පොද වැස්සක් වැටෙයි. මැදියම් රැය සෙමෙන් පසුවෙයි. ගාලු පාර දෙපස ගොඩනැඟිලිවලින් ගලන එළි කිරණ වැසි දියෙන් සේදි සේදී දිය සායම් චිත්‍රයක් වගෙයි. එළිය සීතලයි. පික්මී රථය වැල්ලවත්තෙන් මෙරයින් ඩ්‍රයිව්වට වැටෙයි. විරාජ් තඩිකාර ළඟ නිගූ සුරක්ෂිතයි. විරාජ් ඉදිරිපස අසුනෙහි හිඳ නිගූ කියන තැනට සේන්දු වන්නට රියැදුරුට උදවු වෙයි.
වම්පස රිය කවුළුව විවර කොට මුහුදු සුළං අහුරක් විඳින්නට එකවරම ඇති වූ ආශාව නිගූ යටපත් කරයි. මතුපිටින් සන්සුන් වුණත් ඔහු ඇතුළතින් ටිකක් කලබලයි. සීතල බී ෆීටර් වඩි කීපයෙනුත්, කැනබි ධූපයෙනුත් සිත මායාවී ආරම්මණ පිරි කැලතීමක වෙළෙයි. සනීපයි. එහෙත් විටින් විට නැඟෙන අකුණු සැර සේ ඇතුළත කම්පාවක්, මූසල පාළුවක්, හිස්කමක් දැනෙයි. එවැනි හැඟුම් පරාජිත සිතුවිලි බවට පත් වී සිතේ පැලපදියම් වන්නට ඉඩ නොදිය යුතුයැයි නිගූට සිතෙයි. තමා ජීවිතය වැරෙන් අල්ලා ගෙන සිටිනු විනා යායුතු මං හසරක් නොදන්නවා නොවේදැයි ඔහුට සිතෙයි.
නිගූගේ ජීවන යාත්‍රාවේ රුවල බිඳී ගියේ මීට වසර දෙකකට පෙර දිනකයි. ඒ කාංචනාගේ රහස් පෙම්දම හරියටම දැනගත් දවසයි. ඒ නිගූ සිතින් ගතින් දෙකෙන්ම ප්‍රේමයෙන් පිරී සිටි සමයකි. කාංචනා ද තමා මෙන්ම නිහඬ ප්‍රේම වෘතයක් පුරනු ඇතැයි නිගූ සිතුවේ ඒ නිසයි. එහෙත් එය තමා විසින්ම මවා ගත් මායාවක අතරමංවීමක් නොවේ ද? ඔහුට එසේ සිතෙන විට සියල්ල සිදු වී හමාරයි. කාංචනා තමා අත හැර ආපසු හැරෙන්නට නොහැකි දුරක් ගොස් ඇති බව කියවෙන පණිවිඩය ඇගේම වචනවලින් දමා ගසයි.
කාංචනාගේ වෙනස් වීම සිදුව ඇත්තේ එම සිදුවීමට බොහෝ ඉහත සිට බව ඒ ගැන පසු විපරම් කරන විට නිගූට හැඟෙයි. හදිසියේම බළල් තඩියකු පැන පෙරළී බිඳී ගිය කාංචනාගෙත්, නිගූගේත් මංගල ඡායාරූපය ගරාජයේ පසුපස පසෙකට කර තිබෙනු දකින විටවත් ඇගේ සිත බිඳී ගොස් ඇතැයි ඔහුට නොසිතෙයි.
කාංචනා තමාව දෙවැනි තැනට ඇද දමා, තම රහස් පෙම්වතා බවට පෙම් ලොව දිග්විජය කරන්නට ඉඩ දී ඇත්තේ ඇගේම අමාත්‍යාංශයේ රියැදුරකුට බව දැන ගත් නිගූ අශාන්ව සොයා ගොස් මේ සම්බන්ධය නැවැත්වීමට ඔහුට තර්ජනය කළ යුතු යැයි සිතයි. මේ පිළිබඳ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හට පැමිණිල්ලක් කළ යුතු යැයි ද සිතයි. එහෙත් එය තමාට ලජ්ජා වන උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් නොවේ දැයි සිතා අතහැර දමයි. පසුව අශාන් හමුවන්නට රහසේ කටයුතු පිළියෙල කොට විරාජ් සමඟම ගොස් ඔහු හමු වී කතා කළ අවස්ථාවේ තමාව විශාල අගාධ පතුලකට ඇද දමමින්, මෙලොව පරාජිතම මිනිසා බවට තමාව පත් කළ අශාන්ගේ වචන නිගූට සිහි වෙයි.
