Friday, October 3, 2025
Epaper
Home විශේෂාංගඔක්කොම කුණු බේරේ වැවට

ඔක්කොම කුණු බේරේ වැවට

by Thanushika

අප කටවහරේ කියන්නේ ඔක්කොම කුණු බේරේ වැවට කියා හැම වරදක්ම, දොස් එකතැනක එක්වීමටය.

එය බොහෝ විට බලය පිළිබඳ කරුණකි. බලයෙන් අඩු පුද්ගලයා වෙතින් පීඩනය පිටවී යයි. එයට සිංහල වහරේ කියන්නේ මිටි තැනින් දිය ගලා යාමක් සේ කියාය. ඒ අනුව සියල්ලටම බැණුම් ඇසිය යුත්තේ අම්මාය. දරුවකු කුඩා කල වැටුණොත් බණින්නේ අම්මාටය. පාසලේ ලකුණු අඩු වුවහොත් බැණුම් ඇසිය යුත්තේ අම්මාය. වැඩිහිටි කල එම දරුවා වරදක් කළ විටද බැණුම් ඇසිය යුත්තේ අම්මාය. මෙහි ඇත්තේ කුමන සාධාරණයක් ද?

ලංකාවේ පවුලක බල ධූරාවලිය තුළ පිරිමියා ඉහළෙන් තැබීම නිසා නිතරම පවුලේ පීඩනය පිටව යන්නේ බිරිය වෙතිනි. එසේම සෑම වරදකටම බොහෝ විට වරදකරුවා වන්නේ ද බිරියයි.

ළමයි හදලා තියෙන වරද යැයි කියන්නේ අම්මාටය. එහෙත් දරුවන් හැදීම යනු අම්මාගේ තනි කාර්යයක් නොවේ. දරුවෙක් හැදීම මවගේ මෙන්ම පියාගේ ද කාර්යයකි. වැඩිහිටියන්ගේ, ඥාතීන්ගේ මෙන්ම පාසලේ ද කාර්යයකි. සමාජයේ ද කාර්යයකි.

එහෙත් තවමත් ජනවහර තුළ දරුවකුගේ වරදකදී බණින්නේ අම්මා මතක් කරමිනි. එය එසේ සකස් වීමට එක් හේතුවක් නම්, පියා රැකියාවට යාම සහ මව නි‍ෙවසේ සිට දරුවන් බලා ගැනීම නමැති පැරණි මොඩලය නිසාය. එහෙත් එම මොඩලය මේ වන විට යල් පැන ගොස් ඇත. මව ද පියා ද රැකියාවට යති. දෙදෙනාම රෑ බෝ වී පැමිණෙති. එසේ නම් නි‍ෙවසේ වැඩ දෙදෙනා බෙදා ගත යුතුය. එහෙත් එසේ වැඩ බෙදා ගන්නා පවුල් ඇත්තේ කීයෙන් කීයක්ද?

බිරිය වැඩ ඇරී ඇවිත් නැවත තනිවම උයන්නත්, සැමියා ඇඟපත සෝදාගෙන රූපවාහිනිය ඉදිරියේ ඉඳ ගැනීමත් අසාධාරණ බව තේරුම් යා යුතුය.

ඉවීම, රෙදි සේදීම, දරුවන්ගේ පාසල් වැඩට උදවු කිරීම යන සියල්ල තව දුරටත් වැඩ ඇරී එන අම්මා පිටම පැවරිය යුතු තනි වගකීමක් නොවේ. බොහෝ විට මෙයට නි‍ෙවසේ සිටින වැඩිහිටියන්ට සැලකීම සහ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම ද අයත් වේ. මේ සියල්ල කරමින්ම අම්මා දරුවන්ගේ වරදට බැණුම් ඇසිය යුතුය.

නි‍ෙවසේ වැඩ බෙදා ගන්නට තරම් පවුලේ සාමාජිකයින් සාධාරණ වන අවස්ථා කොතරම් අඩුද?

දරුවන්ට ගුණධර්ම කියා දීම, සංවේදී ලෙස දරුවන් ලොකු මහත් කිරීමේ කාර්යයේ දී අම්මා මෙන්ම ඊට තාත්තා ද වගකිව යුතුය. ඇතැම් විට දරුවන් සිදු කරන වැරදි ඔවුන්ට පාසලෙන්, සමාජයෙන් ලැබුණු දේවල් හෝ නොමඟ ගිය අවස්ථා විය හැකිය. දරුවන් ආශ්‍රය කරන්නේ කවුද යනාදී දරුවන් දෙස ඇස ගසා සිටීම මවගේ තනි කාර්යයක් නොවේ. මේ නිසා දරුවන් සම්බන්ධ වැරදිවලදී අම්මාට බණින්නට ඉක්මන් වන සමාජ ආකල්පය වෙනස් කරන්නට අප දැන්වත් කටයුතු කළ යුතු වේ. දරුවන් හැදීම සමාජ වගකීමකි.

 

සංජීවනී රූපසිංහ

‍‍ෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධයන අංශය

කැලණිය විශ්වවිලය

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?