Friday, October 3, 2025
Epaper
Home වෛද්‍යමල බද්ධය දිග් ගැසුණොත් අර්ශස්

මල බද්ධය දිග් ගැසුණොත් අර්ශස්

by Thanushika

දිගින් දිගටම ගුද මාර්ගය ආශ්‍රිතව වන රුධිර වහනය නිසා රැකියාවේ හෝ නි‍ෙවසේ කිසිම කටයුත්තක් නිවැරදව කර ගැනීමට නොහැකි තත්ත්වයකට මා පත්ව ඇත. තව දුරටත් මානසික මට්ටම පවා හොඳ තත්ත්වයක නොමැති බව මට වැටහේ. දුව හෝ පුතා සමඟ සාකච්ඡා කිරීමට ද නොහැකි බවක් මට දැනෙයි. සැමියා ද පිට රටක රැකියාවේ නියුතු නිසා සියල්ල දරා ගනිමින් මවක්, ගෘහිණියක් පමණක් නොව රැකියාව සිදු කරමින් කටයුතු කළ යුතුව ඇත.

“doctor මට මේ තත්ත්වය සෑහෙන කාලයක් තිස්සේ සැරින් සැරේ ඇති වුණ දෙයක්. කැම්පස් ගිහින් එතනින්ම මේ රැකියාවට සම්බන්ධ වුණා. රජයේ නිලධාරියෙක් සහ රැකියා ස්ථානයේ වගකිව යුතු තත්ත්වයක් නිසා මට මගෙ සෞඛ්‍ය පිළිබඳව හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ”

හැමදාම මට මානසික සහනයක් ලබා ගන්න පුළුවන් වුණ, රෝගී තත්ත්වයන්ට නිවැරදිව ප්‍රතිකාර ලබා ගත් ආයුර්වේද වෛද්‍යවරයා ළඟට ගියේ මම මේ ප්‍රශ්නය නිසාමයි.

“අම්මා, අර්ශස් කියන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක්. සතුරෙක් වගේ ඔබව පීඩාවට පත් කරන යම් රෝගී තත්ත්වයක් තියෙනවනම් ඒකට තමයි ආයුර්වේදයේ අර්ශස් කියන නම දීල තියෙන්නේ. නියමිත වෙලාවට මලපහ පිට නොකිරීම නිසා ගුද මාර්ගයේ ආශ්‍රිතව මල ඝන බවට පත්වෙනවා.මේ මල මගින් ගුද මාර්ගය අවට තියෙන රුධිරවාහිනී මත පීඩනයක් ඇති කරලා පිම්බීමට ලක් කරනවා. මේවා ගෙඩියක ස්වරූපයට හෝ ගෙඩි පොකුරක ස්වරූපයට ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙනවා. මේ තත්ත්වයට තමයි “අර්ශස්” කියන්නෙ. ආයුර්වේදයට අනුව අර්ශස් රෝගී ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඒ තමයි වාතජ අර්ශස්, පිත්තජ අර්ශස්, කපජ අර්ශස්,ත්‍රිදෝශජ අර්ශස් ,රක්ත අර්ශස් සහ සහජ අර්ශස් විදියට ප්‍රධාන ප්‍රභේද හයක් තියෙනවා.මේ අර්ශස් රෝග තත්ත්වය ශරීර අභ්‍යන්තරයෙන් හැදෙන රෝග තත්ත්වයක් වගේම පරම්පරාවෙන් ජානවලින් ඇති වෙන්නත් පුළුවන්. මීට අමතරව බාහිර අර්ශස් සහ අභ්‍යන්තර අර්ශස් වශයෙන් ප්‍රධාන වර්ග දෙකකුත් තියෙනවා.වර්තමානයේ අපි කතා කරන External Hemorrhoids සහ Internal Hemorrhoids කියන්නේ මේ තත්ත්වවලට.”

“මාත් ඉස්සර ඉඳලම මේ වෙලාවට මලපහ නොකිරීම කියන එක කරන කෙනෙක්. රැකියාවේ දරුවන්ගේ වැඩ එක්ක අවශ්‍ය අවස්ථාවේ ඒ තත්ත්වය මැඬ ගෙන නිදහසක් ලැබුණු වෙලාවට උත්සාහ කරලා බලනවා. මේක කාටවත් කියන්නත් බෑ. මම දන්න විදිහට රැකියාවක් කරන බොහොමයක් ගැහැනු පිරිමි අතර මේ තත්ත්වය දකින්න තියෙනවා”

“මේ රෝගය ඇතිවෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි පරම්පරාවෙන් මේ රෝගය ඇතිවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජානවලින් එන්න පුළුවන්. නමුත් වැරදි ආහාර පුරුදු නිසා මේ තත්ත්වය ඇතිවෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි. රැකියාවල නිරත වෙන මැදිවියේ කාන්තාවන් අතර මේ තත්ත්වය බහුලව දකින්න ලැබීමට හේතු වෙන්නේ ඔවුන් උෂ්ණ ආහාර නිතර ගැනීම, වෙළඳ සල්වලින් මිලදී ගත් කෘත්‍රිම ආහාර පාන පරිභෝජනය, ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, මලපහ පිට කිරීමේ අවශ්‍යතාව පැමිණි විට එය මගහැර දරාගෙන සිටීම, මානසික ආතතිය යනාදී කාරණා. ඊට අමතරව දීර්ඝකාලීනව වාඩිවෙන ඉරියව්වෙන් රැකියාව කරන කෙනෙක් නම් ඒකත් මේ රෝග තත්ත්වය ඇතිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.

