Friday, October 3, 2025
Epaper
Home විශේෂාංගභික්ෂූන් වහන්සේලා සමඟ කටයුතු කිරීමේ දී කාන්තාවක් කෙසේ හැසිරිය යුතුද?

භික්ෂූන් වහන්සේලා සමඟ කටයුතු කිරීමේ දී කාන්තාවක් කෙසේ හැසිරිය යුතුද?

by Thanushika

බමුණු සමාජයේ පුරුෂාධිපත්‍යය හමුවේ කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ ස්ත්‍රියට, පුරුෂයාට හිමි වූ සියලු වරප්‍රසාද හිමි කර දීමට බුදුන් වහන්සේ කටයුතු කළ හෙයින් ස්ත්‍රියට නැවත පුනර්ජීවයක් ලැබුණේ බුදුන් වහන්සේගේ පහළ වීමත් සමඟ ය. බෞද්ධ සමාජ සංස්ථාව ගිහි පැවිදි යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන අතර එකී කොටස් දෙක නැවතත් භික්ෂූ, භික්ෂූණී, උපාසක, උපාසිකා යනුවෙන් නැවතත් කොටස් හතරකට බෙදී යයි. ස්ත්‍රිය බෞද්ධ සමාජයේ ප්‍රෂාන ම ඒකකයක් බව මෙමඟින් ද පැහැදිලි වේ.

බුද්ධ දේශනාවට අනුව ස්ත්‍රියට පුරුෂයාත් පුරුෂයාට ස්ත්‍රියත් තරම් ප්‍රිය වූ සිත අලවන වසඟ කරවන මුළා කරවන වෙනත් වස්තුවක් මේ ලෝකයෙහි නොමැත. ස්ත්‍රියක් හා පුරුෂයෙක් බැ‍ඳෙන කරුණු 08ක් බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඒවා නම්, රූපය, සිනහව, කතාව, ගී ගැයීම, හැඬීම, ආකල්ප, වන මල් ආදී තැගී ලබා දීම හා ස්පර්ෂය යනුවෙනි. (අංගුත්තර නිකාය -ඉත්ථි බන්ධන හා පුරිස බන්ධන සූත්‍ර)

යම්කිසි වැවකට හෝ ගඟකට බසින පුද්ගලයෙකුට ඇතිවන බය සතරක් පිළිබඳව බුදුන් වහන්සේ චාතුම සූත්‍රයේ දී දේශනා කරයි. සුසුකා බිය ඒ අතුරින් සතරවන බිය යි. සුසුකා බිය යනු වතුරට බසින කෙනෙකුට මිනී කන මත්ස්‍යයන් පිළිබඳව ඇති වන්නා වූ බය යි. වතුරට බසින පුද්ගලයාට මිනී කන මත්ස්‍යයන් පිළිබඳ බයක් ඇතිවන්නා සේ ම ගිහි ජීවිතය අත්හැර බඹසර ජීවිතයක් ගත කිරීමට පැමිණි පැවිද්දාට ද ස්ත්‍රිය පිළිබඳ බියක් ඇතිවෙන බව බුදුරජාණන් වහන්සේ මෙහි දී දේශනා කළහ. මේ අනුව පුරුෂයාට ස්ත්‍රියත් ස්ත්‍රියට පුරුෂයාත් ප්‍රිය වන හෙයින් බඹසර ජීවිතයක් ගත කරන පැවිද්දන්ට, එකී ජීවිතය ගත කිරීමට බාධාවන කාරණාවන්ගෙන් එක් කාරණාවක් ලෙස ස්ත්‍රිය දැක්විය හැකි ය.

භික්ෂූන් වහන්සේලා ස්ත්‍රීන් සමඟ කටයුතු කළයුතු ආකාරය හා ස්ත්‍රීන් අරඹයා භික්ෂූන් වහන්සේලා කළ යුතු හා නොකළ යුතු යනුවෙන් ශික්ෂා පද බොහෝ ගණනක් විනය පිටකයේ සඳහන් වේ. ඒවා කිහිපයක් මෙසේ ය.

1. යම් භික්ෂුවක් යම් ස්ත්‍රියක් සමඟ මෛථුන සේවනයේ යෙදීම බරපතළ වරදකි.

2. යම් භික්ෂුවක් යම් ස්ත්‍රියක් රාග සිතින් ස්පර්ශ කිරීම සංඝාධිසේසාපත්තියක් වේ.

3. රාග සිතක් ඇතිව හෝ නොමැති ව තමන්ගේ මෑණියන් හෝ “මේ මගේ මෑණියන්” යැයි ස්නේහයෙන් ස්පර්ෂ කරන්නේ නම් දුකුලා ඇවතක් වේ.

4. භික්ෂුවක් කාන්තාවක් හා තනිව හිඳ බණ දේශනා නොකළ යුතු බව

5. යම් භික්ෂුවක් ස්ත්‍රියක් සමඟ ආවරණය වූ තැනක එකට වාඩි වී සිටීම ඇවැත් වේ.

6. යම් භික්ෂුවක් ස්ත්‍රියක් සමඟ ආවරණය වූ තැනක හිටගෙන සිටීම ඇවැත් වේ.

7. යම් භික්ෂුවක් ස්ත්‍රියක් සමඟ මෛථුන සේවනයේ නොයෙදුණත් එකම සයනයක සැතපී සිටීම ඇවැත් වේ.

