Friday, October 3, 2025
Epaper
Home වෛද්‍යමාසයෙන් භාගයක්ම පීරියඩ්ස් ඒ ඇයි?

මාසයෙන් භාගයක්ම පීරියඩ්ස් ඒ ඇයි?

by Thanushika

මල්වර වූ දැරියන්ට, යෞවනියන්ට, තරුණියන්ට, කාන්තාවන්ට ඔසප් වීම සම්බන්ධව ජීවිතයේ විවිධ කාලපරිච්ඡේදවලදී විවිධාකාර ගැටලු පැනනඟී. ඇතැමුන්ට බොහොම සාමාන්‍ය පරිදි ඔසප් චක්‍රය පවත්වාගෙන ගියත් තවත් සමහරකුගේ එය අක්‍රමවත් එකක් විය හැකියි.

දින ගණනාවක් ඔසප් රුධිරය පිටවීම, අසාමාන්‍ය ලෙස ඔසප් රුධිරය පිටවීම, කාලයක්ම ඔසප් නොවී තිබීම වැනි දෑ සාමාන්‍ය ඔසප් වීමක ලක්ෂණ නොවේ.

ක්‍රමවත් ඔසප් වීමක් හා අක්‍රමවත් ඔසප් වීමක් යනු කුමක්ද?

දින 25ත් 35ත් අතර සිදුවන ඕනෑම රුධිර ගලනයක් සාමාන්‍ය ඔසප් වීමකි.

දින 20න් 20ට, දින 15න් 15ට යනාදී වශයෙන් ඇතිවන්නේ අක්‍රමවත් ඔසප් වීමකි. දින 35න් එහාට යෑමත් අක්‍රමවත් ඔසප් වීමකි. මාස දෙක තුනකට වරක්, අවුරුදු ගණනාවකට පසු යනාදී වශයෙන් ඇතිවන්නේ ද අක්‍රමවත් ඔසප් වීමකි.

අක්‍රමවත් ඔසප් වීමක් ඇති වන්නේ ඇයි?

මෙසේ වන්නේ හෝමෝනවල බලපෑම නිසයි.

BMI අගය හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය 20 – 22 අතර නොතිබීම, එම අගය 25, 30, 35 වැනි අගයක් ගැනීම හෙවත් බර වැඩිවීම ද අක්‍රමවත් ඔසප් වීමට හේතුවකි. එය ඔසප් වීම නැවතීමට ද හේතුවකි.

එහිදී උදරය ද ප්‍රමාණයෙන් විශාල වේ. මෙහිදී Leptin නමැති හෝමෝනයක් නිපද වේ. මෙම හෝමෝනය ඊස්ට්‍රජන් ඒම වළකාලයි. මෙහිදී ඩිම්බ මේරීමක් සිදු නොවන්නටත් පුළුවනි. ඔසප් වීම නවතින්නේ එවිටයි.

ළඟ ළඟ ඔසප් වන්නේ ද හෝමෝනවල අසමතුලිතතාව නිසයි.

ඔසප් රුධිරය අඩුවෙන් පිටවන්නේ කුමන තත්ත්වයක් යටතේ ද?

එක දවසක් ඔසප් රුධිරය පිටවීම, නැතිනම් යාන්තම් දවස් දෙකක් පැවතීම, රුධිර බිංදුවක් දෙකක් පිටවීම, සනීපාරක්ෂක තුවායක් ඇඳීමට පවා අවශ්‍ය නොවන තත්ත්වයක් වීම මේ ඔසප් රුධිරය අඩුවෙන් පිටවන තත්ත්වයයි.

මෙසේ වන්නේත් හෝමෝනවල අසමතුලිතතාව නිසයි.

සාමාන්‍ය ඔසප් වීමකදී කොපමණ රුධිරය ප්‍රමාණයක් පිටවේද?

මිලි ලීටර් 30ක් එනම් තේ හැඳි නම් 3ක් මේස හැඳි නම් 2ක ප්‍රමාණය සාමාන්‍ය ඔසප් වීමක තිබිය යුතු ප්‍රමාණයයි. මේ ප්‍රමාණය යන්තම් එහෙ මෙහේ විය හැකියි.

සාමාන්‍ය ඔසප් වීමක් යනු දවස් 28කට, 30කට 32කට පමණ වරක් සෑදෙන එකකි. එය දින තුන හතරක් පවතියි. සාමාන්‍ය ඔසප් වීමක වේදනාවක් ද නැත. 3වැනි දවසින් පසුව යට ඇඳුම යාන්තම් ළා දුඹුරු පැහැයට දින දෙක තුනක් පැවතීම සාමාන්‍ය තත්ත්වයකි.

