Friday, October 3, 2025
Epaper
Home විශේෂාංගපිටරටක ජීවත්වීම හැමෝගෙම හීනයක් රැවටිලිකාරයන්ට හසුවන්න එපා

පිටරටක ජීවත්වීම හැමෝගෙම හීනයක් රැවටිලිකාරයන්ට හසුවන්න එපා

එංගලන්ත නීති ක්ෂේත්‍රයේ අණසක පතුරවන ලාංකේය කාන්තාව නීතිඥ චමිලා උඩගෙදර

by Thanushika

“සුවපහසු රටක ජීවිතය විඳින්න, ජයගන්න අපි හැමෝම කැමතියි. ඒක ඇත්ත. ඒත් රැවැටිලිකරුවන්ගෙන් බේරිලා නිවැරැදිම ක්‍රමයට එන්න උත්සාහ කරන්න ඕනි. එහෙම එන්න එංගලන්තයේ තවම කිසිම බාධාවක් නෑ. අනික ආගමන විගමන නීති මේ ළඟදි වෙනස් වුණාට ඒක ඔය කියන තරම් රකුසෙක් නෙවෙයි.”

මෙහෙම කියන්නේ මේ වනවිට එක්සත් රාජධානියේ ‘කැපිටල් ලීගල් සොලිසිටර්ස්’ (Capital Legal Solicitors) නම් වූ නීති උපදේශනායතනයේ අධිපති ‘චමිලා උඩගෙදර’ මහත්මියයි. ශ්‍රී ලංකාවේ ඉපිද නීති විද්‍යාලයේ නීතිය හදාරා පසුව ජ්‍යෙෂ්ඨ අධිකරණ නීතිඥවරියක ලෙස දිවුරුම් දී පසුව එක්සත් රාජධානියට සංක්‍රමණය වූ ඇය අද එහි සොලිසිටර්වරියක්. ‘ගර්ලි යහම්පත්’ සහ ‘විමල් උඩගෙදර’ යන මවුපියන් දෙපළගේ එකම දියණිය වන ඇය ස්වෝත්සාහයෙන් ජීවිතය දිනූ දිරිය කතක්.

එරට ප්‍රධාන ව්‍යවසායිකාවක ලෙස ඇය වෘත්තීමය නිපුණතා තුළින් දක්වන අනගි පෙළහර කාන්තාවක් ලෙස කොතරම් වූ විස්මයජනක දැයි හිතෙන්නේ ඇය පැමිණි ගමන් මගේ බාධක, ගිරි දුර්ග ගැන විමසූ විටය. ශ්‍රී ලාංකික කාන්තාවක ලෙස එක්සත් රාජධානියේ නීති ක්ෂේත්‍රයේ සිය අණසක පතුරවමින් ඇය තම වෘත්තීමය නිපුණතා පෙළගස්වනවා පමණක් නොව ඕනෑම ජාතියකට අයත් කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින අභීත මාතාවක්. අප මේ තරුණී පිළිසඳරෙන් ඇය හා දොඩමලු වන්නේ කාන්තාවන් වෙනුවෙන් ඇය නඟන හඬේ අරුත අප පාඨකයින්ට වැදගත් වන නිසාවෙනි.

ඔබ කවුද?

ශ්‍රී ලාංකික දියණියක්. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ දැරියක්. නීතිඥවරියක ලෙස වෘත්තීය ආරම්භ කොට එක්සත් රාජධානියට සංක්‍රමණය වී වසර 25කට ආසන්න කාලයක් මගේ නීතිමය දැනුම ස්වේච්ඡාවෙන් කාන්තා අයිතීන් වෙනුවෙන් කැප කරන කෙනෙක්.

එහෙම කියන්න හේතු මොනවද?

