බොල්ගොඩ වැව නිසල ය. උදා හිරු වලාකුළු අතරෙන් තැනින් තැන එබිකම් කළේ තවමත් අලුයම පහව ගොස් නැති බැවිනි. වරින් වර නිසල දිය මතින් කුඩා ශබ්දයක් ඇසෙයි. හිරු කිරණ වැව් දිය මතට වැටෙන තෙක් බලා සිටින මාළු කුඩා හිරු කිරණක් දිය මත වැටී වහා ඒ උණුසුම ලැබ ගනු සඳහා වතුරෙන් උඩට පනිති. හාත්පස දැඩි නිහඬතාව බිඳෙන එක ම හඬ මාළුන් වරින් වර දිය මතින් උඩට පැන නැවත වතුරට ම වැටෙන ජබොග් හඬ ම පමණි.
වැව් කණ්ඩිය උඩ වාඩිවී මම නිසලව වැව දෙස බලා සිටියේ සොබාදහමට අබැටක් හෝ නොදැනෙන පරිද්දෙනි. මසිතේ භාවනාමය සංයමය බිඳුණේ එක්වර ම හීයක වේගයෙන් පැමිණි පක්ෂයෙක් වැවේ වූ යමක් ඩැහැගෙන ඒ ක්ෂණයෙන් ම ඉගිළ යෑමෙනි. කුමක් සිදුවූවාදැයි සිතන්නට හෝ කාලයක් තිබුණේ නැත. ඒ කුඩා පක්ෂයා පෙනෙන්නට නැතත් ඈතින් කුමක් හෝ තදින් ගැසීමේදී මතුවන ශබ්දයක් නැඟෙනු ඇසිණි. මම ඒ නිසල පරිසරය සසල කළ ශබ්දය ඇසුණු දිසාව බැලුවෙමි. වැව් දිය මත ගෑවෙන නොගෑවෙන සේ පහත් වී තිබූ කදුරු ගසේ කඳ මත සිටි පිළිහුඩුවෙක් තමා අල්ලාගත් මාළුවා ගිල දැමීමට මත්තෙන් ගසේ කඳට ගසමින් වැරෙන් ගසමින් සිටියේ, තවමත් පණ ගැහෙන මාළුවාගේ මස මෙලෙක් කළ පසු ගිල දැමීමට පහසු නිසා ය. තවමත් පණ ගැහෙන මාළුවා බේරා ගැනීමට උඩු සිත සිතුවත්, යටි සිත ඒ සමඟ ම පවසන්නේ සොබාදහමට විරුද්ධ වීමට අපට අයිතියක් නැති බවයි.
එදා කුඹුරු අයිනේ, ගඟ මායිමේ, ළිං ගැටි අසල ගස්වල පමණක් දකින්නට ලැබුණු පිළිහුඩුවා අද අප වෙසෙන නාගරික පරිසරයේ පවා සුලබ ව දක්නට ලැබෙන පක්ෂියෙකි. වැව ආශ්රිත ව පමණක් නොව ඔබේ ගෙමිදුලේ ද පිළිහුඩුවා මේ වන විට ආගන්තුකයෙක් නොවන බව ඔබ දැක ඇතිවාට සැක නැත.
ශ්‍රී ලංකාවේ නිත්‍යවාසී පිළිහුඩු වර්ග හයක් පමණ වෙයි. ජීවත් වන බොල්ගොඩ වැව ආශ්රිත ව නිරන්තරයෙන් දක්නට ලැබෙන පිළිහුඩු වර්ග කිහිපයක් වේ. ඒ මහ පිළිහුඩුවා, කළු සුදු වර්ණිත ගෝමර පිළිහුඩුවා, මල් පිළිහුඩුවා සහ මා පෙර කියූ ළය සුදු පිළිහුඩුවා ය. ඊට අමතරව කළු ඉසැති මැදි පිළිහුඩුවා සහ රන් පිළිහුඩුවාද ලංකාවේ වෙසෙන බව පරිසර විද්‍යාඥයන්ගේ මතයයි. වැවේ නිසල බව බින්දේ මේ අතරින් වඩාත් ප්‍රචලිත ඔබේ ගෙවත්තේ පවා නිතර දැකිය හැකි උගුරේ සිට බඳ පෙදෙස දක්වා සුදු පැහැති ලපයක් ඇති පිළිහුඩුවා ය.