ඔසප් වීම ආරම්භ වී තෙවැනි දවසේ සනීපාරක්ෂක තුවා හතරකට වඩා අඳින්නට සිදුවන්නේ නම් සනීපාරක්ෂක තුවා දෙකක් පමණ එකවර තබා අඳින්නට සිදුවන්නේ නම් එය වැඩියෙන් රුධිරය පිටවීමකි. මෙවැනි ලක්ෂණවලින් ඇයට වැඩියෙන් ඔසප් රුධිරය පිටවන බව අවබෝධ වේ. දින දෙකක් පමණ ඔසප් රුධිරය පිටවී නැවත දිනක්, දෙකක් නොතිබී තවත් දින දෙක තුනකින් පමණ නැවත ඔසප් වීම සිදුවීම ආදිය ද අක්‍රමවත් ඔසප් වීමකදී සිදුවන දේවල්ය.

ඔසප් වීම දින 10 කට වැඩි කාලයක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් ද?

කොහෙත්ම නැත.

මෙසේ වන්නේ හෝමෝනවල අසමතුලිතතාව නිසා වන්නටත් පුළුවනි. එසේම එන්ඩ්‍රෝමෙට්‍රයෝසීස් තත්ත්වය නිසා වන්නටත් පුළුවනි. මෙහිදී යටි බඩේ තද වේදනාවක් සමඟින් ඔසප් රුධිරය වැඩියෙන් පිටවේ. ෆයිබ්‍රොයිඩ් නිසා වන්නටත් පුළුවනි. ෆයිබ්‍රොයිඩ් ඇති විටත් ළඟ ළඟ ඔසප් රුධිරය පිටවේ.

ගර්භාශ බිත්තිය වළගොඩැලි මෙන් පැවතීම(Ultra Sound Scan එකකදී මේවා මනාව දිස්වේ.) මෙය Multiple Fibroadenoma නම්වේ. මෙහිදී ගර්භාශ බිත්තියේ ගෙඩි හැමතැනම පවතින නිසා මේ අයගේ අසාමාන්‍ය රුධිරවහනයක් සිදුවේ.

මේ අතර උදර ප්‍රදේශය වැඩියෙන් රිදෙන්නට පටන් ගන්නේ එහි මාංස පේශී cramp වන නිසයි.

අක්‍රමවත් රුධිරවහනයක් ඇති විට සරු කාලය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නේ කොහොමද?

එය හරිම අසීරු කරුණක්. ඔසප් වීම සිදුවී දින 14, 15, 16 යන දිනයන්හි එක්වීමෙන් පිළිසිඳ ගැනීමකට ඇති ඉඩකඩ වැඩි බව සාමාන්‍ය මතය වුවත් නිවැරදි වෛද්‍ය මතය වන්නේ සෑම සතියකම දින දෙක, තුනක් එක් වීම සුදුසු බවයි. ශුක්‍රාණුවකට දින දෙකක් පමණ සිටිය හැකියි.

ඔසප් වීම ක්‍රමවත්ව සිදුවන්නේ නම් උදාහරණයක් ලෙස මාසයේ 1වැනි දින ඔසප් වූයේ නම් එම මාසයේ 16වැනි දින සරු කාලයේ පිළිසිඳ ගැනීම බොහෝසෙයින් සාර්ථක විය හැකි දවසයි. එය ගණනය කරන්නේ මීළඟට ඔසප් වීමට නියමිත දවසේ සිට ආපස්සට දින 14ක් ගණනය කිරීමෙනුයි.

මල්වර වූ පසු දැරියන්ගේ ඔසප් වීම සම්බන්ධවත් විවිධ ගැටලු මවුවරුන්ට මතුවෙනවා.

අවුරුදු 8න්, 9න් රුධිර බිංදු කිහිපයක් පිටවීම නිවැරදිම මල්වර වීමක් නෙවෙයි. මෙහිදී හෝමෝනයක් නොවන රසායනික ක්‍රියාකාරිත්වයක් නිසයි එසේ වන්නේ. අවුරුදු 13 න් 14 න් ඔසප් වීම ඇරඹීම තමයි නියම මල්වරය. මෙහිදී ඇයට හුරු නැති නිසා යටි බඩේ වේදනාවක් මාංස පේශී පෙරළෙනවා වැනි තත්ත්ව ඇතිවන්නට පුළුවනි.

මෙහිදී යටි බඩ තැවීමක් වැනි දෙයක් කළ හැකියි.

ඔසප් ගැටලු පිළිබඳ තවත් විස්තර ඉදිරි සතිවලදී.

උපදෙස් විශේෂඥ වෛද්‍ය
සුදත් ගුණතිලක

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?