ලංකාව පමණක් නෙවෙයි, ලෝකෙ ඕනෑම රටක කාන්තාවන්ට බොහෝ අසාධාරණකම්, අකටයුතුකම් සිදුවෙනවා. විශේෂයෙන් ගෘහස්ථ හිංසනයට ලක් වෙන කාන්තාවන් රටවල් වශයෙන් වර්ගීකරණය කරන්න බැහැ. ඒවා ප්‍රසිද්ධියේ වගේම රහසේ සිදුවන දේවල්. 2000 වසරේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට පැමිණි මම 2002 වසරේ සොලිසිටර්වරියක ලෙස වෘත්තීය නිපුණතා සමත් වූ පසු ‘රයිට්ස් ඔෆ් විමෙන්’ (Rights of women) නම් කාන්තා ස්වෙච්ඡා සංවිධානයක් එක්ක කටයුතු කරන්න පෙරමුණ ගත්තා. මේ ආයතනයෙන් සිදුවුණේ ගෘහස්ථ හිංසනයට පාත්‍රවන කාන්තාවන්ට නොමිලේ නීති උපදේශන සැපයීමයි. විවිධ රටවල සොලිසිටර්වරු සහ බැරිස්ටර්වරු සමඟ එක්ව මම ඒ මෙහෙවරේ පෙරමුණ ගෙන කටයුතු කරනවා. ආසියාතික කාන්තාවන්ට පමණක් නොවේ, යුරෝපීය කාන්තාවන් පවා අපෙන් උපදෙස් පතනවා. ඊට අමතරව පවුල් ආරවුල් සමථයකට පත් කර ගැනීමට හෝ වේදනාකාරී වූ විවාහයන්ගෙන් වෙන් වී ජීවිතය නැවත හරි මඟට ගන්නට උපදෙස් ලබාදෙන නීතිඥවරුන්ගේ සංගමයක විශේෂ කමිටු සාමාජිකාවක් ලෙස කටයුතු කරනවා. කාන්තාවක් ලෙස තවත් අසරණ වුණු කාන්තාවකට ජාති, ආගම් භේදයකින් තොරව යම් උපකාරයක් ස්වේච්ඡාවෙන් කරන්න මට හැකිවීම ගැන පුංචි නිහතමානි ආඩම්බරයකුත් තියෙනවා. මගේ පාසල් මවගෙන් ලැබූ පන්නරය මාව ඒ සඳහා මෙහෙයවන බව විශ්වාස කරනවා.

ඔබ දක්ෂ ව්‍යවසායිකාවක්. මේ සියල්ලට අමතරව ඔබ ‘කැපිටල් ලීගල් සොලිසිටර්ස්’ (Capital Legal Solicitors) නම් වූ නීතිඥ සමාගමක් පවත්වාගෙන යනවා. මේ තුළින් ඔබ සපයන වෙනත් සේවාවන් මොනවාද?

ඒ මගේ වෘත්තිය. උපන් බිමෙන් පිටතට පැමිණ යුරෝපයේ මෙවැනි රටක මේ ආකාරයේ ආයතනයක් පවත්වාගෙන යෑම ආසියාතික කාන්තාවක් ලෙස අභියෝගයක්. ඒත් මම ඉතාමත් තෘප්තියකින් මේ ආයතනය දියුණු කරමින් ඉදිරියට ගෙනාවා.

ඔබේ නීති ආයතනය තුළින් ලබා ගත හැකි සේවාවන් මොනවාද?

සංක්‍රමණික සේවා ඇතුළු එංගලන්තයේ පදිංචි වීමට කැමති හෝ අධ්‍යාපනය හදාරන්නට කැමති ඕනෑම අයෙකුට අප ආයතනය උපදෙස් ලබා දෙමින් සේවා පවත්වනවා.

පිටරටක ජීවත්වීම හැමෝගෙම සිහිනයක්. ඒත් මිනිස්සුන් හරියට රැවටිලිකාරයින්ට හසු වෙනවා. සිහින පමණක් නොවෙයි මුදල් ද අහිමි කරගන්නවා. එංගලන්තයේත් මෑතක එම රජය සංක්‍රමණික නීති දැඩි කළා නේද?