“අනේ සර් මම කරන්නෙ මගේ රාජකාරිය. ඊට එහා දෙයක් අපි අතර සිද්ධ වෙනවා නම් ඒක මැඩම් එක්කම කතා කරලා බේරා ගන්න.. අපි ඉතින් සේවකයොනෙ.”
“ඊට එහා දෙයක් අපි අතර සිද්ධ වෙනවා නම් …” යනුවෙන් අශාන් කියන විට ඔහුගේ මුහුණේ ඇඳුණු තක්කඩි බැල්ම කෙරෙහි අප්පිරියාවෙන් එය අමතක කර දමන්නට නිගූ උත්සාහ කරයි. එහෙත් පසුගිය කාලය පුරාවටම ඒ පිළිකුල්සහගත සල්ලාලයාගේ තක්කඩි බැල්ම අමතක කර දමන්නට ඔහු අසමත් වෙයි. ඔහු ඒ මොහොතේ අශාන් ඉදිරිපිට බැගෑපත් වනු විරාජ් ද දකියි. විරාජ් ඒ ගැන කිසිවකුට නොකියයි.
“මල්ලී, මේක චූටි දුවෙකුත් ඉන්න පවුලක් නැති වෙලා යන්ඩ කාරණාවක්.. මං ඔයත් එක්ක රණ්ඩු කරන්න ආවෙ නෑ. ඔයා කල්පනා කරලා කැමැති දෙයක් කරන්න.”
ආත්මානුකම්පාවේත්, පරාජිත හැඟුම් පතුලේත් කිඳෙමින් වසර දෙකක් පමණ ගෙවෙද්දී නිගූ අම්මාට තව තවත් සමීප වෙයි. එසේ තමා අම්මාට සමීප වීමේ අතුරු විපාකය වූයේ කාංචනා තම නුරුස්නාව එළිපිටම අම්මා වෙත පළ කරන්නට වීමෙන් මැසිවිලි නොනඟාම අම්මා බණ්ඩාරගම යාමයි. අම්මාගේ නික්ම යාම ගැන කාංචනා කී දෙය ඇසීමෙන් ඈ ගැන තවදුරටත් ළෙන්ගතු හැඟීමක් හෝ භක්ති මාත්‍රයක් තිබිණි නම් එය ද සිඳී යයි.
“ඔය ගෑනි ඔයිට කලින් ඔය තීරණේ ගත්ත නම් මේ පවුල ආරක්ෂා වෙලා.. එයා ඉස්තාලෙ වැහුවෙ අස්සයා ගියාට පස්සෙ.”
කාංචනා සමඟ ආදරයෙන් වෙළී සිටි අවධියේ දී ඇගේ චරිතයෙන් කිසිදා අනාවරණය නොවූ කලාපයක් මෙලෙස හදිසියේම අනාවරණය වෙද්දී නිගූ තුළ තැතිගැන්මක් හට ගනියි. එය ඇය කෙරෙන් වහාම පලා යාමට පොළඹවන තැතිගැන්වීමකි. ඒත් සමඟ ම තමා ගැහැනියක සතුටු කිරීමට අසමත් අයකුය යන හීනමානය මුසු පරාජිත හැඟීම ඔහු තුළ රෝපණය කෙරෙයි. එය තමාවම පරීක්ෂාවට ලක් කිරීමකි. අභ්‍යාස කරමින් සොයා බැලිය යුත්තකි.
