නදීකා මධුවන්ති එහෙමත් නැතිනම් නදී ටීචර් කියන්නෙ තරුණී පුවත්පතට නුහුරු නුපුරුදු නමක් නම් නෙවෙයි. අම්මලාට පුංචි පැටවුන් එක්ක විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙනගන්නා හැටි කියාදෙන ඇය හරි අපූරු ගුරුතුමියක්. තමන්ටම ආවේණික ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් සතු ඇය මේ වනවිට ඉංග්‍රීසි පොත් කිහිපයක්ම දරුවන් වෙනුවෙන් එළිදක්වා තිබේ.
ඒ විතරක් නෙවෙයි මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම දරුවන්ගේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් ඇතුළත් පොත් තුනක් ද පසුගියදා ඇය විසින් එළිදැක්වූවා. ඒ ඇයගේම සංකල්පයක් අනුව මාතර දී විවෘත කළ Wonder Bookstore හිදී.
ඉතින් ඒ පිළිබඳ තොරතුරු තරුණීට කියන්න ඇය අමතක කළේ නැහැ.
මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් අලුත් පොත් තුනක් මම එළි දැක්වූවා. පුංචි දරුවන්ගේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් ඇතුළත් මේ පොත් භාෂා තුනෙන්ම සැකසුවා.
ඉතින් ඒ පොත්වල අන්තර්ගතය ගැනත් අපිට කියන්න.
දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට අදාළව මා විසින් පොත් දෙකක් නිර්මාණය කළා. ඒ Pre school activity book – 1 සහ pre school activity book – 2. මේවා පෙර පාසල් ක්‍රියාකාරකම් පොත්. මෙයින් පළමු පොතේ ක්‍රියාකාරකම් හරහා ඉගෙනුම් කුසලතා සංවර්ධනයට අවශ්‍ය තාර්කික චින්තනය, ගැටලු විසඳීම, නිරීක්ෂණ සහ පූර්ව ලිවීමේ කුසලතා ගොඩනැඟීම සිදු වෙනවා. දෙවැනි පොතට බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් ඇතුළත්. වර්ග කිරීම, ගැළපීම, අංක සහ ප්‍රමාණයන් හඳුනා ගැනීම, වර්ණ ගැන්වීම, හැඩතල, රටා සහ සෙවණැලි හඳුනා ගැනීම වාගේ බොහෝ ක්‍රියාකාරකම් රැසක් මේ පොතට අඩංගුයි. විනෝදාත්මකව ඉගෙනීමට හැකි වීම මේ පොත්වල තිබෙන විශේෂත්වයක්. ඊට අමතරව මා විසින් සැකසූ Brain Boosting Activity Book එක බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් ඇතුළත් පොතක්. දරුවන්ගේ දැනුම මෙන්ම තාර්කික චින්තනය වැඩි දියුණු කිරීම උදෙසායි මා එය නිර්මාණය කළේ.
ඔබ මීට පෙර දරුවන් වෙනුවෙන් කතන්දර පොත් කිහිපයක් නිර්මාණය කළා නේද ?
ඔව්. මම විශ්වාස කරනවා කතන්දර පොත් තුළින් දරුවන්ගේ ගතිගුණ වැඩිදියුණු කරන්න, හැකියාවන් වර්ධනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි කතන්දර පොත් කියවීම මඟින් දරුවන්ගේ වචන මාලාව, ඉංග්‍රීසි භාෂණ හැකියාව, නිර්මාණශීලීත්වය, චිත්තරූප මවාගැනීමේ හැකියාව අවසාන වශයෙන් සියල්ලන්ගේම එකමුතුවක් ලෙස බුද්ධි වර්ධනය, ඔවුන්ට වඩාත් කල්පනාකාරී සහ පරිකල්පනීය වීමට උදවු කරනවා.
ඉතින් මම මේ කතන්දර පොත් ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිර්මාණය කළා. මොකද මේ නිසා ඉංග්‍රීසි භාෂාවට සමීප නැති ඉංග්‍රීසි කියන්න, ලියන්න අපහසු මවුපියන්ටත් තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි කතන්දරය පැහැදිලි කර දීමේ හැකියාව වැඩිවෙනවා. ඒ වගේම මේ ද්වීභාෂා ක්‍රමය නිසා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඔවුන්ගේ ඉංග්‍රීසි හැකියාව වැඩි දියුණු කර ගැනීමට පුළුවන් වෙනවා.
චම්පා