ඒ නීති රීති හැමදාම වසරෙන් වසර මුළු යුරෝපයේම වැඩි වුණා. ඒත් එංගලන්ත ආණ්ඩුව ඉදිරිපත් කළ සුදු ධවල පත්‍රිකාව කියන තරම් රකුසෙක් නෙවෙයි. තවමත් ශිෂ්‍ය වීසා යටතේ උපාධිය, මාස්ටර්ස් හෝ මාස්ටර්ස් රිසර්ච්, පී.එච්.ඩී වගේම ග්ලෝබල් ටැලන්ට් වීසා, ඉන්වෙන්ටර් වීසා හෝ ස්කිල් ව’කර් යන ආදී නම්වලින් හැඳින්වෙන වීසා ක්‍රම මඟින් තනිව හෝ සිය පවුලේ සාමාජිකයින් සමඟ එංගලන්තයට පැමිණිය හැකියි. ව්‍යාපාරයක් කිරීමේ අරමුණින් එන අයට වසර 3න් ස්ථිර නේවාසික තත්ත්වයන් දක්වා පරිවර්තනය කරගන්න පුළුවන්. විවිධ විෂයන් සඳහා පරිණත, සුවිශේෂී දස්කම් තියෙන පුද්ගලයින්ට ග්ලෝබල් ටැලන්ට් වීසා මඟින් ඉල්ලීම් කළ හැකියි. ආට් ඇන්ඩ් කල්චර් ඩිජිටල් ටෙක්නොලොජි තියෙන අයට ඒ සඳහා ඉල්ලීම් කළ හැකියි. හැබැයි ඉංග්‍රීසි භාෂා නිපුණත්වය මේ හැම ක්‍රමයකටම ඉතා තදින් බලපානවා. මීට අමතරව මගේ නීති උපදේශන ආයතනය තුළින් සංචාරක වීසා වගේම පවුල් ආරවුල් සම්බන්ධයෙනුත් උපදෙස් ලබා දෙනවා. සිවිල් නඩු කටයුතු සඳහාත් අප එක්වනවා. මෙම ඊමේල් ලිපිනයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබට හෝ එක්සත් රාජධානියේ වෙසෙන ඔබේ ඥාතියකුට අප හා සම්බන්ධ විය හැකියි.

[email protected]

6) මීට අමතරව ඔබ එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික සමාජය තුළ ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්. මියුසියස් විද්‍යාලයේ එක්සත් රාජධානි ශාඛාවේ ආදි සිසු සංගමයේ සභාපතිනිය. ඔබ හා ඔබේ පිරිවර එක්ව එරට තුළ සිදු කරන සමාජීය හා සංස්කෘතික සේවාවන් ගැන කතා නොකළොත් අඩුවක් නේද?

මියුසියස් විද්‍යාලය යනු ලංකාවේ ප්‍රථම බෞද්ධ පාසලයි. එහි එක්සත් රාජධානිය ශාඛාවේ සභාපතිනිය වශයෙන් අප ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ සිදු කෙරෙන බොහෝ කටයුතුවලට කණ්ඩායමක් ලෙස දායක වනවා. ක්‍රීඩා තරග, සංස්කෘතික කටයුතු වලට මෙන්ම සමාජ සේවා කටයුතු සඳහා ද අප කණ්ඩායමක් ලෙස ක්‍රියාකාරීව සිටිනවා. යුරෝපයේම ප්‍රසිද්ධ එෆ්.ඕ. සී. හෙවත් සියලු පාසල්වල සහභාගිත්වයෙන් පවත්වන ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් තරගාවලිය(festival of cricket), රගර් තරගාවලි සහ නෙට්බෝල් තරගාවලි සඳහාද අප පාසල නියෝජනය කරනවා. සෑම වසරකම වෙසක් උත්සවය නිමිති කොටගෙන භක්ති ගීත ද ඇතුළත්ව පවත්වන වෙසක් දහම් වැඩසටහන අති විශේෂයි. මෙරට තිබෙන ශ්‍රී ලංකාවේ පාසල් සංවිධාන තුළින් වෙසක් උත්සවය වෙනුවෙන් මෙවන් වැඩසටහනක් පවත්වන්නේ තවම අප පමණයි. කොහොමත් මියුසියස් විද්‍යාලීය ප්‍රජා කටයුතුවලදී ඒවා බෞද්ධ මුහුණුවරකින් ඉදිරිපත් කරන්න මම බොහෝ උත්සාහ ගන්නවා. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ මෙන්ම අනෙකුත් පිරිමි සහ කාන්තා පාසල් කණ්ඩායම් සමඟ අප බොහෝ සමීපව කටයුතු කරනවා.මෑතකදී ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා සංගමය හා එක්ව පැවැත්වූ පරණ වාඩිය නම් වූ සංගීත සැදෑව මෙහි ශ්‍රී ලාංකිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට ලක්‌ වූ ප්‍රසංගයක් වූවා. මේ සියලු කටයුතු සඳහා එංගලන්තයේ වෙසෙන මගේ විද්‍යාලීය ආදි සිසුවියන්ගෙන් ලැබෙන සහාය ගැන මට බොහෝ ආඩම්බරයි. අපි අතිදක්ෂ කණ්ඩායමක්‌ ලෙස එක්ව කටයුතු කරනවා.

පියුමි ජයකලණි වික්‍රමආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?