ජීවිතයේ සැඳෑ සමය කියන්නේ සැහැල්ලුවෙන් විවේකයෙන් සතුටින් සැනසිල්ලේ ගත කරන කාලයට. විඩාබර දිවියේ සැනසිල්ලේ ජීවත්වන්න සිහින දකින මේ කාලේ කාටවත් බරක් නොවී.
කාටවත් අත නොපා ගත කරන්න පුළුවන් නම් ඒ විශාල වාසනාවක්. බොහෝ දෙනෙක් රාජ්‍ය සේවයේ වසර ගණනාවක් සේවය කරලා විශ්‍රාම යන්නේ ඔවුන් සිහින දකින මේ සැදෑ සමය ළඟා කරගන්න.
නමුත් තම විශ්‍රාම දිවිය ගැන සැලසුමක් හා අවබෝධයක් නැතිකමින් තමුන්ගේ ජීවිතයේ අවසාන කාලයේ නිරපරාදේ දුක් විඳිනවා. තමුන්ට හොඳ විශ්‍රාම වැටුපක් ලැබිලත් ඔවුන් එලෙසින් දුක් විඳින්නේ තම ජීවිතයේ සැඳෑ සමය ගැන කලින්ම සැලසුම් නොකිරීම නිසයි. මේ අපූරු කතා බහ ඔබේ හෙට දවස සුපසන්න වීම උදෙසායි.
සතුටින් සේවය කර සතුටින් විශ්‍රාම යන්න කල්තියාම විශ්‍රාම දිවිය සැලසුම් කරගන්න.
සුවබර විශ්‍රාම දිවියක් රාජ්‍ය හෝ සංස්ථා ආයතනයක එහෙමත් නැතිනම් කුමන හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක නියුතු අයෙකු විසින් සේවයෙන් විශ්‍රාම ගත යුතු කාලසීමාවක් නියම වෙයි. එදිනට තරුණ පරපුරට සාප නොකර තම තනතුර භාරදී විශ්‍රාම යන්නට තරම් වැඩිහිටි ප්‍රජාව පරිණත විය යුතුයි. ඇතැම් විට වර්තමානයේ එය එසේ නොවේ. හුදෙක් අපට හමුවන්නේ තම සේවා කාලය දිගු කර ගනිමින් ආයතනයේ එල්ලී සිටින්නට වෙරදරන්නය.
නිසි කලට නිසි පරිදි විශ්‍රාම යාමට සූදානම් වන්නා තමාගේ විශ්‍රාම දිවිය පැහැබර කරගැනීම උදෙසා කල්තියා සැලසුම් කර ගතහොත් ඔහුගේ ඇගේ පවුලේ සාමාජිකයන්ට ද සැනසුම් සුසුමන් හෙළිය හැකියි.
ඔහුගෙන් හෝ ඇගෙන් විශ්‍රාම ගැන්වෙන කාර්යාලයේ මේස පුටු වෙනුවෙන් නව ජවයක් පුබුදින්නට ඉඩ සැලැස්වීමම අගනේය. එයින් ද්වේශසහගත වැඩිහිටි පරපුරක්වත් ද්වේෂ සහගත තරුණ පරපුරක් වත් බිහි නොවෙයි.
මෙලෙසින් සුපසන් ලෙස තම විශ්‍රාම දිවිය සැලසුම් කරගත් විශිෂ්ට ව්‍යවසායකයෙකු පිළිබඳ තොරතුරු අපට දැන ගන්නට ලැබුණි. සීමා සහිත විචිත්‍ර පැළෑටි සහ උඩ වැඩියා සමූපකාර සමිතියේ සභාපති හිටපු ගණකාධිකාරි ප්‍රේමසිරි සේනාධීර කිරිල්ලවල 14 කණුවේ පිහිටි සේනාධීර ඕකිඩ් නර්සිරි වෙත අප පිය නැඟුවේ ඔහුගේ තතු සැබැවින්ම දැන ගැනීම පිණිසය. විශ්‍රාම දිවියෙන් පසුවත් දිවියට සවියක් එක් කර ගනිමින් ඒ වන විටත් ඔහු නෙක විසිතුරු වෛවර්ණ ඕකිඩ් මල් අතර කාලය ගත කරමින් සිටියේය.
ඔහු සමඟ කළ ළෙන්ගතු කතාබහ මල් තරමටම ලස්සනය, ආදරණීයය, අගනේය.
