Friday, October 3, 2025
Epaper
Home නවකතාවමට ඔයා එක්ක කතා කරන්න ඕනෙ

මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ

by Thanushika

මෙතෙක් කතාව

නිගූ නේත්‍ර ද සිල්වා වෙළෙඳ ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙක් සේම විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද වෙයි. තම සරසවි පෙම්වතිය වන කාංචනා විවාහ කරගෙන සාරා නම් කුඩා දියණිය ද ලබා සිටින ඔහුගේ දිවි ගමන අනපේක්ෂිත කුණාටුවකට මුහුණ දෙයි. කාංචනා වෙනත් සම්බන්ධයක පැටලී සිටින බව දැනගන්නා නිගූ තමා වෙත ළං වූ පැරණි සිසුවියක වන අසෙනි සමඟ පෙමින් බැඳෙයි. කාංචනා, නිගූව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වන්නේ ඔහු අම්මාගේ ග්‍රහණය තුළ තවමත් සිර වී සිටීම බව කාංචනා හඟවයි. ඒ අතර තමාගේ සිත ආපසු නිගූ වෙත පැමිණෙන තුරු ඉවසා සිටින ලෙස කාංචනා පවසයි. එහෙත් නිගූ මේ දෙගිඩියාවේ ජීවත්වන්නට අකැමැති වෙයි. ඔහු අසෙනිගෙන් පතන්නේ යළිත් අම්මා කෙනකුගේ බඳු ආදරයකි. නිගූ තමා මුහුණ දී සිටින අවුල සමීප මිතුරකු වන සාලින්ද සමඟ පවසයි. කාංචනා දැන් නිගූව නොසලකා සිටින බැවින් එය තේරුම් ගෙන ආදරය කරන කෙනකුගේ ආදරය ලබමින් ජීවත් වන්නැයි සාලින්ද පවසයි. මේ අතර තම වේදනාකාරී විවාහ දිවියේ රිදවුම්වලින් මඟහැර සිටින්නට ඔහු මාලබේ ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගනියි. සාරාගේ උපන් දිනය දා අම්මා සමඟ නිවෙසට පැමිණ උපන් දින සාදයේ මිතුරන් අතර සිටින නිගූට, කාංචනා විසින් සාරදා නම් යුවතියක් හඳුන්වා දෙයි. සාරදා නිගූගේ කලාත්මක ජීවිතය කෙරෙහි දැඩිව ආසක්තව සිටින යුවතියකි.

අද එතැන් සිට…

අසෙනි ඇරලවා මාලබේ නි‍ෙවසට යා යුතු යැයි සනිටුහන් කරගෙන සිටියද මඳ දුරක් යද්දී නිගූගේ සිත වෙනස් වෙයි. අසෙනිගේ මවුපියන් ඉදිරිපිට තමා ගොළු වී සිටීම ගැන ඔහුට තමා ගැනම කේන්තියක් ඇති වෙයි. කිසි දිනෙක කිසිදු තීරණයකට තනිවම එළඹෙන්නට නොහැකි වීම පිළිබඳ තමා ගැනම කලකිරීමක් උපදියි.

ඇරැව්වල සිට මහරගම දෙසට පැමිණියද තමා යා යුත්තේ කොහේදැයි තීරණය කර ගත නොහැකිව ඔහු රථය අයින් කර නවතා ගනීයි. අසෙනිට කිහිප වරක් ඇමතුවද ප්‍රතිචාර නැත. ඈ දැනටමත් සුව නින්දක ගිලී සිටිනු ඇත. මාලබේ ගොස් තනිවම නිදා ගැනීම කරුමයකි. නිගූට අම්මා ළඟට යා යුතු යැයි සිතෙයි. සාරා ළඟට ගොස් ඇය තුරුලු කර ගත යුතු යැයි සිතෙයි. කහතුඩුවේ ගෙදර ගොස් පොත් කාමරයට වැදී පොත් අතර තනිවන්නට සිතෙයි. හිස බමයි. විටින් විට ඈත සිට වදින වාහන එළි කිරණවලට ඔහුගේ ඇස් පියවෙයි. අවන්හලකට හෝ තැබෑරුමකට වැදී සිහි විකල් වෙනතුරු බොන්නට හිතෙයි.

