වේයන්ගොඩ – මුද්දරගම ග්‍රාමයට මා ළඟා වන විට සවස 3 පහුවෙලා තිබුණත්, වැස්සක පෙරනිමිති පෙන්වමින් අහස කළු වලාකුළින් වැසී හාත්පසම අඳුරු ගැන්වී තිබුණා. මා මේ පැමිණ සිටින්නේ මියුලා ආරියවතී මහත්මියගේ නිවහනටයි.
ඇය අන් කවරෙකුවත් නොව නම කියූ සැණින් කවුරුත් හඳුනන දක්ෂ වයලීන වාදකයකු, ප්‍රවීණ ගායන ශිල්පියකු , සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු සහ ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ රෝහණ ධර්මකීර්ති නම් වූ කලාකරුවාගේ මෑණියන්ය. රෝහණ ඇයගේ දෙවැනි පුත්‍රයාය. වැඩිමහල් පුතු නාරද පොලිස් තූර්ය වාදක මඩුල්ලේ සේවය කොට විශ්‍රාම ගොසින්ය. බාල දියණිය ප්‍රමිලා විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර, මියුලා නැන්දාගේ සාත්තු සප්පායම් කිරීමට රෝහණගේ බිරිය පුෂ්පා ඈ සමඟ සිටින්නීය. නිෙවසේ සාලයට ඇතුළුවත්ම, මුව පුරා නැඟුණු ඇගේ සිනහව, හාත්පස අඳුර නසන්නට තරම් ප්‍රබල වූවා නොවේ දැයි මට සිතුණි.
“කොහොමද නැන්දේ හුඟ කාලෙකින්.”
“ආයුබෝවන්… ආයුබෝවන්… රෝහණ කිවුවා පුතා අද මේ පැත්තේ එනවා කියලා.” ඈ ආදරයෙන් මා පිළිගත්තා.
‘තරුණී’ පුවත්පතේ පාඨකයන් වෙනුවෙන්, විශේෂයෙන් තරුණියන් වෙනුවෙන් සැකසෙන මේ ලිපියේ මූලික පරමාර්ථය වන්නේ වත්මන් ලෝකයේ ජීවත්වන තරුණියන්ගේ සහ පෙර දවස ජීවත්වූ තරුණියන්ගේ ජීවන රටාව පිළිබඳ සංසන්දනාත්මක තොරතුරු විවරණයක් ගෙන හැර දැක්වීමයි.
“නැන්දේ මුලින්ම කියන්නකො බලන්න ඔයාගෙ තරුණ කාලෙ විස්තර ටිකක්”
“මම මියුලා ආරියවතී සුබසිංහ. ඉපදුණේ 1937. දැන් මට වයස 88 ක් වෙනවා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගස්පෙ රජයේ පාසලෙන්. ඊට පස්සෙ මම ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන්න කොළඹ කොන්වන්ට් එකකට ගියා. ග්‍රාමීය පරිසරයක හැදුණු මට නාගරික රටාව හිතකාමී වුණේ නැහැ. ඒ හින්දා මම එතැනින් අස්වෙලා ගම්පහ රත්නාවලී විදුහලේ ඉගෙනගන්න ආවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම ගුරු විභාගය සමත් වෙලා මොනරාගල පැත්තේ පාසලක සිංහල භාෂාව උගන්වන්න පත්වීමක් හම්බවෙලා ගියා. ඒ කාලේ මාසික වැටුප රුපියල් 100 යි. මේ කාලේ මට ආදර සම්බන්ධයක් තිබුණා. ඔහු පසුකාලීනව මගේ ස්වාමිපුරුෂයා වූ සුසිල් ප්‍රේමසිරි කියන තරුණ විදුහල්පතිවරයෙක්. ඔහු රාජකාරි කලේ මීරිගම, කළුඅග්ගල පාසලේ. මම මොනරාගල වගේ ඈතක රැකියාවක් කරන එක ගැන ඔහු සිටියේ අකැමැත්තෙන්. ‘උගත්කම අවශ්‍යයි. ඒත් රැකියාවක් කරන්න ඕනි නැහැ. මමද… රැකියාවද… ඕනි කියලා මේ දෙකෙන් එකක් තෝරගන්න.’ ඔහු නිතරම කිවුවා. පස්සෙ මම ඔහුට ගොඩාක් ආදරේ කරපු හින්දා රැකියාව අත්හැරලා ගමට ඇවිත් ටික කාලෙකින් ඔහු සමඟ විවාහ වුණා. දැන් කාලෙ වගේ ආදර සබඳතා ගොඩාක් පවත්වා ගන්නේ නැහැ. හරිම කෙනා තෝරගෙන විවාහ වෙනවා.”
