“Bed rotting” යනු, නව පරම්පරාව අතර TikTok හරහා නිර්මාණය වී ජනප්‍රිය වූ යෙදුමකි. මෙයින් විස්තර කෙරෙන්නේ, කිසිවක් නොකර, දුරකතනය පිරික්සමින්, වැඩසටහන් නරඹමින්, කෙටි කෑම ගනිමින් හෝ නිකම්ම වැතිරෙමින්, හිතාමතාම දීර්ඝ වේලාවක් ඇඳේ ගතකරන ක්‍රියාවයි. බොහෝ තරුණ තරුණියන් මෙය ආත්ම සත්කාර (self-care) ක්‍රමයක් ලෙස සලකයි. එනම්, නිරන්තරයෙන් කාර්යබහුල වීමේ සංස්කෘතිය (hustle culture) සහ නොනවතින ඵලදායිතාවයේ පීඩනයෙන් මිදී මානසික සහනයක් ලබා ගැනීමේ මාර්ගයක් ලෙසයි.
සමහර මනෝ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ, කලාතුරකින් විවේක ගැනීම සෞඛ්‍යයට හිතකර වුවද, අධික ලෙස “bed rotting”හි නිරත වීමෙන් නින්දේ චක්‍රයට බාධා ඇති විය හැකි බවත්, ශාරීරික ක්‍රියාකාරකම් අඩු විය හැකි බවත්, එමෙන්ම සාංකාව හෝ විෂාදය වැනි තත්ත්වයන්හි රෝග ලක්ෂණ තවත් උග්‍ර විය හැකි බවත්ය. මෙහි සත්‍ය අසත්‍යතාව ගැන කතාබහකට අද එක්වන්නේ ප්‍රවීණ මනෝ උපදේශිකා අමා දිසානායකයි.
මේක තරුණ, බාල, මහලු හැමෝටම තියෙන ලෙඩක් කිව්වොත් හරි. උදේ ඉඳන් රෑ වෙනකම්, රෑ ඉඳලා එළිවෙනකම් ෆෝන් එකේ උඩට පහළට යන එක. මේකට වෙලාවක් අවේලාවක් කියලා නැහැ. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි කියලා ඕෙනම කෙනෙක්ට තේරෙනවා. ඒකෙන් තමන්ගේ දෛනික වැඩ කටයුතු වගේම අනිත් කෙනාට සවන් දෙන එක ඒ වගේ ගොඩාක් දේවල් මඟ හැරෙනවා. ඉතින් මං හිතනවා මිනිස්සු මෙහෙම දිගින් දිගටම මේ විදිහට කරන කොට මේකෙන් සමාජ ප්‍රශ්නයක් වගේම පෞද්ගලික ප්‍රශ්නයකුත් එනවා. මම දන්න ළමයි ඉන්නවා, නාන්නේ නැහැ. ඇඟ හෝදන්නේ නැහැ. කන්නේ නැහැ. වෙන මුකුත් කරන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකම් ෆෝන් එකෙන් උඩට පහළට, උඩට පහළට එයාලගේ ඇඟිලිවලින් ලෝකේ තියෙන දේවල් හොයනවා. ඇත්තටම මේ හොයන්නේ වැදගත් දේවල්වත් දැනුමක් ලබා ගන්න පුළුවන් දේවල්වත් නෙවෙයි. සමහර වෙලාවට අනුන්ගේ ඕපදූප. සමහරවිට අවශ්‍ය නැති දේවල්.
දැන් මෑතකාලීනව සිදුවුණු සිදුවීමක් තමයි මම දන්න ගැහැනු දරුවෙක්ට “ඔයාගේ ඇඟ හරිම ලස්සනයි. ඔයාගේ රූපය මොඩ්ලින්වලට හොඳයි. ඉතින් ලස්සන ෆොටෝ එකක් එවන්න.” කියලා සම්පූර්ණ ඇඳුම් සහිත පින්තූරයක් ගෙන්න ගත්තා. ඊට සතියකට පස්සේ එයාගේ යාළුවෙක් කතා කරලා කියනවා “ඔයාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ තියෙනවා” කියලා. බලනකොට පැයකට රුපියල් 15,000කට ඇයගේ සේවය ලබා ගත හැකියි කියලා එයාගේ මුහුණ දාලා AIවලින් වෙන ඇඟක් සෙට් කරලා එයාව අලෙවි කරලා. මේ ළමයා සියදිවි හානිකර ගන්න ගියා. ඉතින් ඒක නිසා මම හිතනවා අපි අනිත් අයගේ ජීවිත දිහා බලන්නේ, මනින්නේ සමාජ මාධ්‍ය ජාලාවල තියෙන දේවල් එක්ක. සමාජ මාධ්‍ය ජාලාවල තියෙන දේවල් කවදාවත් මේ ලෝකේ වෙයි කියලා හිතන්න පුළුවන් දේවල් නෙවෙයි.
