කමල්දීන් 16 හැවිරිදි පාසල් දරුවකු විය. අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළා පමණි. 2022 වර්ෂයේ අගෝස්තු මස 07 වැනි දින ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගු වට ගැනුණේ අසල නිෙවසක රත්රන් භාණ්ඩ සොරකමකට සැකපිටය. ඔහුව පොලිස් නිලධාරීන් විසින් දරුණු වධ බන්ධනයට ලක් කරන ලදි. කමල්දීන්ගේ අසරණ මව පොලීසිය ඉදිරිපිට හඬාවැටෙද්දී දරුවා දකින්නට හෝ ඇයට සැලැස්වූයේ නැත. දරුවා වේදනාවෙන් පොලිස් ස්ථානය තුළ කෑගසන හඬ අසා සිටින්නට තරම් ඇය අවාසනාවන්ත වූවාය. අගෝස්තු මස 09 වැනි දින පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද කමල්දීන් සියලු චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදි.
කමල්දීන්ගේ මව සිය දරුවාට සහ මවක වශයෙන් තමාට සිදු වූ අසාධාරණය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙන ගියාය. එම නඩු කටයුත්ත පුරා වසර දෙකක කාලයක් ගරු ජනක් ද සිල්වා, මේනක විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරු මඬුල්ල විසින් විමසන ලදුව ඉතා වැදගත්, ඓතිහාසික නඩු තීන්දුවක් ලෙස 2025 සැප්තැම්බර් මස 01 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලදි.
පොලීසිය දරුවාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය මඟින් සුරක්ෂිත කර ඇති කිසිවකු වධ හිංසාවලට, කෘෘර අමානුෂික අවමන්සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට ලක් නොවීමට ඇති කමල්දීන්ගේ අයිතිවාසිකම පොලීසිය විසින් කඩ කර ඇත. 2022 අගෝස්තු මස 06 වන දින ප්‍රශ්න කිරීම් සිදු කරන විට ද ඔහුට අමානුෂික ලෙස පහර දී ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුවද වචනයෙන් පැවසිය නොහැකි ආකාරයේ අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර තිබුණි. කමල්දීන් නිදහස් වූ වහාම රෝහල්ගත කරන ලදි. රෝහලේ වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවේ ඉතා පැහැදිලි ලෙස ඔහුගේ තුවාල, තැළීම්, ඒවා සිදු වී ඇතැයි සැක කරන ආකාරය, ඒවායේ කෙටි හා දිගුකාලීන බලපෑම් පිළිබඳ සඳහන් කර තිබුණි.
නීතියෙන් නියම කර ඇති ක්‍රමවේදයට පිටින් කමල්දීන්ව අත්අඩංගු වට ගැනීම සිදු කර තිබුණි. එය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තිය උල්ලංඝනය කිරීමක් බව නඩු තින්දුවේ දක්වා ඇත. මහේස්ත්‍රාත් උසාවියේ නඩු විභාගය අනුව රත්රන් බඩු නැතිවූ බවට පැමිණිල්ල සිදු කර තිබුණේ කමල්දීන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පසුවය. එනම් නිසි පැමිණිල්ලකින් තොරව කමල්දීන්ව අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම නීතියෙන් නියම කර ඇති පරිදි කමල්දීන්ව පැය 24ක් තුළ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් නොකිරීමෙන් ද ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ගරු විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.
නඩු තීන්දුවේ ඉතා වැදගත් අංගයක් වනුයේ කමල්දීන් නම් දරුවගේ මවගේ අයිතිවාසිකම් කඩ වීම සම්බන්ධයෙන් කර ඇති විග්‍රහයයි. කමල්දීන්ගේ මව දැඩි මානසික වධ බන්ධනයකට ලක් කර ඇති බව මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. සිය දරුවා සියැසින් දකින්නට නොදී, දරුවා වේදනාවෙන් කෑගසන හඬ ඇසීමට සැලැස්වීමෙන් මවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව මෙම නඩු තීන්දුවේ පැහැදිලි ලෙස දක්වා ඇත. ඉස්ලාම් ආගම සහ බෞද්ධ දර්ශනය තුළ මවක තුළ දරුවකු පිළිබඳ ඇති අප්‍රමාණ මවු සෙනෙහස විග්‍රහ කර ඇති ආකාරය නඩු තීන්දුවෙහි උපුටා දක්වා ඇත. කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රීසහගත සිත, පින් බලයෙන් සුරැකෙනුයේ එකම පුතකු ඇති මවක සිය දරුවා රකින්නාක් මෙන් යැයි දක්වා තිබීමෙන් මවු සෙනෙහසේ ප්‍රබල බව විදහා පායි. එවන් දරුවකුට සිදුවන අමානුෂික වධ බන්ධනයක් මවකට දරාගත නොහැකිය. ඇය පත් වූ මානසික පීඩනය පුරවැසියකු වශයෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් බව පැහැදිලි ලෙස දක්වා තිබේ.
බාලවයස්කරුවකුට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව වෙනම නීතියක් අප රට තුළ පවතී. එනම් ළමා හා යෞවන ආඥා පනතය. මෙම නීතිය 1939 දක්වා අතීතයට දිව යන නමුත් වරින් වර සංශෝධනය වී නව නීති එකතු වී ඇත. මෙම නීතියට අනුව බාලවයස්කරුවකු සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගැනීමේදී හා ඉන්පසුව අනුගමනය කළ යුතු ආකාරය දක්වා ඇත. මෙම සිදුවීමේ දී කමල්දීන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඒ කිසිවක් අනුගමනය කර නැති බව තීන්දු කර ඇත.
මෙම නඩු තීන්දුව අවසානයේ දී පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් කර ඇත. එනම් බාලවයස්කරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය 6ක් ඇතුළත මවුපියන්ට පෙන්විය යුතු බවට නියෝගයක් සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කරන ලෙසය. මෙය ළමා අයිතීන් සුරැකීම අතින් ගත් කළ සමාජයට ඉතා වැදගත් පණිවිඩයක් ලබා දෙන නියෝගයකි.
නීතියේ වෙනස් වෙන සාධනීය ලක්ෂණ පිළිබඳ පුරවැසියන් වශයෙන් අප සැම දැනුම්වත් වීම ඉතා වැදගත් වේ. යම් හෙයකින් අදාළ බලධාරීන් මෙම නීති රීති, නියෝග අනුව කටයුතු නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට පැමිණිලි කර යුක්තිය ඉටු කරවා ගැනීම අපගේ වගකීමකි. අවසානයේ වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට වන්දි මුදල් නියම කරන ලද අතර එම මුදල් සිය පෞද්ගලික ධනයෙන් දරුවාට සහ මවට ගෙවන ලෙස ද නියම කර ඇත.
නීතිඥ චන්දිවරී මල්ලවආරච්චි