Monday, September 15, 2025
Epaper
Home Recipeවියළි දේශගුණයේ සිරුර සිසිල් කරන තල්

වියළි දේශගුණයේ සිරුර සිසිල් කරන තල්

by Thanushika

මිනිස් ශරීරය සිසිල් කරවීමට උපරිම හැකියාවක් ඇති තල් ව්‍යාප්ත වනුයේ වියළි දේශගුණයක් සහිත ප්‍රදේශවලයි. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල තල් ශාකය බහුලව ව්‍යාප්තව ඇත. සමාජයේ බොහෝ පිරිසක් අතර දැඩි මතයක් ලෙසින් තල්වලින් කෑම පිසීම තුළදී තිත්ත රසයක් මුසු වන බවටයි. නමුත් නිවැරදිව තල් ගෙඩියක් තෝරාගෙන පිලිස්සීම තුළින් තල්වල කිසිදු තිත්තක් ඇති නොවන ලෙසින් රස බැලිය හැකිය. එමෙන්ම තල් ගෙඩිය තෝරා ගැනීමේදී තැළිමකට ලක් නොවූ තල් ගෙඩියක් තෝරා ගැනීම වැදගත්ය.

එමෙන්ම තල් ගෙඩිය නිවැරදිව පුලුස්සා තිත්ත ඉවත් කරගත යුතුවේ. තල්ගෙඩිය ගෙන පොල් කටු අඟුරු මත හෝ ගෑස් ළිප මත තබා හොඳින් කරකවමින් තල් ගෙඩිය පුලුස්සා ගත යුතු වේ. එවිට තල් ගෙඩියේ තැනින් තැන පුපුරා තල් ගෙඩියේ තිත්ත ඉවත්වීම සිදුවේ. මේ පිළිබඳව තොරතුරු සවිස්තරාත්මකව ලබාගත් වියළි කලාපීය ප්‍රදේශවාසීන් පැවසූ අයුරින් තල් ගෙඩිය නිවැරදිව පිලිස්සුම් කරන අතරතුරදී කතාබහකට ලක්නොවී සිදු කිරීම තුළින් තිත්ත නිවැරදිවම ඉවත් කළ හැකිය. යන්න දැඩි විශ්වාසයක් හා කෙම් ක්‍රමයක් ලෙසින්ද ඔවුන් අතර පවතින අදහසක් ද මතුවුණි. නිවැරදිවම තල් ගෙඩියේ තිත්ත ඉවත් කර ගත් පසු තල්ගෙඩිය පොත්ත ඉවත්කර තල් මදය තුළින් ඉස්ම වෙන්කර අවශ්‍ය කෑම පිළියෙල කරගත හැකිවේ.

තල් කිරි  

තිත්ත ඉවත් කළ තල් මදය පොල් කිරිවල මුල් මිටි කිරිවලින් පොඟවා යුෂ ඉවත් කරගන්න. ඉන්පසුව සීනි අවශ්‍ය පමණින් යොදා උකු වනතුරු හොඳින් හැඳි ගාන්න. පසුව හොඳින් රස්නය ඉවත් වු පසු පානය කරන්න.

 

තල් කැවුම්

තිත්ත ඉවත් කර ගත් තල් මදයෙන් යුෂ ඉවත් කරගන්න. ඉන්පසු හොඳින් යුෂ පෙරා වෙන්කර ගන්න. පෙරා වෙන් කරගත් තල් යුෂ ලිප මත තබා රත්කර ගන්න. ඉන් පසුව සීනි එක්කර හොඳින් කලවම් කරගන්න. පසුව තම්බපු පාන් පිටි යොදමින් අතේ නොඇළෙන සේ පිටි මිශ්‍රණය සකසා ගන්න. ඉන්පසුව තෙල් බදුනට දමා කැවුම් හැඩ ගන්වමින් රන්වන් වන තුරුබැද ගන්න.

තල් දොදොල්

තල් ගෙඩිය මිරිකා අරගත් තල් යුෂ පොල් මිටිකිරි එකතු කර පෙරා ගන්න. එම තල් මිශ්‍රණයට රස අනුව සීනි එකතුකර ගන්න. තල් ගෙඩියකට පොල් ගෙඩියක කිරි එකතු කළානම් එයට හාල්පිටි තේ කෝප්ප එකක් පමණ එකතුකර හොඳින් දියකර ගන්න. දැන් එය ළිප තබා නොනවත්වාම හැඳිගාන්න. අඩු ගින්දරේ අඩිය අල්ලන්නට නොදී හැඳිගාන්න. මිශ්‍රණය උකු වනවිට බුබුළු දමමින් විසි වන්නට පුළුවන් නිසා පරිස්සමින් නොනවත්වාම හැඳි ගා ළිපෙන් බා පැතලි බඳුනකට දමා පිළියෙල කරගන්න.

 

තරුෂි පතිරණ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?