මම කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරීයෙක්. මගේ උගත්කමට සරිලන පිළිගත් රැකියා කිහිපයකම නියැළුණා. මගේ වෘත්තිය ජිවීතය පටන් ගන්නේ ලිපිකරුවෙක් විදිහට අනතුරුව මුදල් අධ්‍යක්ෂවරයෙක් ගණකාධිරවරයෙක්, ශ්‍රී ලංකා ආධුනිකත්ව මණ්ඩලයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වගේම ලෝක බැංකු ආධාර යටතේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘති සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කාලයක් මම රජයේ විවිධ ඉහළ තනතුරු දරමින් රාජකාරිය කළා.
මා විශ්‍රාම ගියේ එම අවස්ථාව වන විට වෙනත් ආයතනවලින් පවා මගේ දැනුමට, අත්දැකීම්වලට ඉහළ මිලක් ලංසු එක්කළා වකවානුවක. එහෙත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් මා පූර්ණ කාලීන විශ්‍රාම දිවියට එළඹුණා. මා ඒ වන විටත් මාගේ විශ්‍රාම දිවිය ගත විය යුතු අන්දම සැලසුම් කරලයි තිබුණේ. රටේ තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා ලබා දෙන්නට වෘත්තිකයන් කලට වේලාවට විශ්‍රාම යා යුතුයි. එයින් පීඩාකාරී තරුණ පිරිසක් බිහි නොවේ. අපි විඳි සියලු වරප්‍රසාද ඊළඟට පරපුරේ ඔවුන්ට හිමි විය යුතුය. එය ලබාදීම වැඩිහිටි අයගේ වගකීමක්.
මගේ බිරිය මාලනී හේමලතා. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ මාණ්ඩලික සහකාර නිලධාරිනියක් ලෙස කටයුතු කළා. ඇයත් මගේ අඩි පාරේ යමින් නියමිත දිනම විශ්‍රාම ගිය අයෙක්. දැන් අපි දෙන්නාම හරිම සතුටෙන් සැහැල්ලුවෙන් මගේ මල් ව්‍යාපාර කටයුතුවල නියුතු වෙනවා.
මගේ දියණියන් දෙදෙනාගෙන් ලොකු දුව විභාග කොමසාරිස්වරියක ලෙසත් බාල දියණිය භාෂා ගුරුවරියක ලෙසත් කටයුතු කරනවා. ඔවුන් දෙදෙනාටම දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ආදරණීය මිනිබිරියන්ගේ සෙනෙහස සැබෑ ලෙසම විඳින්නත් අපේ විශ්‍රාම කාලය ආශිර්වාදයක්.
කිරිල්ලවල නිෙවසේ ඉදිකළ සේනාධීර ඕකිඩ් නර්සරි මඟින් ඔබට ඕනෑම වර්ගයේ ඕකිඩ් මල් පැළ, පොහොර, පෝච්චි වගේම මල් සම්බන්ධ සියලුම උපදෙස්, අලෙවිකරණයට වෙළඳපොළ සකසා දීම, මල් මිලදී ගැනීම වැනි සේවාවන් රැසක් සිදු කරනවා.
මේ අතර මම සීමාසහිත විචිත්‍ර පැළෑටි සහ උඩවැඩියා සමුපකාර සමිතියේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරනවා. එහි ලියාපදිංචි සාමාජික සංඛ්‍යාව 5000කට අධිකයි.
සාර්ථක මල් ව්‍යවසායකයෙකු වන ඔහු තම විශ්‍රාම කාලය ගමේ ඕනෑම පොදු කටයුත්තක් උදෙසා ද වෙන්කර තිබේ. කාලය නිකරුණේ නාස්ති කරනා අයට මෙතුමන්ගෙන් ගත හැකි ආදර්ශය මහමෙරකි. ඕනෑම සමාජ සේවා කටයුත්තක් කිරීමට එතුමන්ට ඕනෑ තරම් කාලයද තිබේ. එබැවින් එතුමන් ජවසම්පන්නය. ගතින් සිතින් නීරෝගි සුපසන්නය.
ඔබත් විසිතුරු මල් පැළ වගාවට යොමුවන්න පෙරමං බලා සිටින්නේ නම් ඒ සඳහා නොමිලයේ උපදෙස් ලබාදිමට ඔහු නොපැකිලිව ඉදිරිපත් වේ.
ශාන් රඹුක්වැල්ල
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර