Friday, October 3, 2025
Epaper
Home විශේෂාංගදරුවා ගැන වෙනදාටත් වඩා අවධානයෙන් ඉන්න

දරුවා ගැන වෙනදාටත් වඩා අවධානයෙන් ඉන්න

by Thanushika

අයිස් මත්ද්‍රව්‍ය ශීඝ්‍රයෙන් තරුණ ප්‍රජාව ගිල ගනිමින් සිටියි. මත්ද්‍රව්‍ය භාවිතය ගැන දිනෙන් දින ඇහෙන සංඛ්‍යා ලේඛන සිත තිගස්සවයි. අනාගත පරම්පරාව ඉදිරියේ ඇති අභියෝග යැයි මෙතෙක් සිතූ අභියෝග වෙනුවට වෙනම ම අභියෝග රැසක් මවුපියෝ ඉදිරියේ වෙති. දරුවාගේ අනාගතය සවිමත් කරන ඉගැනීම ගැන පමණක් සිහින මැවූ මවුපියන්ට දැන් දරුවාගේ චර්යාව පිළිබඳ ඊටත් වඩා සිතන්නට අවැසි කාලයක් උදා වී තිබේ. අයිස් වැනි මත්ද්‍රව්‍ය නිසා සමාජය වෙනස්ම ලෙස ගොඩනැඟෙන්නට පටන් ගෙන තිබේ. මේ මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ගේ ප්‍රධාන ඉලක්කය දරුවෝ ය. හෙට පිපෙන්නට දහසක් පැතුම් පැතූ දරුවන්ගේ ලෝකයට ආ මේ මාරයා අප සිතනවාට වඩා බලවත් බැව් ඔබ සිහි තබා ගත යුතුව ඇත.

දිවා රෑ නොතකා පාඩම් කරන දරුවාගේ මේසය යට, පුටුව යට හෝ ඇඳ යට තිබී ඔබට කැඩුණු විදුලි බල්බයක්, බීකරයක් හමු වුවහොත් තව දුරටත් එය දරුවාගේ පාසලේ ප්‍රායෝගික ක්‍රියාකාරකමකට අදාළ දෙයක් යැයි එකවර නොසිතිය යුතු කාලයක් එළැඹ ඇති බව අපි ඔබට සිහිපත් කරන්නෙමු. දරුවන් සැක කළ යුතු නැත. එහෙත් දරුවා යනු තවමත් ලෝකයේ බියකරු බව හරිහැටි අවබෝධ කරගන්නට තරම් පරිණත බවක් ලැබූවකු නොවන බව පමණක් ඔබ සිතිය යුතුය. එබැවින් ඔහු ඉදිරියේ ඇති මාරයා එකවර හඳුනා ගන්නට තරම් ශක්‍යතාවක් ඔහු සතු නොවන්නට හැකිය. මවුපියන් වන ඔබගේ වගකීම වන්නේ දරුවා වටා ඇති මේ ව්‍යසන පිළිබඳ දැනුවත්ව ජීවත් වීමයි.

විශේෂයෙන් දරුවන්ගේ ළඟම මිතුරිය වන්නේ අම්මාය. ගෙදර සුපහන් කරන ඔබ දරුවාගේ ජීවිතය ද සුපහන් කරන්නට අවබෝධයෙන් යුතුව ක්‍රියා කළ යුතු කාලය එළැඹ ඇත්තේය. එබැවින් ඔබේ දරුවා යන – එන තැන්, ඇසුරු කරන පුද්ගලයන්, ඔවුන්ගේ එදිනෙදා චර්යාවේ වෙනස්කම්, ඔවුන්ගේ ආහාර රටාවේ වෙනස්කම් ආදිය ඇතොත් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුව ඇත. ඒ සියල්ල පිටුපස ඇත්තේ අයිස් මාරයා ඔබේ නිවෙසේ සතුට උදුරා ගන්නට වැඩි කාලයක් නොගන්නා බවට ඉඟි විය හැකිය. එබැවින් ඔබ සැලකිලිමත් නොවුණහොත් ඔබේ දරුවාගේ සවිමත් හා ආදරණීය අනාගතය අයිස් මාරයා විසින් විනාශ කිරීමට ඇති සම්භාවිතාව ඉහළය.

ලෝකයේ ගමන ඉතා වේගවත්ය. ඒ වේගවත් බව දරුවන්ට දරා ගැනීමේ සීමාව කොතෙක්ද යන්න ගැන අප සවිඥානික නැත. එහෙත් ඒ හිදැස් පුරවන්නට සමත් බොහෝ ආදේශක මාරයාගේ වේශයෙන් වේගවත් ගමනක් එමින් සිටියි. එහි ගොදුරක් වීමට නොදී දරුවා රැක ගැනීම ඔබේ වගකීමය. තරුණී අප මේ පෙළ ගැසෙන්නේ ඔබේ දරුවා මේ වැනි ව්‍යසනවලින් රැක ගැනීමේ පෙරමුණ ගැනීමටය. ගෙදර සතුට, ආලෝකය හා අනාගතය ඇත්තේ කාන්තා ඔබ අතය. ඔබ ඔබේ සමීපතමයන් ගැන සැලිකිලිමත් වුවහොත් ඔබට දුක් වීමට අවැසි නොවනු ඇත. මේ පණිවිඩය ඒ වෙනුවෙනි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?