තමා අසෙනි වෙතින් ද ඉටු කර ගනිමින් සිටින්නේ එබඳු තමාවම ව්‍යවඡේද කොට බලන පරීක්ෂණාගාර අවශ්‍යතාවක් ද? තමාට ගැහැනියක් සැබවින්ම සතුටු කළ හැකි ද? යන්න තහවුරු කර ගැනීමේ අවස්ථාවක් ද යන සිතුවිල්ල නිගූගේ සිතට එකවරම කඩා වදියි. එහෙත් අසෙනි තමා වෙත ළං වීම එබඳු ව්‍යාජ ප්‍රවේශයකින් සිදු වූවක් නොවන බව ඔහු මෙනෙහි කරයි. අසෙනි දෙවැනි වර හමු වූ දවසේ ඈ නිගූගේ උරහිසට ළං ව උරහිසෙහි ගෑවෙන නොගෑවෙන ගාණට හිස ඇළ කොට ” මට ඔයාව බලාගන්න ඉඩ දෙන්න” යනුවෙන් කී අයුරු ඇගේ සුසුම් සුවඳත් සමඟම මතකයේ රැඳී තිබෙයි. ඈ එදා කී සේම අසෙනි තමා ගැන ආදරයෙන් ද, අවධානයෙන් ද සිටින බව ඔහු දනියි. එහෙත් ඈ අම්මා කෙනකු මෙන් තමාව දරා ගැනීමට උත්සාහ කළද බොහෝ අවස්ථාවලදී ඇගේ වෙර සිඳී ඇයව බලාගෙන සුරතල් කළ යුතු තරම් ඕලාරික වෙයි. ගමනක් යන ඇතැම් විටෙක පාරක් වැරදුණත් කාංචනා තමාට ගරහමින්, අපහාස කරමින් අවලාද කීවද අසෙනි තමාට ද පාරවල් මතක නොසිටින බව පවසා එය ඔවුන් එකිනෙකා හොඳින් ගැළපෙන්නට හේතුවන සාධකයකැයි සලකා සතුටු වන්නීය.
නියෝන් එළි කිරණින් නැහැවුණු මහල් ගොඩනැඟිල්ලක් අසල රථය නතර වෙයි.
“මෙතැන තමයි බොස් තැන.”
“අහ් …හරි අපි බහිමු.”
කළු ඇඳ ගත් හැඩිදැඩි තරුණයන් පිරිසක් මැදින් පිවිසුම් දොරටුව ළඟට පැමිණෙන අතර නිගූ මිතුරාට ඇමතුමක් ගනියි. ප්‍රඩක්ෂන් වැඩ කීපයක් එක්ක දිගේලි වුණු ඇසුරක් කාලයක් තිස්සේ නොයෙක් වැඩ සමඟ සම්බන්ධ වීමෙන් සමීප මිත්‍ර සන්ථවයකට පෙරළී තිබෙයි. දොර විවර වූ සැණින් නැඟෙන ටෙක්නො මියැසියට හද කුටීර පවා තෙපුල් දෙයි.
ටෙක්නො මියැසියට නිවෙන දැල්වෙන මායාවී එළි කිරණ සහසක් මැද දුමාරයෙන් පිරී ගිය නර්තනීය අවකාශය සරාගී ළඳුන් පාවෙන ඕවිල්ලකි.
නිගූගේ මිතුරා වහා පිවිසුම් දොරටුව කරා පැමිණ නිගූව තදින් වැලඳ ගනියි.
“අම්මට සිරි නිගූ.. යූ කේම් ඔන් ද පර්ෆෙක්ට් ඩේ. ආ..හ් ….ෆුල් ඔෆ් හැපනිං මචං…ජස්ට් හෑව් යුවර් ෆන් ෆ්‍රීලි…කම් කම් ඉන්සයිඩ් විත් යුවර් ගයි….”
” අඩෝ මරුනෙ.. අයි ගොට් ද වයිබ් රයිට් අවේ අයි එන්ටර්ඩ් මචං…අයි නීඩඩ් දිස් කයින්ඩ් ඔෆ් අ රිලීෆ් ටුඩේ. ..තෑන්ක්ස් ආ..හ්..”
මිතුරා ඇසින් ඉඟි මරා කළ ආරාධනාවෙන් සරාගී යුවතියෝ කිහිපදෙනෙක් ඔවුන් වෙත පාවෙති.
“චිල් අවුට් විත් අ ගර්ල් ඕ ටූ.. යූල් බී ෆයින් ඉන් නෝ ටයිම් බං .. ”
නිම් නැති සරාගී සාගරයක රිසි සේ පිහිනන්නට මිතුරා අපව ටෙක්නො මියැසි තුරුලට විසි කරයි. බොහෝ කල් සිට අප හා මිතුරුව සිටිය වුන් සේ සරාගී ළඳුන් අප වෙත දැවටෙමින් සාද මිහිරට අවැසි කළමනා සැකසෙයි.
තවත් කොටසකින් හමුවෙමු