“මියුලා නැන්දා දක්ෂ කිවිඳියක්. කොහොමද මේ ආභාසය ලැබුණේ?”
“ඒක උප්පත්තියෙන්ම ආපු දෙයක්. මගේ මහත්තයත් කොළඹ යුගයේ දක්ෂ කවියෙක්. මම ලියපු කවි කියවලා තමයි ඔහු මා එක්ක ප්‍රේමයෙන් බැඳුණේ. අපි දෙන්න පෙම් හසුන් හුවමාරු කර ගත්තෙත් කවිවලින් “තරුණ කාලෙ ලස්සන දිගු වරලසක් එහෙම තියෙන්නෙ ඇතිනෙ. කොහොමද රූපලාවණ්‍ය කටයුතු එහෙම කළාද?
“අපි තරුණ කාලෙ ගෙවල් ඇතුළේ ‘බාත්රූම්’ තිබුණේ නැහැ. ගෙදර දොරේ වැඩ ඉවර වුණාට පස්සෙ වත්ත පහළ තියෙන ළිඳට යනවා නාන්න. නිල් කැටේට වතුර උතුරලා යනවා.
ළිං ගැට්ටේ දණ බිම ගහගෙන වෙල් යායෙන් එන හුළඟේ සුවය විඳිමින් බාල්දියෙන් වක්කර ගන්න වතුර ඇඟපුරා ගලාගෙන යනකොට දැනුණේ පුදුමාකාර සනීපයක්. ඒ කාලේ සුවඳ සබන්, ෂැම්පු පාවිච්චි කරේ සල්ලිකාර ගෙවල්වල අය විතරයි. . ගස්වලින් කඩාගත්ත නානු කොළ කොටලා ඒ ඉස්ම තමයි අපි කොණ්ඩෙ ගෑවෙ. සබන් වෙනුවට අපි ඒ යුෂ ඇඟෙත් ගාගන්නවා. හිස්හොරි අපිට කවදාවත් හැදිලා නැහැ.
නාලා ගෙදර ඇවිත් පැයක් දෙකක් විතර ගියාට පස්සෙ ‘බූටෑව’ වගේ ඇවිස්සිලා තියෙන කොණ්ඩෙට තෙල් සාත්තුව දෙන්නෙ අපේ අම්මා නැත්තම් ආච්චි. ඒ කාලෙ තෙල් මෝල් තිබුණේ නැහැනෙ. ගෙදර හිඳගත්ත තැඹිලි තෙල් නැත්තම් පොල්තෙල් තමයි අපි පාවිච්චි කරේ.”
“නැන්දගේ දත්ටික අඩුවක් නැතුව තාම හරි අපූරුවට තියෙනවා. ඒකෙ රහස මොකක්ද?”
“මගේ කටේ අදවෙනකම් තාම එක දතක්වත් ගලවලා නැහැ. හනසු පුච්චලා ගන්න අඟුරුවලට ලුණු කැට දාලා කොටලා අපේ තාත්තා හදන පවුඩර් එකක් වීදුරු බෝතලේකට දාලා තිබුණා. ඒකෙන් පොඩ්ඩක් අල්ලට හලාගෙන ඇඟිල්ලෙන් තමයි අපි දත් මැද්දේ”
“වර්තමානයේ තරුණියන් ඇඟේ හැඩය පවත්වා ගැනීමට ‘ජිම්’ යනවා, එහෙමත් නැත්තම් මිල අධික ව්‍යායාම් උපකරණ මිලදී අරන් නිවෙසේදී ඒ කටයුතුවල නිරත වෙනවා. නැන්දා කොහොමද මේ අභ්‍යාස කරේ?”