මේ තත්ත්වය ගෙදර අයට අපහසු වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. ගෙදර එක්කෙනෙක් එක්කෝ සිංදු අහනවා. එක්කෝ බණ අහනවා. එක්කෝ කතා අහනවා. එතකොට ගේ ඇතුළේ ඉන්න කෙනාට නිදහසේ ඉන්න ඕනේ. එයාට නිදහසේ කතා කරන්න ඕනේ. හිනා වෙන්න ඕනේ. ගේ ඇතුළ තමයි අපි හැඟීම් පිට කරන තැන. එතකොට අපිට අපේ හැඟීම් පිටකරගන්න විදිහක් නැහැ. අනිත් අය ෆෝන්වල ඉන්න නිසා. අපිත් ඔක්කොම ගොළුවෝ වගේ ඉන්නවා. කතා කරන එක තමයි ගොඩක් මිනිස්සුන්ට වැදගත් වෙන්නේ. අන්තර්ජාලය කියන්නේ ඈත ඉන්න මිනිස්සු අපිට ළං කළාට, ළඟ ඉන්න මිනිස්සු දුරස් කරනවා. ළඟ ඉන්න අය එක්ක කතා කරන්නේ නැහැ. එයාලා ගැන අගයක් නැහැ. එයාලා ගැන වටිනාකමක් නැහැ. හැමදාම මෙහෙම වෙන්න බැහැනේ. ඉතින් ෆෝන් එකත් එක්ක ඇඳටම සීමා වුණාම මොකද වෙන්නේ. ජීව විද්‍යානුකූල න්‍යායත් එයාගේ නැති වෙනවා. සමබර මොළයක් නැති වෙනවා. පොත් කියවන්නේ නැහැ. සිංදු අහන්නේ නැහැ. පත්තර බලන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. හිනා වෙන්නේ නැහැ. ඔය මුකුත් නැති වෙනකොට සමබරතාව නැතිවෙලා යනවා. සමබරතාව නැති වුණාම එයාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. වැරද්දක් වුණාම ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? හොඳ දෙයක් වුණාම හොඳ දේට ප්‍රතිචාර දක්වන්නේ කොහොම ද? කියලා තේරෙන්නේ නැහැනේ. එතකොට එයා දන්නේ ෆෝන් එකෙන් එහෙට මෙහෙට ඇඟිලිවලින් යන්න විතරයි. එතකොට එයාගේ ආහාර රටාව වෙනස් වෙනවා. ඒකෙන් පෝෂණය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පැන නඟිනවා. එයා වතුරවත් බොන්නේ නැතුව යනවා. බහිස්ස්‍රාවි අවයව වැඩ කරන්නෙත් නැහැ. වැසිකිළි කැසිකිළි යන්නෙත් නැහැ. කටේ කෙළ හිඳෙනකම්ම ෆෝන් එක ඔබ ඔබ එහෙටයි මෙහෙටයි ඇවිදිනවා. මම අම්මලට වුණත් යෝජනා කරන්නේ දවස් දෙක තුනක් වුණත් අම්මලට මෙහෙම දකිනකොට ළමයා වෙනස් කියලා තේරෙනවා නම් ඔයාලා පුළුවන් තරම් ඉක්මනට ළමයව මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්කගෙන යන්න.