අම්මා ළඟට ගොස් මේ හැම දෙයක්ම කියා ඇගෙන් විසඳුමක් පැතිය යුතුයි. දවසක් දෙකක් අම්මා ළඟින්ම හිඳිමින් කල් ගෙවන්නට ඇත්නම් කියා නිගූට සිතෙයි. පේරාදෙණියේ සිට පැමිණෙන සමහර සති අන්තවල දවස පුරාම අම්මා ළඟටම වී දැවටෙමින් සිටි අයුරු මතකයට නැඟෙයි. වත්ත පුරා ඇවිදිමින් අම්මා මැල්ලුමකට නොයෙක් කොළ වර්ග සොයන අතර අම්මාගේ පසුපසින් වැටී නොයෙක් දේවල් ගැන කතා කළ දවස් කොතරම් සනීප ද? නවකවද කාලයේ නිගූ ඇඳගෙන සිටි කලිසම ඝනකම ටශෝ රෙද්දෙන් කළ එකකි. අනෙක් නවකයන්ගේ කලිසම්වලට වඩා නිගූගේ කලිසමේ වෙනසක් නිරීක්ෂණය කළ ජ්‍යෙෂ්ඨයෙක් නිගූවත්, ඔහුගේ මිතුරාත් අහස් මාලිගාව නමින් හඳුන්වා දුන් මාකස් ප්‍රනාන්දු ශාලාවට රැගෙන ගොස් එහි කාමරයකට දමා වධ දුන් අයුරු ඔහු අම්මාට කියයි. අම්මා ඊට පිළියමක් ලෙස කියූ වචන තවමත් නිගූට මතකයි.

“පුතේ බලන්න අර පරණ අල්මාරිය ඇරලා. මට මතකයි තාත්තගේ පරණ කලිසම් වගයක් තිබුණා ඒකේ. මං හිතන්ෙන් ඔයා ඔය කියන විදිහේ ඒවා එතැන ඇති.”

පරණ අල්මාරිය අදින විට තාත්තාගේ පරණ කලිසම් රැසක් තිබෙයි. ඒ අතර ළා කොළ පාට කලිසම “යං කලිසම් මං එන්නම්” වර්ගයේ එකකි. එහි ෆෝල්ට් එක සෑහෙන්න දිගයි. ෆ්ලීට් එකක්වත් නැත . එහෙත් කලිසම් රෙද්ද පොදු සිසුන් අඳින කලිසම්වල රෙද්දට හරියටම සමානයි. ඊළඟ සතියෙහි නිගූ ඒ අමුතු කලිසම ඇඳගෙන නවකයන්ගේ පෝලිමට එක් වෙයි. “කලිසම හින්දා තමා තෝ පතුරු ඇරගන්න හදන්නේ” යි කී ජ්‍යෙෂ්ඨයා එම කලිසම දෙස අන්දමන්දව බලයි. ඒ ජ්‍යෙෂ්ඨයා නිහඬ කරවීම පමණක් නොව අනෙක් ජ්‍යෙෂ්ඨයන්ගේ සෝපාහාස මුසු අවධානයට පාත්‍ර වීමට ද ඔහුට හැකි වෙයි. එදවස තමා නවකවදයෙන් ගැල වී ගත්තේ අම්මාගේ මඟ පෙන්වීමෙන් බව නිගූට සිහිපත් වෙයි. දැන් තමා පත්ව සිටින ගන්ධබ්බ තත්ත්වයෙන් ගොඩ ඒමටද අම්මා කරා යායුතු ම යැයි සිතෙයි. නිගූ හදිසියේම අම්මාට ඇමතුමක් ගනීයි.

” නිගූ…. පුතේ ඔයා කොහෙ ද?”

“අම්මා මොකද කරන්නෙ..”

“මං මේ කාලා බීලාහෙම පොතකුත් අරන් ඇඳට ආවා. දැන් කීය ද?”

අම්මා නිදන්නට හදන වේලේ තමාගේ දුක කියා ඇයට කරදර නොකළ යුතුය. ඈ කොහොමත් නිගූ කෙරෙහි මාත්‍රාව ඉක්මවා සංවේදීය. දැන් මේ ප්‍රශ්න ජංගමයෙන් කිව නොහැකිය. සාරාගේ උපන්දිනය දා අම්මා කැඳවාගෙන යමින් සිටියදී අම්මා ඇසූ සමහර ප්‍රශ්නවලට නිගූ උත්තර නොබඳින්නට පරිස්සම් වෙයි.

“පුතේ ඔයා කල්පනා කරන්න ඕ‍ෙන ඔයාගේ සතුට තියෙන්නෙ කොතැනද කියන එක විතරයි… ඉතින් ඔයා මට කියන්නෑනෙ ඔයාගේ සතුට තියෙන්නෙ කොතැනද කියලා.”

ඇත්තටම ඒ මොහොතේ තමා අසෙනිගේ ආදරයෙන් නිවෙන බව කියන්නට නිගූට අවස්ථාව ලැබුණත් ඒකට තවම කල් වැඩි යැයි සිතා කල් දමයි.

“නෑ අම්මා මං නිකම් ගත්තෙ.. ඔයාට කොහොමද බලන්න..මට ඔයා එක්ක කතා කරන්න ඕ‍ෙන.. මෙහෙම බෑ.. මං ඔහෙ එන්නම් අම්මා..”

“හා පුතේ.. මට තේරෙනවා ඔයාට මොනවා හරි කියන්න තියෙනවා කියලා.. මං එදා කිව්ව වගේ ම ආයෙමත් කියන්නෙ.. ඔයාගේ සන්තෝසෙ තමා වැදගත් ම.. ඒක නැති වුණු ගමන් අනිත් ඔක්කොම නැති වෙනවා.”

අම්මාට සුවෙන් නිදන්නැයි සමු දී, නිගූ මිතුරෙකුට අමතයි. මිතුරෙක් යැයි කීවද විරාජ් සමඟ නිගූට රාජකාරීමය බැඳීමක් ද තිබෙයි. නිගූගේ ආයතනයෙහි නිෂ්පාදන සහකාරවරයකු වන විරාජ් තමා වෙත පැවරෙන හැම කටයුත්තක්ම පමණක් නොව ආයතනය වෙනුවෙන් කළ යුතු සෑම දෙයක්මත් සොයා බලන කල්‍යාණයෙකි. එමෙන් ම අතිශය විනෝදකාමියෙකි. ඔහු සමඟ යන ගමන් බිමන් නතර වන්නේ කොහෙන්දැයි ඔහුවත් නොදනීයි.

” විරාජයා උඹ කොහෙ ද? ”

” අහ්… බොස් මම ඉන්නෙ ගෙදර.. අනිද්දා ශූට් එකේ වැඩ ටික ඔක්කොම හරි.. මම තවම මේ කොටේශන් වගයක් චෙක් කරනවා බොස්.. ලයිට් බඩු වාගයක.”

“ඔය මඟුලකට නෙවෙයි බං මං ගත්තෙ..මට බොන්න ඕ‍ෙන”

“ඉතින් බොමු.. මං ගාවත් තියෙනවා බී ෆීටර් එකක්.. මොකෝ කරන්නෙ කොහාට හරි යනවද නැත්නම් බෝඩිමේ සෙට් වෙනව ද?

පැලවත්ත පැත්තට වෙන්නට ඇති නිදහස් උඩුමහලක් විරාජ්ගේ නවාතැනයි. තවම තනිකඩයෙකි. ගම, මාතලේ කූඹියන්ගොඩයි. නිගූට හමු වන විට විරාජ් කැලණියෙහි විෂුවල් ආර්ට්ස් සිසුවෙකි. නිදහස් උඩුමහලෙහි එළිමහන් වැරැන්ඩාවේ පරණ සෝෆාව ළඟ ඇති ස්ටූලය මතට බීෆීටරය ද කුකුළු මස් තසිමක් ද පැමිණෙයි. ශොට් ග්ලාස් පතුලට අවර්ණ ජින් සාරය පිරෙයි. තුනීවට කැපූ දෙහි පෙත්තක් එහි මතු පිට බුබුළු නංවා පාවෙයි. සිගරට් පැකැට්ටුවක් ද තව තවත් එතුම් කළමනා වගයක් ද කැටුව විරාජ් ස්ටූලයට ළං වෙයි. වැරැන්ඩාවට ඉහළ අහසේ ඩයිනෝසර නෙතක් බඳු සඳ, වලා කැරැල්ලකින් මෑත්ව රශ්මි වගුරයි. විත් පිරෙයි. මධු මතින් ද සැර ධුපයෙන් ද නෙත් අඩවන් කෙරෙයි. නිශාචර සලෙළ හැඟුම්, රාත්‍රිය යෞවනෝදයට කැඳවයි.

“යමුද මෙරයින් ඩ්‍රයිව් පැත්තෙ… මගේ යාළුවකුගේ ක්ලබ් එකක ඕපනින් එක.. හැන්දෑවෙ නම් යන්ඩ වයිබ් එකක් තිබ්බෙම නෑ.. මොකෝ කියන්නෙ..”

එබඳු යෝජනාවක් විරාජ් තනිකඩයාට කවර අහසක හෝ සරන්නට අත්තටු පැලැන්දීමකි.

 

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?