Friday, October 3, 2025
Epaper
Home කවි හිමිදිරියහිමිදිරිය

හිමිදිරිය

by Thanushika

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට යොමු කරන්න.

අද හිමිදිරියට කවි තෝරන ඔහු ජයන්ත කහටපිටිය

දීර්ඝ කාලයක් පුරාවට පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙසින් මෙන්ම සාහිත්‍ය හා සිනමා විචාරකයකු වශයෙන් ද කටයුතු කරන හෙතෙම දක්ෂ කවියෙකි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන්නේ ‘විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය”යි.

දෙවැන්න ‘ශේෂ වන සේ සිනහව මකා දැමිය හැකිද රේඛාව”. ඊට අමතරව යොවුන් සාහිත්‍ය සහ ළමා සාහිත්‍ය කෘති ගණනාවක් ද රචනා කර ඇති ජයන්ත මහතාගේ නවතම යොවුන් නවකතාව
“සීගිරි කාශ්‍යපට BIRTHDAY CAKE එකක්” කෘතියයි.

හොඳම කවිය

සංදේශයක් …..

උස් පහත් වන ස්වර අතර
ඉතා හුරුපුරුදුයි වචන
පියාපත් හෙමි හෙමින් සැලෙන
පිහාටුවකුත් බිම වැටුණ…….

කුටිය අද්දර නොඋස් තුරක
කවුළුවට පෙනෙන අතු පතර
ලැගුම්ගෙන කොහෙන්දෝ පැමිණ
ඉවරයක් නැතුවම ගයන …..

ඇද හැලෙන මහා වැසි මැද ද
ගල් ගැසෙන සීතලක වුවද
සුළි සුළං කුණාටුද සමඟ
සැලෙන මුත් නොබිඳෙනා තනුව

ඇස ගැටෙන සැනින් මා දසුන
ගායනය උස් හඬින් ඇසෙන
ලොබින් ඒ දැනෙන හුරු බවට
මම කවුළු නොපියවා සිටින …..

උස් පහත් වන ස්වර අතර
ඉතා හුරුපුරුදුයි වචන
කුරුල්ලෝ මිහිරට ගයන
සංදේශෙ රචකයා කවුද ……

වත්සලා ඉරෝෂිණී කරුණාරත්න …

වත්සලා ඉරෝෂිණීගෙ සංදේශයක් නම් කවිය ඇගයීමට ලක්කිරීමට අදහස් කළේ භාෂාව හැසිරවීමෙහිලා ඇය පෙන්වන නිරවුල් බව නිසයි. ඇය කවියට වස්තු කරගන්නා අදහස නොවිසිරී නොබිඳී ඒකීය ධාරණාවක් තුළ ශක්තිමත්ව ගොනුකිරීමට සමත් වේ. මෙහි සැලකිය යුතු තේමාත්මක ගැඹුරක් නැති වුවත් ඇය උනන්දු වුණානම් ව්‍යංගාර්ථ දනවන යටිපෙළක් මතු කරන්න තිබුණු බව මගේ අදහසයි. නව කවීන්ගේ නිර්මාණ ඇසුරු කිරීමත්, ලිවීමේ අභ්‍යාස කිරීමත් තුළින් වඩාත් සාර්ථක කිවිඳියක් වීමට අවස්ථාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

——

හඳ

ආවාට පෙනුණාම ඈතට
කැළැලක් දෙකක් මැවුණාට
හඳ කියන්නෙම
හරි අහිංසක කෙල්ලක්ට
හැමදාම

හඳ එළි හිනා වතුරේ
තරු පැටවු හිනස්සා
සතුටේ
ඈ දන්නවා
ජීවිතේ ගෙනියන රහසේ
සූත්තරේ

ඉඳහිටක වැහිකුළුවලට
වැහුණාට
ඔන්න ඈ මොහොතින්
ළා හිනා යළි පාවි
මිතුරේ

හඳ කියන්නෙම ඇත්තටම
හරි අහිංසක කෙල්ලක්ට
හැමදාම

ප්‍රියන්ගිකා ශ්‍යාමලී

—————

හීන

ඇස් පුරා ලස්සනට පාටකළ අහස
මෙච්චරම සුන්දරද කවියකුගෙ හීන
දැක නොදැක වගේ යන අරුම කිම අහන
කිරිල්ලක කිති කවයි නිහඬ ඇයි තාම

