Friday, October 3, 2025
Epaper
Home මනෝ උපදේශනළඟින් ඉන්න කෙනෙක්ගේ වෙනස්වීම ගැන අවධානය යොමු කරන්න

ළඟින් ඉන්න කෙනෙක්ගේ වෙනස්වීම ගැන අවධානය යොමු කරන්න

සැප්තැම්බර් කියන්නේ ලෝක සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමේ මාසයයි

by Thanushika

දෙස් – විදෙස් මනෝ උපදේශකවරියක් සහ ලේඛිකාවක් වන අනීශා ජයකොඩි තරුණී කියවන ආදරණීය ඔබට කරන සෙනෙහෙබර මඟපෙන්වීම ‘ආදරණීය ජීවිතයකට මඟ’ අලුත් වූ තරුණී සමඟ…

කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා ශ්‍රී ලංකාව කියන්නේ කවදත් සියදිවි හානිකර ගැනීම අතින් ඉස්සරහින් ඉන්න රටක්. ස්ත්‍රීන්ට සාපේක්ෂව පුරුෂයන් සිය දිවි හානිකර ගැනීමේ ප්‍රවණතාව තරමක් වැඩි අතර, එයිනුත් වැඩි පිරිසක් තරුණ ප්‍රජාව වීම කනගාටුවට හේතුවක්.

මේ තත්ත්වයට සාපේක්ෂව පසුගිය දශකයට වඩා තරමක් අඩු වුණත් තවමත් අපේ රටේ මිනිස්සු තමන් විසින් ජීවිත නැති කරගන්න එක සැලකිය යුතු මට්ටමකින් අඩු වෙලා නැහැ. සම්බන්ධතා බිඳුණම, බලාපොරොත්තු නැති වුණහම, ආර්ථිකව වැටුණම, මිනිස්සුන්ට ජීවිතේ එපා වෙනවා, ජීවිතේට තිත තියන්න හිතෙනවා, ඒක නැහැ කියන්න බැහැ ඒ විතරක් නෙමෙයි විශාදය වගේ රෝග තත්ත්වයන් උත්සන්න වීමේදීත් සියදිවි නසාගැනීමේ සිතුවිලි දැනෙන්න පටන් ගන්නවා.

ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ නෑ. කොටින්ම කිව්වොත් ප්‍රශ්න නැතුව ජීවත් වෙලා වැඩකුත් නෑ. කවදාහරි දවසක ඔයාට හිතුණොත් දැන් නම් මං overload වගේ කියලා. මට මේ ප්‍රශ්න ටික තනියම දරාගන්න බෑ වගේ කියලා. පුදුම වෙන්නවත්, කලකිරෙන්නවත් දෙයක් නෑ. මිනිස්සුන්ට එහෙම හිතෙනවා.

ඊට පස්සෙ හිතුණොත් දැන් ජීවත් වුණා ඇති වගේ කියලා ඒකත් කමක් නැහැ ඒ වගේ තත්ත්වයන්වලදී මිනිස්සුන්ට එහෙම හිතෙනවා. ඒක අසාමාන්‍ය නැහැ. මේ ලෝකෙ හැම මිනිහෙක්ටම ජීවිතේ එකම එක සැරයක් හරි, ජීවත් වුණා ඇති කියලා හිතෙනවා.

ඒත්, අපි කවුරුවත් හිතෙන හැමදේම කරන්න යන්නේ නෑ. හැබැයි, ඒ සිතිවිල්ල දිගින් දිගටම ඔබට වද දෙනවනම්, සිතිවිල්ලකින් එහාට ගිහින් ක්‍රියාත්මක වෙන්න කියල ඔබ‍ට බල කරනවානම්.

අන්න එතනදී ඔබ පරිස්සම් වෙන්න ඕනෙ. ඒ කියන්නෙ දැන් ඔබ‍ට තව කෙනෙක්ගෙ උදවු ඕනෙ. ජීවිතේ නැති කරගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නිකමට හොයලා බලන්න ජීවිතේ නැති කරගත්ත මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ මිනිස්සුන්ගේ මරණයෙන් පස්සේ විසඳිලා ද කියලා. නැහැ. ප්‍රශ්නය එහෙම්මම තියෙද්දී ඒ මනුස්සයා නැති වෙලා විතරයි.

