නිසයුරුගේ Asia Rising නිර්දේශිත කෘති අතරට
“උගත මනා ශිල්පයමයි මතු රැකෙනා”යන හෙළ වැකිය යථාර්ථයක් කරමින් තමන් උගත් දෑ, අකුරු කරනා නව ලේඛිකාවක් ලෙස නිසයුරු ආරියවර්ධන හැඳින්විය හැකියි. නාරම්මල ප්‍රදේශයේ හැදී වැඩී නාරම්මල මයුරපාද ජාතික පාසලෙන් සිප් සතර හැදෑරූ ඇය, කැලණි සරසවියට පිවිසෙන්නේ ජාත්‍යන්තර සබඳතා විෂය තම උපාධිය ලෙස හදාරන්නටයි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව සංචාරක ක්ෂේත්‍රයේ විධායක නිලධාරිනියක් ලෙස සේවය කළ ඇය විදේශගත වන අතර, පසු කාලයේ කොළඹ සරසවියේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරන ලදී. කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙසද, විවෘත විශ්වවිද්‍යාලීය අධ්‍යයන සම්බන්ධීකාරකවරියක් ලෙස ද සේවය කළ ඈ වර්තමානයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන සම්බන්ධීකාරකවරියක් හා පෙර ළමාවිය හා අධ්‍යාපනය පිළිබඳ කථිකාචාර්යවරියක්.
ඇගේ විෂය වූ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය යටතේ ඇය උගත් දැනුම සමාජගත කිරීම උදෙසා ඉංග්‍රීසි බසින් කෘතීන් දෙකක් මේ වනවිට එළි දක්වා ඇති අතර ඇගේ දෙවැනි කෘතිය වන “Asia Rising” මෙවර 27 වැනි ගොඩගේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම අධ්‍යාපනික මූලකෘති සහ පර්යේෂණ ග්‍රන්ථ සඳහා නිර්දේශීය කෘති අතරට එක්වීම ඈ ලද විශාල ජයග්‍රහණයකි.
කුඩා කල සිට ඉගෙනීම් කටයුතුවලට ප්‍රමුඛස්ථානය දුන් ඇයට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා ඉහළ ශ්‍රේණියක් ගෙන අධ්‍යාපන අංශයෙන් ඉහළටම යෑමයි. එය ඇගේ පියාගේ ද විශාල බලාපොරොත්තුවක් විය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැක්වූ දැඩි උනන්දුව නිසා ඒ ආශ්‍රිතව ප්‍රකාශන දාහතකට ආසන්න සංඛ්‍යාවක් ඈ ලියා ඇත. ඒ ඇය විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේදීය. වැඩිදුරටත් ඇය පවසා සිටියේ ඇය දේශකවරියක් බැවින් ඇගේ සිසු දරුවන්ටත් ප්‍රයෝජනවත් වන සේ ලේඛනයට පිවිසි බවයි.
ගොඩගේ රාජ්‍ය සම්මාන උලෙළේ නිර්දේශවීම ඉතාම අනපේක්ෂිත සිදුවීමක් ලෙසත් ඇයව ලේඛනයට පෙලඹවූ ඇගේ දයාබර සැමියා වන රංගන ජයවික්‍රමවත් සිහිපත් කළ අතර විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ ඇගේ පියාත් විශ්‍රාමික ගුරුවරියක් වූ ඇගේ මවත් ඉතාම ආදරයෙන් මතක් කරමින් කියා සිටියේ ඔවුන් නිරන්තරයෙන් ඇගේ ලේඛන දිවියට යෝධ ශක්තියක් වූ බවයි.
නොයෙකුත් බාධක කම්කටොලු හමුවේ ඇයට අවැසි වූ වෘත්තීය ගමන් මඟට දොරටු විවර කළ ආචාර්ය හරිනි අමරසූරිය මැතිතුමියව ගෞරවයෙන් සිහිපත් කළ ඇය, ඇගේ පළමු කෘතිය එළිදැක්වීමට උපකාර කළ ආචාර්ය වගීෂා ගුණසේකර, කැලණිය සරසවියේ සහකාර කථිකාචාර්යවරියක් වීමට මඟ පෙන්වූ සිතාර ප්‍රියදර්ශන සහ වර්තමානයේ සේවය කරන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිමාශි ගමගේ ගේ සහයෝගයත් ඇගේ ජීවිතයේ මේ සුවිශේෂී සන්ධිස්ථානයේදී ගෞරවයෙන් සිහිපත් කරන්නීය. තමන් උගත් දැනුමෙන්
සමාජයක් බබළවන්නට වෙර දරන, ඇයගේ ලේඛන දිවිය තව තවත් සාර්ථක වේවා යැයි තරුණී පුවත්පතේ අප ද හදපිරි සුභාශිංසන එක් කරන්නෙමු.