පුංචි ළමයින්ට ගොඩාක් වෙලාවට ෆෝන් එක දීලා නළවගන්න මවුපියොත් මම දන්නවා. හරි ආඩම්බරයෙන් ඇවිල්ලා කියනවා “අපේ පුතාට ෆෝන් එකෙන් යූටියුබ් බලන්නත් පුළුවන්. මේල් බලන්නත් පුළුවන්. එයා ඕෙන සිංදුවක් හොයන්නත් දන්නවා. හරි දක්ෂයි මෙයා” කියලා. ඒ අම්මලට තේරෙන්නේ නැහැ ඒක දක්ෂකම නෙවෙයි කියලා. ඩිජිටල් තිරයක් පැය භාගයකට වඩා අවුරුදු 12න් පහළ දරුවන්ට බලන්න හොඳ නැහැ. එහෙම දුන්නොත් අනාගතයේදී ඒ ළමයගේ ඉගෙන ගන්න තියෙන හැකියාව, දක්ෂකම් ඒ සේරම නැති වෙලා යනවා. අපිට ඕනේ ළමයා හදාගන්නනේ. ඒක කරන්න ඕනේ ලෝකෙට ඕෙන විදිහටවත් ළමයට ඕෙන විදිහටවත් නෙවෙයි. ඉතින් මවුපියන්ට පුළුවන් දරුවාට අවවාද කරලා අවදානය වෙන තැනකට යොමු කරන්න. “අපි යමු පාර්ක් එකට අපි යමු කුරුල්ලෝ බලන්න. අපි යමු තරු බලන්න.” එහෙම කියලා ළමයව වෙනස් කරන්න පුළුවන්. මනුස්සයෙක් දවසකට වේල් තුනක් කන්න ඕනේ.
වතුර ලීටර් 2ක්වත් බොන්න ඕනේ. මේ විදිහට ෆෝන් ඔබ ඔබ ඉන්න අය ඒ මොකවත් කරන්නේ නැහැ කඩචෝරු කකා ඉන්නවා දවසම. ඒකෙන් අධිකව මහත් වෙනවා. සෞඛ්‍ය සම්පන්න බව නැති වෙනවා. කාමරෙන් නාන කාමරයටයි. නාන කාමරයෙන් කාමරයටයි. එතකොට සෞඛ්‍ය සම්පන්න බව නැති වෙනවා. එයාගේ ජීවිතය ඇතුළේ ලොකු හිස්තැනක් ඇති වෙනවා. ඒ හිස්තැන වෙන කිසි කෙනකුට පුරවන්න බැහැ.
ඉතින් තමන්ගේ එහා පැත්තේ ඉන්න සැමියා ගැන බිරිය ගැන හැඟීමක් නැහැ. තැකීමක් නැහැ. මොකද එයා ඩිජිටල් තිරයටනේ ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් එයාගේ හැඟීම් වැඩ කරන්නේ නැහැ. හැඟීම්බර සම්බන්ධතා තියාගන්න එයා දන්නේ නැහැ. ඇඳේදිත් එහෙමයි. ඉතින් ඇඳේ ඉන්නෙත් රොබෝලා වගේ. එදා දවසේ වෙච්ච දේවල් කතාබහ කරන්නේ නැහැ. ආදරය කරන්නේ නැහැ. දරුවොත් කවදාහරි මේ වගේ වෙනවා. ඒ නිසා ඔබේ දරුවා හරි ඔබේ දරුවන්ගේ දරුවෝ හරි, සැමියා හරි බිරිය හරි, අම්මා හරි තාත්තා හරි කවුරු වුණත් මේ විදිහට ඩිජිටල් තිරයට ඇබ්බැහි වෙලා නම් මේ ඇබ්බැහි කමෙන් මුදවන්න ඕනේ.
දරුවෝ ෆෝන් එකට පුරුදු වුණොත් එහෙම ලොකු වුණාම විවාහ සබඳතා, ප්‍රේම සබඳතා, අම්මලා තාත්තලගේ බැඳීම් ඒ සේරම ඒවා බිඳ දානවා. බලන දේවල්වල හොඳ නරක ඒ ළමයින්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන්තරම් ළමයින්ගෙන් ෆෝන් අයින් කරන්න ඕනේ.
හුඟක් දරුවන්ගේ ඵලදායිතාව අඩුවෙලා තියෙන්නේ මේ ෆෝන් නිසා. අද කාලේ ගැහැනු ළමයෙක් රේන්දයක් ගොතන්න දන්නව ද? මැහුමක් මහන්න දන්නවද? කෑමක් හදන්න දන්නවද? මේ හැමදේම ෆෝන් එක ගිලගෙන ඉවරයි. තමන්ට පුංචි විවේකයක් ලැබුණා කියලා විනාඩි 10ක් 15ක් ෆෝන් එක බැලුවට කමක් නැහැ. හැබැයි ෆෝන් එක මුළු ජීවිතේම කරගන්න එපා.
උපදෙස් ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
විදුමිණි දිසාකරුණා