Monday, September 15, 2025
Epaper
Home Recipeවිස්මිත ගුණ ඇති බෙහෙත් නෙල්ලි

විස්මිත ගුණ ඇති බෙහෙත් නෙල්ලි

by Thanushika

හෙළ ආයුර්වේදීය වෛද්‍යවේදයේ ඉහළ වටිනාකමක් ඇති නෙල්ලි, නීරෝගි දිවියක් සඳහා වැඩිහිටි, ළමා සියලු දෙනා හට ගුණදායී පලතුරකි. එසේම ඖෂධයකි.

තවද රුව සුරකින, රුව වඩවන දෙයකි. පහසුවෙන් වගා කරගත හැකි නෙල්ලි ශාකය ඉතා ශක්තිමත්, ගිනි ගැනීම්වලට ඔරොත්තු දෙන, පළිබෝධ හානිවලින් ද අවම ශාකයකි. එමෙන්ම නෙල්ලි ශාකය වියළි හා සෞම්‍ය දේශගුණයන් යටතේ වඩා හොඳින් වර්ධනය වන අතර අනෙකුත් තත්ත්වයන් යටතේද ඔරොත්තු දීමට හැකියාව සහිත ශාකයක් නිසා සෑම නි‍ෙවසකම සිටිය යුතු වෙද මහතෙකු ලෙස මෙය සැලකිය යුතු ය.

විශේෂයෙන්ම නෙල්ලි ගර්භිණී මවුවරුන් සඳහා ඉහළ ගුණදායී පලතුරකි. ගර්භිණී අවස්ථාව තුළ ඇති වන මල බද්ධයට නෙල්ලිවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය මඟින් සහනයක් ලබා දෙයි. එමෙන්ම නෙල්ලි යකඩ බහුල ආහාරයක් නිසා එය මවුවරුන්ට ඇති වන රක්තහීනතාවට කදිම විසඳුමකි. තවද මූත්‍රා ආසාදන ගර්භිණී අවස්ථාවේදී මවුවරුන්ට ඇති තවත් එක් ගැටලුවකි. මෙහි ඇති විටමින් සී ගුණය ආසාදන තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට උපකාර කරයි. තවද දිනකට බෙහෙත් නෙල්ලි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීම තුළින් දියවැඩියා රෝගය සුව කර ගැනීමට හැකියාව පවතින බව හෙළ වෙදකම තුළ එන ප්‍රසිද්ධ කරුණකි. එනම් ගර්භිණී අවධියේ දී ඇති වන දියවැඩියා රෝග තත්ත්වයට මෙය කදිම ඔසුවකි.

නෙල්ලි පානය

බෙහෙත් නෙල්ලි පානය ද ඉතාමත් ගුණදායී පානයකි. බෙහෙත් නෙල්ලි ගෙන ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා ගත් පසු ඒවා හොඳින් කොටා ගන්න.

පසුව නෙල්ලි යුෂ රොඩ්ඩෙන් හොඳින් පෙරා ඉවත් කර ගන්න. ඉන්පසු ලුණු, සීනි, ජලය අවශ්‍ය රස පදමට එක්කර පානය කරන්න. එසේත් නැතිනම් රාත්‍රියේ දී නෙල්ලි කුඩා කැබලිවලට කපා ඇල් ජලයට දමා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් ද සෙම් රෝග, ආම්ලිකතාව, ශරීරයේ උෂ්ණත්වය පාලනය වැනි ප්‍රයෝජන රැසක් අත්පත් කරගත හැකිය. එනම් මෙම බෙහෙත් නෙල්ලි පානය උෂ්ණ අධික කාලවලදී වඩාත් සුදුසු පානයකි.

තවද නෙල්ලි ඇට හොඳින් කොටා සිරුරෙහි ආලේප කිරීම මඟින් උෂ්ණත්වය, දැවිල්ල වැනි රෝග අපහසුතාවන්ගෙන් සුවපත් විය හැකි බව ආයුර්වේදීය වෛද්‍ය මතයයි. ඒ අනුව නෙල්ලි ශාකයේ සියලුම කොටස් කිසියම් හෝ ප්‍රයෝජනයක් ගත හැකි ඉතා වටිනා ශාකයකි.

නෙල්ලි අච්චාරු

එක් අතකින් බෙහෙත් නෙල්ලි අච්චාරු රසවත් ආහාරයකි. නෙල්ලි හොඳින් කුඩා කැබලිවලට කපා එම කැබලි මඳක් තුනී වන සේ මිරිස්ගලක් භාවිතයෙන් අඹරාගෙන එයට ලුණු කුඩු, මිරිස් කුඩු, අවශ්‍ය ප්‍රමාණයට දමා සාදා ගන්න. එසේ නැතිනම් බෙහෙත් නෙල්ලි ගෙන එහි පිහියකින් හෝ ගෑරුප්පුවකින් තීරු හෝ සිදුරු සාදා ගන්න. ඉන්පසු එය ලුණු සහ ජලය දැමූ බඳුනකට දමා මිනිත්තු 10ක් පමණ තබන්න. පසුව ලුණු මිශ්‍ර ජලය ඉවත් කොට නැවත ලුණු හා මිරිස් කුඩු අවශ්‍ය පමණට එක්කොට ආහාරයට ගන්න. මෙය නෙල්ලි ආහාරයට ගැනීමට අකැමැත්තක් දක්වන කුඩා දරුවන් හට ලබා දිය හැකි රසවත් ආහාරයකි.

පියුනි හිමායා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?