Friday, October 3, 2025
Epaper
Home විශේෂාංගකියවන්න ඒත් තෝරා ගන්න

කියවන්න ඒත් තෝරා ගන්න

by Thanushika

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙන්නේ සැප්තැම්බර් 27 වැනිදා සෙනසුරාදාය. 26 වැනි වරටත් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී පොදු නිරීක්ෂණය වන්නේ වැඩිපුර සහභාගී වෙන්නේ කාන්තාවන් බවය. එනම් පාඨක සංස්කෘතියේ බර වැඩිපුරම දරන්නේ කාන්තාවන්ය. එවැන්නක් අසන්නට ලැබීම තරුණී අපට සතුටකි. සිතට දැනෙන්නේ අමන්දානන්දයකි.

වැඩිපුරම පොත් කියවන්නේ කාන්තාවන්දැයි යන්න ගැන නිශ්චිතව අපට කිව නොහැකිය. නමුත් පොත් ප්‍රදර්ශන භූමියේ වැඩි වශයෙන් ගැවසෙන්නේ කාන්තා ඔබ වීම අපට ආඩම්බරයකි. තව බොහෝ දෑ තිබියදී, විනෝද වන්නට විවිධ මාර්ග බහුලව තිබියදී පවා ඔබ මේ දින 10 පුරා පොත් ප්‍රදර්ශනයට මූලිකත්වය දීම වැදගත්ය.

අප හැමදාමත් කියන පරිදි ගෘහයේ ආලෝකය කාන්තා ඔබය. පවුල සම්බන්ධයෙන් ඔබ සතු වගකීම සුළුපටු නොවේ. ඔබ නිවෙසේ ඇති කරන පරිසරය විසින් සැමියාගේ, දරුවන්ගේ හා මවුපියන්ගේ ජීවිත සකස් වේ. ඔබ කියවන පරිසරයක් පවුලේ ඇති කරන්නේ නම් එය දරුවන්ට ද ආදර්ශයක් වනු ඇත.

අද අප ඔබට කියන්නට යන්නේ ඔබ කියැවිය යුතු, දරුවන්ට කියැවිය යුතු පොතක්; පොත් ප්‍රදර්ශනයෙන් තෝරා ගන්නේ නම් එය වගකීමෙන් යුතුව කළ යුතුව ඇති බවයි.

ඕනෑම දෙයක් කියවන්නෙක් වෙනුවට තෝරාගත් පොතක් කියැවීමේ වැදගත්කම ඔබ අවබෝධ කරගත යුතුව ඇත. කියැවීමෙන් මිනිසා සම්පූර්ණ වේ යන්නට නැණ ගුණෙන් පූර්ණය වේ යන්න එකතු විය යුතුව ඇත. එනිසා පොත් ප්‍රදර්ශනයේ දහසකුත් එකක් පොත් අතරෙන් ඔබ තෝරා ගන්නා පොත ඔබේ ඉදිරි ගමනට කුමන හෝ ධනාත්මක බලපෑමක් සිදු කරන පොතක් වීම ගැන ඔබ සැලකිලිමත් විය යුතුව ඇත. කියවන පුරුද්ද හොඳ සේම ඒ පුරුද්ද විසින් ඔබේ ජීවිතයට යමක් එකතු කරන පොතක් තෝරා ගැනීම කෙරෙහිද ඔබේ අවධානය යොමු විය යුතුය.

කියැවීම විසින් එකතු කරන ආලෝකය වඩාත් සාර්ථක වන්නේ එවැනි ඔබව වඩාත් දැනුමෙන්, අවබෝධයෙන් පොහොසත් කරන පොත් තෝරා ගතහොත් පමණකි. ඔබ වඩාත් අර්ථ සම්පන්න, පරිණත හා අවබෝධාත්මක කාන්තාවක් වන්නේ එවැනි තෝරා ගැනීමකදීය.

කෙසේවුවත් තරුණී අපේ අභිලාෂය වන්නේ ඔබ ගුණෙන් මෙන්ම නැණෙන් ද පොහොසත් කාන්තාවක් වනු දැකීමයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?