සිඟිත්තියක්, සිඟිත්තෙක් ගෙදර ඉන්නවා කියන්නේ මුළු ගෙදරම හරි සිරියාවයි. ඉතින් ගෙදරට සිරියාව ගෙනෙන පුංචි පැටියගේ, සෙල්ලම් බඩු අපිටම හදා ගන්න පුළුවන්නම් කොච්චර වටිනවද. අම්මා කෙනෙක්ට ඒ තරම් සතුටක් වෙන කොහෙන්ද. එන්න එහෙනම් අපි අද අපේ පැටියට සොෆ්ට් ටෝයිස් හදමු. මේ සොෆ්ට් ටෝයිස් මී මැස්සන්, ටෙඩි බෙයාර්, පෙන්ගුයින් වගේ කැමැති හැඩවලට හදාගන්න පුළුවන්.
අද අපි හදන්නේ මී මැස්සෙක්ගේ හැඩය ගත්, හරි ලස්සන සොෆ්ට් ටෝයි එකක්.
අවශ්‍ය දේවල්
මී මැස්සා සඳහා කැමැති පාට දෙකකින් ෆ්ලීස් රෙදි( කහ, කළු)
සුදු පාටින් පියාපත් සඳහා පොලියෙස්ටර් ෆෙල්ට්
පැඩින්
රෙදිවල පාටින් නූල්
ඇස් සඳහා හාෆ් පර්ල් 2
නිර්මාණය කරගන්නා ආකාරය
කැමැති සයිස් එකකින් මේ මී මැස්සා සාදා ගත හැකියි. අපි මේ මී මැස්සාව අඟල් 6 ප්‍රමාණයට සකසා ගනිමු.
පළමුව මී මැස්සාගේ මුහුණ සහ ඇඟ රූපසටහනේ පරිදි ගත යුතුයි. ඒ සඳහා වෙන වෙනම කාඩ්බෝඩ්වල බ්ලොක් ඇඳ කපා ගන්න. මී මැස්සගේ මුහුණ අඟල් 3ක් ලෙසට ද ඇඟ කොටස අඟල් 5ක් වන සේ ඇඳගන්න.
මුහුණ සඳහා කහ පාට රෙදි කොටස් දෙකක් ගෙන හොඳ පිට මුහුණට මුහුණලා නවාගෙන ඇඳ, කපා ගන්න. කපා ගත් මුහුණේ ඉහළට (හිස උඩට) මී මැස්සාගේ ස්පර්ශක රූපයේ පරිදි කපාගෙන අැතුළු පැත්තෙන් එක කොටසක අලවා ගන්න. ඇඟත් එලෙසම කපාගෙන හොඳ පිට පිටතට තබා බ්ලැන්කට් මැස්මෙන් වටේට මසාගෙන යන්න. පැඩින් පිරවීම සඳහා ඉඩක් තබාගෙන පැඩින් පුරවා මසා නිම කරගන්න. ඉතිරි කොටස් ද වෙනම එලෙස පැඩින් පුරවා ගන්න.
ඉන්පසුව මුහුණේ ඇස් දෙක ලකුණු කර ඉදිකටුවට නූලක් දමා එකම තැන තුන් හතර වතාවක් නූල් අදින්න. (එවිට ඇස් යටට එබුණා වගේ එනවා) ඇඟ සඳහා කළු ෆ්ලීස් රෙද්දෙන් තීරු 3ක් කපා රූපයේ පරිදි සකසා ගන්න. දැන් අපි පියාපත් සාදා ගනිමු. සුදු පොලියෙස්ටර් රෙදි කොටස ගෙන පියාපත් ආකාරයට ඇඳගෙන කපා මී මැස්සාගේ පිටුපස කොටසට තබා අලවා ගන්න. ඒ සඳහා ග්ලූ ගන් එක පාවිච්චි කරන්න. ඇස් පර්ල් අල්ලා නිම කරගෙන මුහුණ සහ ඇඟ කොටසත් රූපයේ පරිදි අලවා ගන්න.
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනි
අක්ශානි උද්දීපා
Line Art – නිලක්ෂි ආරියරත්න
විදුමිණි දිසාකරුණා