“අනේ මොන මැෂින්ද… උදේ හවා ළිඳෙන් වතුර අදින එක මොන තරම් ව්‍යායාමයක්ද?. ඊට අමතරව කුස්සියේ ගලේ මිරිස්, පොල් අඹරන එක, ගල් වංගෙඩියේ හාල්, කුරහන්, මුංඇට අඹරන එක, ඉදලෙන් ගෙවත්ත අතුගාන එක මේ හැම කාරියකින්ම ඇඟේ මස්පිඬුවලට ජීවය ලබා දුන්නා.
ඉස්සර ගෙවල්වල කුස්සියේ තිබුණා බිම්මෝල කියල තැනක්. අඩි එකහමාරක් විතර ගැඹුරට හාරලා කළුගල්, සිමෙන්ති දාලා හදපු වළක්. වී මෝල් තිබුණේ නැහැනෙ. මේකට වී දාලා කොටලා තමයි අපි හාල් ගත්තෙ. අහල පහල ඉන්න නෑදෑ හිතවතුන්, ඉලන්දාරි ඇවිත් වී කොටන්න සහයෝගය දෙනවා. අපි ඉතින් පුස්නාප්ප, හැලප වගේ දේවල් කන්න දීලා හකුරු කෑල්ලක් එක්ක කහට ටිකක් බොන්න දෙනවා. අපි ඉතින් මාරුවෙන් මාරුවට කවි කිය කියා තමයි මේ වැඩේ කරන්නෙ. හරිම විනෝදජනකයි. රා පොල් කට්ටක් කටේ හලාගෙන එන පිරිමි අයත් මේ වැඩේට එනවා. හැබැයි ඉතින් කිසිම කරදරයක් නැහැ. ඒ ඇත්තො ආපුවම වැඩේ ටිකක් ඉක්මන්.”
“නැන්දලාට ඒ දවස්වල හිසේ කැක්කුමක් එහෙම හැදුණොත් මොනවද කරන ප්‍රතිකාර?”
“ගොයම් කපන කාලෙට වැඩිපුර අව්වෙ හිටියොත් මිසක්, අපිට හිසේ කැක්කුමක් හැදෙන්නෙ නැතිතරම්. දැන් වගේ පෙති වර්ග තිබුණේ නැහැ. ඉංග්‍රීසි බෙහෙත්වලට අපි පුරුදු වෙලා හිටියේ නැහැ. අනික ආණ්ඩුවේ ඉංග්‍රීසි බෙහෙත් ශාලාවක් තිබුණේ හැතැප්ම 10ක් විතර එහා. ඒ වගේ පොඩි අමාරුවක් හැදුණොත් අම්මා ඉඟුරු,කොත්තමල්ලි, වෙනිවැල්ගැට ටිකක් තම්බලා බොන්න දෙනවා.”
“ආහාර රටාව කොයි විදිහටද පවත්වාගෙන ගියේ?”
“අපි තුන් වේලටම කෑවෙ බත්. පාන් දකින්නවත් නැහැ. ඉඳලා හිටලා මඤ්ඤොක්කා, බතල, රාජ අල, කුරක්කන් පිට්ටු වගේ දේවල් කෑම වේලට එකතු කර ගත්තා. කඩවල් තිබුණේ ඉතාම අල්ප වශයෙන්. කත්කාරයෝ තමයි කුස්සියට අවශ්‍ය බඩු අරන් ගෙයින් ගෙට එන්නෙ. අපි අහල පහල යාළුවො එකතුවෙලා සතිපොළට ගිහින් බඩු අරන් එනවා. හැතැප්ම 5-6ක් පයින්ම තමයි යන්නෙ. මහන්සියක් දැනුණෙම නැහැ. පොළට ගියෙත් අපි විනෝදෙන්. ඇඟටත් හොඳ ව්‍යායාමයක්.”
“ආර්ථිකය ගොඩනඟාගත්තෙ කොහොමද?”
