Friday, October 3, 2025
Epaper
Home කවි හිමිදිරියහිමිදිරිය

හිමිදිරිය

by Thanushika

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.

අද හිමිදිරියට කවි තෝරන ඔහු වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

පේරාදෙණිය විශ්වවිලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගෙන ඇති ඔහු මේ වනවිට කාව්‍ය සංග්‍රහ හයක්, කාව්‍ය විචාර කෘති දෙකක් සහ හයිකු පරිවර්තන කාව්‍ය සංග්‍රහයක් නිකුත් කොට ඇත. වෘත්තියෙන් ගුරුවරයකු වන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ කෘති ජාතික මට්ටමේ සම්මාන සඳහා නිර්දේශ වී ඇත .

හොඳම කවිය

රන් රඹුටන්

රන් රඹුටන් ගස් දෙකයි
දරු පැටවුන් පස්දෙනයි
උන්ගේ කුසගිනි නිවන්න
රඹුටන් ගෙඩි ගොඩ ගැසෙයි

රඹුටන්වල රස සිහිවී
නෙත කඳුළැලි ඇදහැලෙයි
රස බැලුවොත් එක ගෙඩියක්
රන් කහවනු සිඳී යයි

රිදී කාසි ඇති වුන්
රඹුටන්වල රසබලයි
රන් රඹුටන් විකුණාලා
හතර වටේ ණය ගෙවලා

රඹුටන් රස සිහි කර කර
ගෙදර දුවයි වෙහෙසිලා
රන් රඹුටන් ගස් දෙකයි
දරුපැටවුන් පස්දෙනයි
උන්ට කන්න හැදුණු
ගෙඩිය පින් මදි වී අහිමි වෙයි

පී. එල්. ජානක විශ්වජිත්
රත්ගම

අද කවි අතරින් හොඳම කවිය ලෙස තෝරා ගන්නේ ජානක විශ්වජිත් අපට යොමු කළ රන් රඹුටන් ගස් දෙකයි කවියයි. සේරිවාණිජ ජාතකයේ වළලු ඉල්ලා හඬන මිනිබිරියගෙන් ඇසෙන ශෝකී රාවය ලොව කොයි දෙසත් රජයන දරිද්‍රතාවයයි. මේ කවිය දරිද්‍රතාවය ගැන සංවේදීතාවය පළකරයි.

————–

තාත්තා

හඬ නොනගන
ගැඹුරු ජලය
නොසෙල් වෙනා
විසල්පව්ව
ඔබයි තාත්තේ

ජීවය දෙන
හමන පවන
අඳුර නසන
දිලෙන පහන
ඔබයි තාත්තේ

ලොවේ සියලු ශක්තීන්ට
වැඩියෙන් මට ශක්තිය දෙන
හිරු රජු ඔබමයි මා හට
මගේ තාත්තේ

කේ. ඩබ්ලිව්. සිරිසේන
මාලබේ

————–
තනිකඩ දිවිය

දවසින් දවස කාලය ගත වී යනවා
අලුයම පිපුණු මල් සවසට පර වෙනවා
කළු පැහැ මුහුණේ සුදු රේඛා මතු වෙනවා
තනිකඩ ගෙපැල තුළ පහනක් දැල්වෙනවා

සිත පිනවන්න පතනා රුව ළඟක නැති
පාළුව නිසල බව දිවියම වෙළා ඇති
ළංවන අයත් ටික කලකින් දුරස් වෙති
උරුමය මෙමට පාළුව තනිකම ද නිති

පුරන් කුඹුරු අස්වැද්දුව කවදා දෝ
රන්වන් කරල් කැපුමට නොලැබී යාදෝ
අස්වැන්නෙන් බිඳක් මෙමටත් හිමිවේ දෝ
තනිකඩ ගෙපැල සව්සිරියෙන් වැජඹේ දෝ

ගෙපැලේ පිලට වැහි හිරිකඩ වැදෙන කොට
වහලේ සිදුරුගෙට වැහිදිය ගෙනෙන විට
බුදියන පැදුර වැහි වතුරෙන් පෙඟෙන විට
තනිකඩ දිවිය ගත වී යයි ඉදිරියට

මනෝන්දිකා විජේගුණවර්ධන
පානදුර

———-
ආරාධිත කවිය

අත්හැරුණු තැන්වලත් සෙවූ සුවය තියෙනවද

පහන් සිළු අවුළුවා අඳුරු කැටි දැවෙනවද
පළගැටියො සුසුම් ගෙන සිනා කැන් සොයනවද
සඳ සිසිල ගිනිගන්න රාහු හුළු ගෙනෙනවද
කියනු බැරි සුවහසක් හිත් පතුලෙ මියෙනවද

හීන කන්දට උඩින් මෙර ගිරක් පෙනෙනවද
ඇහැරවන මැදියමක දිගු නින්ද බිඳෙනවද
නිරිත දිග මෝසමට වලාකුළු ඇදෙනවද
රෑහියන් කුරුටු ගෑ කවි අකුරු හඬනවද

පිනි හඬන මල් අගම සියුම් හිත් පිපෙනවද
දලු දමන ලියමඩුලු තුරු මුදුන් දකිනවද
අත්හැරුණු තැන්වලත් සෙවූ සුවය තියෙනවද
පෙනෙන මානෙක නැතත් සුගන්ධය දැනෙනවද

මහගම සීලානන්ද හිමි
———

මායිමේ වෙරළු

අර වෙරළු ගහේ අතු වැටට උඩින්
එබිකම් කර කර
අනේ අපිටත් අඬ ගසයි
රසම රස වෙරළු දෙන්න

හිනාවෙනවා වාගෙයි
අපිත්තෙක්ක
ඒ වෙරළු ගහ…
වැට ළඟ ඉඳන් නිසංසලේ

සුළඟට අවනතව
සින්දු කියන…
ඒ වෙරළු ගහට කොහෙන්ද
එච්චර සැහැල්ලුවක් …?

යාබද නිවෙසේ
මායිමේ ඉඳන්
සම සමව වෙරළු බෙදන ආදරයක්…
ඒ වෙරළු ගහට කොයිබින් ලැබුණාද?

ජයන්ත ග. ජෝතියරත්න

———
තුත්තිරි ගස්

කෙට්ටු
උස
තුත්තිරි ගස
හිත රිදී
හිඳී කරබාගෙන
යනෙන කල මිනිසුන් අසලින්
මුමුණන්න වදනක්
සිත ඇතත්
‘දන්නන් අසලින් යන කල
බලෙන් පැන
ඇගේ වෙලෙනවා’ය කියන
තුත්තිරි ගස

ඒ කතාවලට බියෙන්
අහිංසක හරි මෙලෙක
සිතැඟි යටපත් කොට
හිඳී බිම බලාගෙන
මලුත් පුදනවාය නොකියන
සුවඳ පොදකුදු නැති තුත්තිරි ගස්
හිඳී බිම බලානම

චමින්ද රොෂාන්

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?