ආකාශා
————–
ජනයි – ප්‍රියයි ලියූ රස කතා
රංග ජයකොඩි, චමල් රත්නායක යන නම් ඔබට නුහුරු නුපුරුදු ඇතිවාට සැකයක් නැහැ. ඒත් ජනයි ප්‍රියයි කී සැණින් වර්තමානයේ අපේ රටේ බාල තරුණ මහලු බොහෝ පිරිසක් ඔවුන්ව හඳුනනවාටද සැකයක් නැහැ. යූ ටියුබ් සමාජ මාධ්‍ය හරහා විනෝදාත්මක කතා ඉදිරිපත් කරමින් ඔබව සිනා සයුරක ගිල්වූ ඔවුන් මේ සාහිත්‍ය මාසයේ සිය කුලුඳුල් ග්‍රන්ථය එළිදක්වා තිබෙනවා. ජනා සහ ප්‍රියා යූ ටියුබ් සමාජ මාධ්‍යයෙන් ඉදිරිපත් කළ කතා ඇසුරින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර තිබෙනවා. ජන ප්‍රියයි රස කතා නම් වූ මේ ග්‍රන්ථය ගැන අප සමඟ අදහස් පළ කළේ රංග ජයකොඩි නැත්නම් අප කවුරුත් හඳුනන ජනා විසිනි.
මේ වගේ පොතක් කරන්න හිතුණේ ඇයි ?
කාලයක් පුරා අපි පොතක් කිරීමේ ආශාවෙන් පසුවුණා.
ඇත්තටම මට සාපේක්ෂව ප්‍රියා ලේඛනයට ගොඩක් දක්ෂයි. ඒ නිසා අපේ ජීවිත කතා ඇසුරින් හෝ පොතක් ලියමු යැයි ප්‍රියාට යෝජනා කළා. කාලයක් වෙන් කර ගැනීමට නොහැකි වීම, කාර්‍යබහුලත්වය වැනි හේතු නිසා ඒ කාර්ය අප අතින් ගිලිහුණා. ඉතින් ඒ අතරතුර රසකතා පබ්ලිකේෂන්හී ධනුෂ්ක ලක්මාල් අපට අපූරු යෝජනාවක් ගෙනාවා. අපි යූටියුබ් හී ඉදිරිපත් කළ කතා ඇසුරින් ඒ පොත කරමු යැයි එහිදී ධනුෂ්ක යෝජනා කළා. ඇත්තටම මේ වගේ පොතක් කරන්නට අප යොමු වන්නේ ඉන් අනතුරුවයි.
පොත හැදුණේ කොහොමද ?
ඒ අනුව අපි මුලින්ම ඉදිරිපත් කළ කතා 100ක් මේ පොතට ඇතුළත් කළා. ඒ ඇතැම් කතාවලට පිටපත් පවා තිබුණේ නෑ. ඉතින් කතා පොත වෙනුවෙන්ම අපට ඒ කතන්දරවලට පිටපත් නිර්මාණ කරන්නට සිදු වුණා.
අපි කතා නිර්මාණය කරද්දි චරිත බෙදා ගන්නා ආකාරය, පිටපත් නිර්මාණය කර ගන්නා ආකාරය ගැන පවා මෙහිදී අවබෝධයක් ලබා ගත හැකියි.
යම් දිනක කුමන හේතුවකින් හෝ යූටියුබ් එක නැති වුණොත් අපිට පොතක් හෝ ඉතිරි වීම සතුටට හේතුවක් වේවි. ඒ වගේම පොතක් ලියූ ලේඛකයෙක් වීමේ සතුටත් මේ වන විට අපට තියෙනවා.
යූටියුබ් කතා ඇසුරින් මීට පෙර පොත් නිර්මාණය වී නැහැ නේද ?
ඔව්. යූටියුබ් මාධ්‍යයට නිකුත් කළ නිර්මාණවලින් ග්‍රන්ථයක් එළිදැක්වූ පළමු අවස්ථාව මෙය යැයි අපත් විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් පොතක කතාවක් ඇසුරින් යූටියුබ්වලට කතා නිර්මාණය වුණත් මෙවැන්නක් ලෝකයේ කොහේ හෝ සිදු කර ඇතැයි අපි අසා නෑ. ඒ වගේම මෙයින් නොනැවතී අපි මේ වන විට යූටියුබ් සමාජ මාධ්‍යයට නිර්මාණය කර ඇති කතා 400කට අධික සංඛ්‍යාවක් අතරින් ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරනවා.
පසිඳු