“සැමියා උපයන දේ අපි පරිස්සම් කර ගත යුතුයි. මට ආස හිතුණා කාරෙකක් සල්ලි දීල ගන්න. මම දවසක් මහත්තයගෙන් ඇහැවුවා ඒ කාලෙ තිබුණ කාර්වල මිල ගණන්. මහත්තයගෙන් මට දැනගන්න ලැබුණා ‘බග් ෆියට්’ කියන කාරෙක රුපියල් 2000ක් විතර වෙනවා කියලා. මමත් ගෙදර පොඩි මොන්ටිසෝරියක් කරානෙ. ඒකෙන් එකතුවෙන සල්ලියි මහත්තයගෙ පඩි සල්ලියි දාලා මම රුපියල් 200ක සීට්ටුවක් දාලා මගේ හීනය හැබෑ කර ගත්තා.”
“නැන්දා ඒ කාලෙ කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද ?”
“මහත්තයා යාළුවෙලා ඉන්න කාලෙ වේයන්ගොඩ කලා සංවිධානයකින් කරපු විදුර ජාතකයේ එරන්දතී කුමරියගේ චරිතය රඟපාන්න ප්‍රවීණ කලාකරු ධර්මදාස කුරුප්පු මාව තෝරාගත්තා. මේ චරිතය කරන්න තෝරගෙන හිටියේ ඒ දවස්වල ජනප්‍රිය වෙලා හිටිය පුන්‍යා හීන්දෙණිය කියන නිළිය. ඇය විදෙස් රටකට ගිය හින්දා ඒ අවස්ථාව මට ලැබුණා. රඟපානවට මගේ මහත්තයා කොහොමත් කැමති වුණේ නැහැ. පස්සෙ මම ඒකටත් සමු දුන්නා”
“ මියුලා නැන්දට දැන් වයස 88ක්. ඔබටත් ‘ෆේස්බුක්’ ගිණුමක් තියෙනවා. ඔබ එහි දිනපතාම සැරිසරනවා. ඔබට වඩා ගොඩාක් වයසින් බාල සමහර තරුණියන් පවා දැනුම්වත් නැහැ එවැනි ‘ඩිජිටල් ෆ්ලැට්ෆෝම්’ එකක් ලෝකයේ තිබෙන බව. එහෙම දෙයක් ගැන හිත ඇදී ගියේ කොහොමද?”
“ඕනිම දෙයක හොඳ- නරක දෙපැත්තක් තියෙනවා. අපි එයින් හොඳ දේ තෝරා ගත යුතුයි. මම මුහුණුපොතේ සැරිසරන්නෙත් තෝරා බේරාගෙන. දැනුම ලබා ගන්න, විදෙස් රටවල පුද්ගලයින් හඳුනාගන්න, නිර්මාණ රස විඳින්න පුළුවන් තෝතැන්නක්කියලා මුහුණුපොත හැඳින්වූවාට වරදක් නැහැ. මුහුණුපොත හින්දා මගේ මානසික ආතතිය දුරුවෙලා මම දිනපතා යාවත්කාලීන වෙනවා.”
“කුඩාකල සිට දවස ඇරඹුවෙ
පුරුදු විදිහට බුදුන් වැඳලා
නිවා ගන්නෙමි ගින්න කුසගිනි
උදේ කෑමෙහි රසය විඳලා
මුහුණුපොත ගැන සතුටු වන්නෙමි
හිතවතුන්ගේ තතුද බලලා
ඒත් අද බැහැ පෙනෙන්නේ නැහැ අනේ
ඒකේ ඩේටා කපලා….”
තරුණ පරපුරේ නිර්මාණ සමඟ උරෙනුර ගැටෙන මියුලා නැන්දා ලියූ රසවත් කවි පෙළක් මා උපුටා ගත්තේ පසුගියදා දොරට වැඩූ ඇගේ ‘නොකියාම බැරි කතාවක්’ කාව්‍ය ග්‍රන්ථ සංග්‍රහයෙනි. මේ කවි පෙළ දැකීමෙන් ඇය කොතරම් යාවත්කාලීන වී ඇද්දැයි අපිට හැඟෙනු ඇත. අපි ‘තරුණි’ වෙනුවෙන් මියුලා නැන්දාට නීරෝගි සම්පත් ලැබ චිරාත් කාලයක් තම නිර්මාණ කටයුතු කර ගැනීමට වාසනාව ආයුබල ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
ටෙනිසන් එදිරිසිංහ