“මේ රෝගී තත්ත්වය මුලින්ම හඳුනා ගත්තත් ඔවුන්ට ඒ සඳහා ප්‍රතිකාර කරන්න වෙලාවක් නැහැ. අර්ශස් රෝගයේ මුල් කාලයේදී බඩ පුරවා දැමීම, කෑමට ප්‍රියතාවය නොමැති වීම, මල බද්ධතාවය ඇතිවීම, මල පිටවීම ඉතා අල්ප වීම දකින්න ලැබෙනවා. කාලයක් යද්දි තමයි ගුද මාර්ගයේ අභ්‍යන්තරයේ හෝ බාහිරව අර්ශස් ගෙඩි මතුවීම, ගුද මාර්ගය ආශ්‍රිතව අධික වේදනා පැවතීම කියන ලක්ෂණ ඇතිවෙන්නේ. ඇතැම් අයට මලපහ කිරීමේදී මේ ගෙඩිවලින් රුධිරය පිටවන අවස්ථා ඇතිවෙන්නත් පුළුවන්. නමුත්, අර්ශස් රෝගය තියෙන හැමෝටම රුධිරය පිටවීම සිද්ධ වෙන්නෑ. මේ අර්ශස් ගෙඩි මතුවීමෙත් විවිධ අවස්ථා තියෙනවා. ඒ තමයි මුල් අවධියේදී අර්ශස් ගෙඩි ගුද මාර්ගයේ ඇතුළත පිහිටා තිබෙනවා. දෙවන අදියර වන විට තටමද්දි අර්ශස් ගෙඩි ගුද මාර්ගයෙන් පිටතට එනවා නමුත් ඉබේම ඇතුළට යනවා. තුන්වන අදියර වන විට අර්ශස් ගෙඩි පිටතට ආවහම අතින් ඇතුළට තල්ලු කරන්න සිද්ධ වෙනවා. හතරවන අවධියේදී අර්ශස් ගෙඩි එළියෙමයි තියෙන්නේ “

“මගෙ ගුදමාර්ගය පිටතට(මලපහ පිටවන ස්ථානයෙන්) නෙරා ආව රවුමක් වගේ කොටසක් තියෙනවා. ඒකත් මේ අර්ශස් ගෙඩි තියෙනවා වගේ දෙයක් ද doctor ? නැතිනම්, මෙය මලබද්ධය නිසා විශේෂයෙන් සිදුවන දෙයක් ද?”

“මලබද්ධතාවය කියන එක එක් හේතුවක්.ඊට අමතරව මේ තත්ත්වය ඇතිවෙන්න හේතුවෙන්න පුළුවන් දෙයක් තමයි අපේ ගුද මාර්ගය ආශ්‍රිතව තියෙනවා මලපහ පිට කිරීමට උදව්වෙන චක්‍රපිදාන. මේවායේ සංකෝචනය සහ ඉහිල් වීම මගින් තමයි මලපහ පිටවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. නමුත් ඒ ආශ්‍රිත පේශි දුර්වල වීම නිසා මේ චක්‍රපිදානවල ළිහිල්වීමේ කාර්ය නිසියාකාරව සිදු නොවී ගුද මාර්ගය ආශ්‍රිතව මලපහ සම්පූර්ණයෙන් පිට නොවී රැඳී තිබිලා රවුමට පිටතට නෙරලා තියෙන්නත් පුළුවන්”

“doctor, මේක 100%ක් සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක් ද?”

“ඔව්. ආයුර්වේද ප්‍රතිකාරවලින් මේ තත්ත්වය සුව කරගන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මේ සඳහා ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා. අභ්‍යන්තර වශයෙන් කසාය, ගුලි, කල්ක, චූර්ණ යනාදියත්, බාහිර වශයෙන් වාෂ්ප ස්වේද අවගාහනය, ආලේපන වර්ග, ගුද වස්ති ප්‍රතිකාර, අග්නි කර්ම ප්‍රතිකාර සහ ක්ෂාර ප්‍රතිකාර (උදාහරණ- ක්ෂාර සූත්‍ර) වශයෙන් ප්‍රතිකාර රැසක් තියෙනවා. අම්මටත් අපි ඒ ප්‍රතිකාර නියමිත විදිහට පටන් ගන්නවා”

“බොහොම පින් doctor”

වෛද්‍ය විද්‍යාව රෝග හඳුනා ගනිමින් රෝග සඳහා ප්‍රතිකාර කරමින් දහස් ගණන් රෝගීන් සුව කරමින් ඇත. එනිසා ජීවිතයේ අනාරක්ෂිත බව පහව යයි. නමුත් අප මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් විඳින වේදනාව සහ සමාජ අනාරක්ෂිත බව ලෙහෙසියෙන් පහව නොයයි. එනිසාම අර්ශස් වැනි රෝගී තත්ත්වයක් ඇති වීමට නොදී වළක්වා ගැනීමට අප යුහුසුළු විය යුතුයි. විශේෂයෙන් කාර්යබහුල ජීවන රටාවක සිටින කාන්තාවන් මෙන්ම පිරිමින් ද තමන් පිළිබඳව අවධානය යොමු කීරීමට විනාඩි කිහිපයක් හෝ වෙන් කළ යුතුමයි.

 

උපදෙස්

වෛද්‍ය නිමාලි නුවන්දිකා

BAMS (University of Colombo)

රුවංගා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?