නිසා තමා ගන්නා තීරණ පිළිබඳ නැවත නැවත අනුමාන කිරීමට උත්සාහ කරයි. නැවත නැවත අනවශ්‍යය ලෙස අසීමිතව සිතයි. එමෙන්ම අවිනිශ්චිතභාවයට ඇති බිය ඕවර්තින්කින් තත්ත්වයක් ඇති කිරීමට බලපායි. අනාගතයේ සිදුවීමට ඇති දෙයක් හොඳින් සිදු නොවේවි යැයි සිතා බියට පත්වීම මෙහිදී සිදුවේ. එම නිසාම ඒ පිළිබඳ නැවත නැවත අසීමිතව සිතයි. එමෙන්ම සාංකාව ඕවර්තින්කින් ඇති කිරීමට තවත් එක් හේතු සාධකයකි.
එසේම ඕවර්තින්කින් තත්ත්වයක් යටතේ එක් පුද්ගලයෙකු තුළ මෙම ලක්ෂණ සියල්ල දැකගත හැකි අවස්ථා ඇති අතරම මෙම ලක්ෂණ සුළු ප්‍රමාණයක් සහිත පුද්ගලයන් ද ඇත.
වයස අවුරුදු 25-35 අතර තරුණ තරුණියන් වැඩි වශයෙන් ඕවර්තින්කින් තත්ත්වයේ පසුවේ. ඊට වඩා අඩු ප්‍රතිශතයකින් වයස අවුරුදු 45-55 අතර වයසේ පසු වන වැඩිහිටියන් ද මෙම අසීමිතව සීතීම සිදුකරයි. කෙසේ වෙතත් මෙහි කිසිදු ඵලදාතාවක් නම් දැකගත නොහැකියි. එහි අහිතකර ප්‍රතිඵල නම් විශාල ප්‍රමාණයක් දැක ගතහැකියි. ආතතිය සහ කාංසාව වැඩිවීම නිසාවෙන් නිතර පසුතැවෙයි. එමෙන්ම තමා පිළිබඳ අඩු තක්සේරුවක් හා වැඩිදුර සිතීම නිසා තීරණ ගැනීමේ හැකියාව ද අඩුවේ. ඔවුන් යම් තීරණයක් ගැනීමට පෙර එය අසාර්ථක වේවි යැයි සිතා කනස්සල්ලට පත්වේ. අනවශ්‍ය දෑ පිළිබඳ නිතර සිතමින් කාලය කා දැමීමෙන් කිසිදු ඵලදායිතාවයක් නොමැති බැවින් ජීවිතයේ ඵලදායි බව ද අඩුවේ. එමෙන්ම අවධානය ලබා දිය යුතු දේවලට හොඳ අවධානයක් ලබා දීමට ද නොහැකිවේ. සෑම විටම අනවශ්‍ය දෑ පිළිබඳ අවධානය යොමු කිරීම එයට හේතුවයි. මෙමඟින් තමාට පැවරී ඇති වගකීම් යුතුකම් යනාදියන් ද තමාට නිවැරදිව ඉටු කිරීමට නොහැකිය. එමෙන්ම අන්‍යයන් පවසන යම් දෙයක් අසීමිතව සිතීම නිසා වැරදි ලෙස අවබෝධ කරගතහොත් අන්තර් පුද්ගල සබඳතා ද බිඳවැටෙනු ඇත. අවසානයේ සියලු කරුණු හේතු කොටගෙන මානසිකව පීඩනයට ලක්වේ.
එසේ නම් මෙම අසීමිතව සිතීම නැති කරගන්නා ආකාරය විමසා බලමු. මනෝ උපදේශකවරුන්ට අනුව මෙම තත්ත්වය 100%ක්ම මුලිනුපුටා දැමීමට නොහැකිය.නමුත් පාලනය කළ හැකිය. එමෙන්ම එක් එක් පුද්ගලයාගේ මානසික මට්ටම අනුව පාලනය කර ගැනීමේ ප්‍රතිශතය තීරණය වේ. ප්‍රධාන වශයෙන් ඕවර්තින්කින් පිළිබඳ හොඳ දැනුවත්භාවයක් ලබා දිය යුතුය. ඒ සඳහා ඊට අදාළ මනෝ උපදේශකවරයෙකුට යොමු කිරීම ඉතා වැදගත්ය. ඊට අමතරව සතිමත්භාවය ඇති කර ගැනීම වැදගත්වය (භාවනා කිරීම.) එයින් තමා හා වටපිටාව පිළිබඳ මනා අවබෝධයක් ලැබීම නිසා මෙම තත්ත්වය අවම කර ගත හැකිය.එමෙන්ම දිනකට සිතීමේ වේලාවක් වෙන් කළ හැකිය.
තමා සතුව යම් ප්‍රශ්නයක් හෝ කනස්සල්ලක් පවතින්නේ නම් දවසේ එක් වේලාවක පමණක් ඒ පිළිබඳ සිතීම මෙහිදී සිදුවේ. එවිට අනවශ්‍ය ලෙස මානසික පීඩනයක් හා කාලය කා දැමීමක් සිදු නොවේ. ඒ සඳහා විනාඩි 15-20ක් පමණ යොදා ගත හැකිය. එමෙන්ම ඉතාමත් ආකර්ෂණීය දෙයක් ලෙස “ජර්නලින් කිරීම” පෙන්වාදිය හැකිය. එනම් තමාගේ සිතේ ඇති සියල්ල සටහන් කිරීමයි. එයින් විශාල වශයෙන් පීඩනය පිටවී යයි. එය තමා පසුව කියවා බලන විට තමාගේ මානසික මට්ටම පිළිබඳ තමාට ද අවබෝධයක් ලැබීම ඉතා වැදගත්ය.
තවද ඕවර්තින්කින් කරන විට එම අවධානය වෙනස් කිරීමට විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීම ද ඉතා ඵලදායි වේ. විනෝදාංශයක නිරතවීම, ව්‍යායාම කිරීම ආදී තම මනසට සුව ගෙන දෙන ඕනෑම ආකාරයක ක්‍රියාකාරකමක් සිදුකළ හැකිය. එමෙන්ම යහපත් සමාජ සම්බන්ධතා පැවතීම ද ඉතා වැදගත් වේ. තමාට යම් සාංකාවක් ඇත්නම් මවුපියන්, ගුරුවරුන්, මිතුරන්, වැඩිහිටියන් සමඟ සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය. එමෙන්ම තමාටම කරුණාව දැක්වීම ද ඉතාමත් වැදගත් වේ. නමුත් අත්මිදීමට නොහැකි තරම්, දෛනික ජීවිතයේ කටයුතු පහසුවෙන් කරගත නොහැකි වන තරම් මෙම තත්ත්වයට ඇබ්බැහි වී ඇත්නම් ඒ සඳහා මනෝ උපදේශකවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සිදුකළ යුතුමය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රජානන චර්යයා ප්‍රතිකර්මය මනෝ විද්‍යා උපදේශනවලදී භාවිත කරනු ලබයි.
ඔබත් ඕවර්තින්කින් නිසා මානසික පීඩනයට ලක්ව ඇති අයෙක් නම් අද සිට එයින් මිදී ධනවාදී සැහැල්ලු ජීවිතයකට පියමන් කිරීමට ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.
උපදේශනය
සහාය කතිකාචාර්ය
බී.එම්.ඒ.ටී. අනූපමා
මනෝවිද්‍යා අධ්‍යයන අංශය.
කැලණිය විශ්වවිද්‍යාලය
ටිරුණි ඉමායා