පසුගිය වසර කිහිපය දෙස බැලුවම ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවල සියදිවි හානිකරගැනීමේ වීඩියෝ සහ ඡායාරූප වැඩි වශයෙන් ප්‍රදර්ශනය කිරීම නිසාත් මිනිසුන් ජීවිත නැති කරගැනීමට පෙලඹීම වැඩි වීමට හේතුවක් බව මනෝ උපදේශන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට වගකීමෙන් කියන්න පුළුවන්. නියාමනයකින් තොරව ජනමාධ්‍යවලින් මිනිස්සු ජීවිතේ නැති කරගත්ත හැටි ප්‍රසිද්ධ කරවීම තුළින්, සිය දිවි නසාගැනීම් වැළැක්වීම වෙනුවට, සිය දිවි නසාගැනීම ගැන ප්‍රචාරයක් ලැබෙන බව වගකිවයුතු මාධ්‍යය දැන්වත් අවබෝධ කරගන්න ඕනේ.දිනපතා මේ වගේ දේවල් ඇස ගැටීම නිසා අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. ජීවිතේ එපා වෙලා ඉන්න කෙනෙකුට ජීවිතයට තිත තියන්න හිතෙන එක වළක්වන්න ලේසි නැහැ.

විෂාදය ප්‍රමුඛ සමහර මානසික රෝග නිසාත් මිනිස්සු සිය දිවි නසාගන්නවා. ඒ ගැනත් කතා නොකරම බැහැ. මානසික සෞඛ්‍ය ගැන අපේ රටේ ති‍ෙයන අවබෝධය හරිම ප්‍රාථමිකයි.කෙනෙකුට මානසික ලෙඩක් හැදුණා කියන්නෙ.

”එයාට පිස්සු කියලා තමයි හිතන් ඉන්නේ ” එහෙම හිතන එක තරම් පිස්සුවක් තවත් නැහැ.

මනෝ විද්‍යාවේ පියා සිග්මන් ප්‍රොයිඩ්ට අනුව මේ ලෝකෙ සියලුම මිනිස්සු ලෙඩ්ඩු. හැබැයි බෙහෙත් අවශ්‍ය මට්ටමට ත්ත්වය උත්සන්න වෙන්නෙ එක්තරා කොටසකට විතරයි. ඒ නිසා මුලින්ම එකක් කියන්නම්, මේක ලියන මමත්, කියවන ඔබත් කුමන හෝ වර්ගයක මානසික ලෙඩෙක්. ඒ නිසා මානසික ලෙඩ කියන්නේ කතා කරන්නත් බය ලැජ්ජා හිතෙන මාතෘකාවක් නම් නෙමෙයි.

එදිනෙදා සාමාන්‍ය ජීවිතයට බාධාකාරී ලෙස සිතේ ඇතිවෙන සිතිවිලි සහ ක්‍රියාවන් හෝ හැසිරීම්වල වෙනස් වීම සරලවම මානසික රෝග ලෙස හැඳින්විය හැකියි. ජානමය කරුණු, මානසික බිඳ වැටීම් සහ අහිමි වීම්, ආර්ථික සමාජයීය ගැටලු, පාරිසරික ගැටලු හෝ වෙනත් හේතු මත මොළයේ කෙමිකල් බැලන්ස් එක වෙනස් වෙලා, ශරීරයේ අනෙකුත් අවයව ලෙඩ වෙනවා වගේම මොළය කියන අවයවයත් තාවකාලිකව ලෙඩ වෙන්න පුළුවන්.

මොළය කියන්නෙත් අත, පය, කකුල වගේම තවත් එක අවයවයක්, ආදරය අඩු වුණාම, වැඩිපුර දුක කලකිරීම දැනුණාම, දරාගන්න බැරි තරම් පීඩනයක් ඇතිවුණාම, බලාපොරොත්තු කඩ වුණාම, අරමුණක් නැති වුණාම, සමාජෙන් ප්‍රතික්ෂේප වු විට, බොරු චෝදනාවලට වැරදිකාරයො වුණාම, වැඩිපුර වෙහෙසවෙලා කෙමිකල් බැලන්ස් වෙනස් වෙලා මොළයත් ලෙඩ වෙනවා. එතකොට ජීවිත ගේම් එක අතහරින්න කියලා මොළය සිතුවිලිවලින් හදවත්ට බල කරනවා. සමහරු යක්කු වගේ හැමදේම දරාගත්තට හැමෝටම එහෙම බෑ.

විශාදය හැදිලා, මානසික ආතතිය දැනිලා විඳවමින් ජීවත් වෙනවා කියන්නෙ මරණයටත් වඩා වේදනාත්මක දරාගනීමක්. ඒක දරාගන්න බැරිම වුණ කෙනෙක් සිය දිවි හානි කරගන්නේ ජීවත් වෙලා ඇති නිසා නෙමෙයි. වෙන කරන්න දෙයක් නැතිම නිසා.