තෙතම තෙත නැතත් තෙත ටිකක් තිබුණාම
පැළ වෙන්න බලනවා මල් සිහින හිත ගාව
බිඟුන් වැඳ සිඹිනු දැක නොඇසෙන්න කීව
රහස රැකගත් කෙනෙක් ලොවේ හමුවීද

වසන්තෙට අත වනන මල් තුහින නෑව
ගොඩක් මල් මත තිබුණි මුතු කඳුළු බෝම
හෙටක් ගැන කතාකර හිරු ළඟදි කීව
ආදරය අනන්තයි ගැහැනු සිත් ගාව

ධම්මි අනුරපුර

—————–

ආරාධිත කවිය

(අමෙරිකානු ජාතික කිවිඳියක් වන එමෙලි ඩිකන්ස්ගේ A bird came down the walk නම් කවියේ අනුවාදය. )

ඇවිද ආවා කුරුල්ලෙක් අඩි පාරකින්

ඇවිද ආවා කුරුල්ලෙක් අඩි පාරකින්
ඔහු නොදැන සිටියා මා බලා සිටි බව
දෙකඩකර ඔහු කඩාදමමින් ගිල දැමුවේ
ගැඩවිලෙකු පණපිටින්

යාබද තණ පෙත්තකින් පිනි බිඳක් බී
නැඹුරු වී ඉවුරට
ඉඩක් දුණි කුරුමිණියකුට
ඔහු පසුකරන් යන්නට

විපරම් කළේ ඔහු මුළු වටපිටාවම
බියට පත් පබළුවන් දෙනෙතිනි
අනතුරක් දුටු අයකු මෙන්
ඔහුගේ විල්ලුද හිස විමසිල්ලෙන්
එසවූ බව මට දැනුණි

දුන් විට මා පාන් කැබැල්ලක්
විහිදුවා ඔහු පියාපත්
නිසලව පැද යන ඔරුවක් ලෙසින්
කැදැල්ලට ඉගිළ ගිය විලාසය

මද්දහනේ ගං ඉවුරෙන් ඔබ්බට
පියාසලනා සමනලුන්ටත්
මහ සයුර හබලෙන් දෙපළු කරවන
දෙපියන් රැල්ලේ රිදී රේඛාවන්ටත්
වඩා මනරම්ය

ජෙෆ්රි ජී අවුට්ස්කූන්

———————

වෙරළක තනිව

වෙරළක තනිව පියනඟනා සැඳෑවක
රළ පෙළ හැඬූ පෙරළී කිය කියා දුක
විඳ තෙත සුළං රත නරඹමි වලාවෙක
අමනාපයෙන් ඉර ගිලුණා නිම්නයක

සක් බෙලි සිප්පි කටු අතරින් මතුව එන
රහසක් ඇවිද යයි රළ දෙසටම බිඳෙන
ඔරුවක් දියඹ පාවෙයි ඉමක් සොයමින
එතැනත් කෙනෙක් විය හැක මංමුළා වුණ

කෙමෙන් අඳුරු තිර ඇද ඇස අඳ කෙරුණු
දසතින් ඇසේ දහසක් දෙන සුසුම්ලනු
මුළු දිනයක්ම සැඩ හිරු රැසින් පෑරුණු
සයුරට ඇද්ද මඳ සොම්නසක් සැනසුණු

පාලිත අරවින්ද වීරක්කොඩි

—————

ළපටි අත්තටු සමනලිය

හීන තැවරූ නෙතින් නෙත
හදවතට බර වැඩියි ඔය හිත
සංසාර සිහිනයක බොඳ වූ
චායාව බැහැ දරා ගන්නට

පෙරුම් පිරුවද හිමි නොවූ ඒ
පෙරුම් නොපිරූ නමුදු හිමි වූ
ප්‍රේමයේ රත් කොපුල් අද්දර
තබනවා සුන්දරම සිහිනය

පිපෙනවා මනරම් වසන්තෙක
රතුම රතු මල් පාර අද්දර
ඇවිද යනවා ඔබත් එක්කල
ළපටි අත්තටු සමනලිය මම

අංගප්පුලිගෙ කැලුම් විරාජ් චතුරංග

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?