8. යම් පුරුෂයෙකුගේ බිරිඳ එම පුරුෂයා සමඟ අසමගිවීම නිසා එම පුරුෂයා භික්ෂූන් වහන්සේ කෙනෙකු ලවා බිරිඳට කරුණු කියා සමගි කරවීම ද භික්ෂූන් වහන්සේට ඇවතකි.

භික්ෂූන් වහන්සේලා ස්ත්‍රිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ආනන්ද හිමියන් බුදුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ හිඳින අවස්ථාවේ දී විමසූහ. එම අවස්ථාවේ දී ඇති වූ සංවාදය මෙසේ දැක්විය හැකි ය.

ආනන්ද හිමි – “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රීන් කෙරෙහි අනුගමනය කළ යුත්තේ කුමක් ද?

බුදු හිමි – “ආනන්ද, නොදැක සිටින්න.

ආනන්ද හිමි – කාන්තාවන් දක්නට ලැබුනහොත් අනුගමනය කළ යුත්තේ කුමක් ද?

බුදු හිමි – කතා නො කර සිටින්න.

ආනන්ද හිමි – යම් හෙයකින් කතා කරන්නට සිදු වුවහොත් කටයුතු කළ යුත්තේ කෙසේ ද?

බුදුන් හිමි – සිහිය පිහිටුවාගත යුතු ය. (මහා පරිනිබ්බාන සූත්‍රය)

ස්ත්‍රීන් සමඟ කතා කිරීමට සිදුවුවහොත් ඒ කතා කරන්නේ ඔබේ මෑණියන්ගේ වයසේ කාන්තාවක් නම් මේ මාගේ මෑණියන් ය යනුවෙන් මාතෘ චිත්තය ද සහෝදරියගේ වයසේ කාන්තාවක සමඟ නම් මේ මාගේ සහෝදරිය යනුවෙන් භගිනි චිත්තය ද දියණියගේ වයසේ දැරියක් සමඟ නම් මේ මාගේ දියණිය යනුවෙන් දුහිතෘ චිත්තය ද උපදවා ගෙන කතා කළ යුතු බව යි.

මේ අනුව බුදුන් වහන්සේ මුලින් ම අවවාද කරනුයේ ස්ත්‍රිය දැකීමෙන් වළකින ලෙස යි. ඉන් ස්ත්‍රිය බඹසර ජීවිතයට කෙතරම් සම්බාධකයක් ද යන්න පැහැදිලි වන අතර විශේෂයෙන් ම භික්ෂූන් වහන්සේලාගේ පැවිදි බව ආරක්ෂා කරගැනීමට නම් ස්ත්‍රියගෙන් ප්‍රවේසම් වීම අත්‍යවශ්‍ය බව ගම්‍ය වේ. එහෙත් නූතන සමාජ ක්‍රමය තුළ

විහාරස්ථානයන්හි බොහෝ සෙයින් වැඩකටයුතුවලට සම්බන්ධ වන්නේ කාන්තා පක්ෂය යි.

එම නිසා ගිහි ජීවිතයෙන් වෙන් ව පැවිදි ජීවිතයක් ගත කරන භික්ෂූන් වහන්සේලා සමඟ කටයුතු කිරීමේ දී උන්වහන්සේලාට හානියක් නොවන පරිද්දෙන් උන් වහන්සේලාට පිළිවෙත් පිරීමට හා ශීලය ආරක්ෂා කරගැනීමට උපකාර වන සේ කටයුතු කිරීමට ස්ත්‍රී පක්ෂය වග බලා ගත යුතු ය. එසේ කටයුතු කිරීමට පහත සඳහන් කාරණාවන් කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා අගනේ ය.

1. භික්ෂූන් වහන්සේලාට වන්දනා කිරීමේ දී භික්ෂූන් වහන්සේලාගේ පාද ස්පර්ශ නොවන ආකාරයෙන් වන්දනා කිරීම.

2. භික්ෂූන් වහන්සේලා සමඟ කතා බස් කිරීමේ දී, හිඳීමේ දී, කටයුතු කිරීමේ දී බොහෝ කල්පනාකාරීව සංවරව සිදු කිරීම.

3. භික්ෂූන් වහන්සේලා සමඟ උසුළු විසුළු නොකිරීම.

4. පෞද්ගලික උදවු උපකාර නොඉල්ලීම.

5. අවේලාවේ තනිව විහාරස්ථානයට නොයෑම.

6. විහාරස්ථානයට යන සෑම අවස්ථාවකම පාහේ දැනුම්වත් පිරිමි අයෙකු සමඟ යෑම.

7. කිසිදු විටක භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනා ආවාස කුටි අසල නිකරුණේ බොහෝ වේලා කාලය ගත නොකිරීම.

8. මෝඩ ක්‍රියාවන් සිදු නොකිරීම (කොණ්ඩය පාවඩ මෙන් එළීම, සමබාහනය, ආහාර කැවීම) භික්ෂූන් වහන්සේලා සමඟ කටයුතු කිරීමේ දී විශාඛා මහෝපාසිකාව

මෙන් බුද්ධ ශාසනයේ අනාගත චිරස්ථිතිය පිණිස සතිමත්ව කටයුතු කරන්න.

 

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

උඩුමලගල ආදිච්චවංස මූලික පිරි‍වනේ පරිවේණාචාර්ය

රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, දර්ශනපති

කොට්ටවගම ධම්මජෝති හිමි

මධුර ප්‍රභාත් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?