මේ පිළිහුඩුවා අතීතයේ මෙන් නොව දැන් ආහාරයට ගන්නේ මාළුන් පමණක් නොවේ. ඔබේ ගෙවත්තේ සිටින කුඩා සත්තු මේ පිළිහුඩුවාගෙන් බේරෙන්නේ නැත. කුඩා කුරුලු පැටවුන්, කටුස්සන්, කුඩා උරගයන්, කෘමීන් ආදිය මේ වන විට මොවුන්ගේ ආහාර දාමයට ඇතුළත් වී සිටිති. එමෙන්ම පිළිහුඩුවා මිනිස් ඇසුරට බිය ද නැත. එනිසා නාගරික ග්‍රාමීය බේදයකින් තොරව මේවන විට පිළිහුඩුවා ජනප්‍රිය කුරුල්ලකු බවට පත් ව සිටියි.
සාමාන්‍යයෙන් පිළිහුඩුවා සිය කූඩුව හදන්නේ කණ්ඩියක් හාරා ගුලක් නිර්මාණය කිරීමෙනි. මේවනවිට පිළිහුඩු ගහනය වැඩි වීම නිසා ළිං ඉවුරු, කාණු කණ්ඩි, ගෙපැල් අත්තිවාරම්හි පවා මොවුන් සිය කූඩු සාදති.
පිළිහුඩුවා ස්වභාවයෙන් ම ආක්‍රමණශීලි කුරුල්ලෙකි. තමන්ගේ ගොදුර අවට සිටින කුඩා කුරුල්ලන්ට පහර දී එළවමින් කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා බහුලව ඇත්තේ ඒ නිසා ය.
ළය සුදු පිළිහුඩුවා සුලබ ව දක්නට ලැබුණත් අනෙක් පිළිහුඩුවන් ඒතරම් සුලබ ලෙස දක්නට ලැබෙන්නේ නැත. ඉතා කුඩා පක්ෂියකු වන මල් පිළිහුඩුවා අලංකාර වර්ණ සංයෝජනයකින් යුතු ය. සුදු කළු ගෝමර වැටුණු ගෝමර පිළිහුඩුවා ද අලංකාර පක්ෂියකු වන අතර වරින් වර බොල්ගොඩ වැව් දිය මතට පියඹා එනු මා දැක තිබේ. වැව් දිය මතට එන මාළුන් ආහාරයට ගන්නා මේ කුරුල්ලා ළය සුදු පිළිහුඩුවා තරම් සුලබ නැත. මහ පිළිහුඩුවා ද වරින් වර වැව් දිය ඉවුරේ පිහිටි ගස්හි සැඟ ව සිටියි. මා මහ පිළිහුඩුවා අවට සිටින බව හඳුනා ගන්නේ උගේ ගැඹුරු නාදයෙනි. ඉනික්බිති විමසිලිමත් වන මම අතු පතර සැඟ ව සිටින මහ පිළිහුඩුවා දකිමි. එහෙත් ඌ නිරන්තරයෙන් අපට නොපෙනෙන්නට සැඟ ව ගන්නේ සිය අලංකාරය අප දකිනවාට අකමැත්තෙන් මෙනි.
සෑම පිළිහුඩුවකුගේ ම අපූර්ව වර්ණ සංයෝජනයක් තිබේ. ඒ වර්ණ සංයෝජනය තද වර්ණ මිශ්‍රිත වර්ණ සංකලනයකි. ළය සුදු පිළිහුඩුවා පවා අහස් නිලත්, සුදත් මිශ්‍රිත ව ගෙල හා පියාපත්වල මුල කොටස් තද දුඹුරු පැහැති ව හා හොටය තද රතු පැහැති ව නිර්මිත ය. ඒවා එකින් එකට වෙනස් වර්ණ වුව ද ඒ වර්ණ සංයෝජනයේ අපූර්වත්වය නිරීක්ෂණය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.
පරිසර පද්ධතියේ වෙන මේ අපූර්ව වර්ණ, නාද හා පැවැත්මේ සොඳුරු රටාව නිහඬ ව විඳින්නට ඔබට ඇරයුම් කරමි. ඒකාකාරී හා කාර්යබහුල ජීවිතයට ඒ වැනි කුඩා නිරීක්ෂණ විසින් යම් සැනසුමක් ඔබට උරුම කරනු ඇත. ජීවිතය විඳින්නට බොහෝ දුර යා යුතු නැත. ඔබේ ගෙවත්තේ පවා ඒ සඳහා ඕනෑ තරම් දෑ ඇත. කළ යුත්තේ එක ම දෙයකි. ඒ, පුංචි ම පුංචි දෙයින් පවා සතුටු වෙන්නට හැකි මනසක් නිර්මාණය කර ගැනීම ය.
සුමුදු චතුරාණී