තමන්ට මානසික රෝගයක් ති‍ෙයනවා කියලා තේරුම් ගන්න එක ටිකක් අමාරුයි. මොකද බොහෝ විට පිට අයට වගේම රෝගියාටත් ඒක දැනෙන්නේ හරියටම කියාගන්න නොතේරෙන ශාරීරික රෝගයක් විදිහටම තමයි. ❗අධික දුක, හුස්ම ගැනීමේ අපහසුව, නින්ද යෑමේ ගැටලු, හු‍ෙදකලාව, ආහාර ගැනීමේ ගැටලු, චර්යාවල වෙනස්කම්, නොතේරෙන බය, සමාජ භීතිකාව හේතුවක් නැති කලකිරීම සහ දුක සියල්ල එපා වීම, හේතුවක් නැතුව හඬන්නට සිතීම නිතර හැදෙන හිසරදය, වමනය, අධික කෝපය, කතා කිරීමේ අපහසුව තීරණ ගැනීමේ අපහසුව, ගඳ සුවඳ වෙනස්කම්, උගුරේ හිරවීම්

මානසික රෝගවලට උගත්කම, බුද්ධිමත්කම, වයස, තරාතිරම අදාළ නැහැ. මානසික වෛද්‍යවරුන්ට පවා මානසික රෝග හැදෙනවා. කොටින්ම කිව්වොත් ලෝක ජනගහනයෙන් සෑම දහයකගෙන් තිදෙනෙකුම බෙහෙත් අවශ්‍ය මානසික රෝගවලින් පෙළෙන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. පිළිගැනීමට ඇති අකමැත්ත, නොතේරුම්කම සහ රෝගය පැවසීමට ඇති අනිසි බිය නිසා, විශාදය, ආතතිය වගේ බහුලව හැදෙන මානසික රෝග උත්සන්න වීම නිසා බොහෝ පිරිසක් සිය දිවි හානි කරගන්න පෙලඹෙනවා.

හැබැයි, නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් සහ බෙහෙත්වලට යොමු වුණොත්, හිතුණාට වඩා ඉක්මනින් ඔබට සුව වෙන්න පුළුවන්.

ඒ වගේම, ක්‍රීඩා කිරීම, ව්‍යායාමය, විනෝදාංශවලට යොමුවීම, භාවනා ක්‍රම, සංගීතය, කලාව, ආහාර රටාව හැබැයි, නිසි වෙලාවට වෛද්‍ය උපදෙස් සහ බෙහෙත්වලට යොමු වුණොත්, හිතනවට වඩා ඉක්මනින් ඔබට සුව වෙන්න පුළුවන්.

විෂම ලිංගිකද, සම ලිංගිකද, ද්වි ලිංගිකද, විවාහකද, දික්කසාදද, රස්සාව මොකක්ද දරුවෝ කී දෙනෙක්ද, ඒ දරුවන්ගෙ ජාතකේ මොකක්ද ? ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ කාගෙ වුණත් අතිශය පෞද්ගලික කාරණා ඇදලා අරන් හිත් තුවාල කරන්න, පෝස්ට් ලියන්න, වීඩියෝ ශෙයා කරන්න, කතා හදන්න, කතා පතුරවන්න, ගිනි තියන්න කලින් තව පාරක් හිතන්න. අද නැතත් කවදාහරි දවසක දරාගන්නම බැරි වෙලා ඒ කෙනා සිය දිවි හානි කරගත්තොත් උසාවිවලින් වැරදිකාරයො නොවුණට වචනවලින් දායක වෙච්ච හැමෝම ඒ මරණවල මිනීමරුවො තමයි.

බේරගන්න පුළුවන්කමක් තියෙනවනම් කූඹියෙකුටවත් මැරෙන්න දෙන්න එපා.

සිය දිවි නසාගැනීම් අවම කරගැනීම වෙනුවෙන් තමන්ට පුළුවන් හැමදේම කරන එක හැමෝගෙම යුතුකමක් විතරක් නෙමෙයි වගකීමක්.

වැඩි විස්තර සඳහා පහත ආයතන අමතන්න. ඔවුන් ඔබට නොමිලේම සේවය සපයන්න සූදානම්.

අංගොඩ මානසික

සෞඛ්‍ය ආයතනය 👇

+94-112578234

+94-112578238

සුමිත්‍රයෝ ආයතනය 👇

+94 11 2 682535

+94 11 2 682570

 

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?